දේශීය

මධුෂ් අත්අඩංගුවට ගත්තේ ජනපතිගේ මත් මැඬලීමේ මෙහෙයුමෙන්ද?

අනිද්දා පුවත්පත ඇසුරින්

මාකඳුරේ මධුෂ් පසුගිය 05 වැනිදා ඩුබායිහිදී ඩුබායි පොලිසියේ අත්අඩංගුවට පත්විය. ඒ තවත් පාතාල සාමාජිකයන් පොකුරක්ද සමගය. මේ අත්අඩංගුවට ගැනීම සිදුවන්නේ හෝටලයක සාදයක් අතරතුරදීය. මේ අත්අඩංගුවට ගැනීම පිළිබඳවද, සාදය පිළිබඳවද බොහෝ කතා දැන් කරළියේ පෙරළෙමින් තිබෙනු පෙනෙයි. ඒ අස්සේ ජනපති සිරිසේනගේ මත් මැඬලීමේ මෙහෙයුමේ ආශ්චර්යයද බොහෝ උඩ පනී. පොලිස් විශේෂ කාර්ය බලකා ප්‍රධානියාට සේවා දිගුවක් ලබාදීම ද සිදුවන්නේ මේ අතරතුරේදීය. ඒ අනුව මධුෂ් අත්අඩංගුවට පත්වූ සාදයට හේතුව නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් විශ්‍රාම ගැනීමය. මත්ද්‍රව්‍ය මැඬලීමේදී බොහෝ එඩිතරව ක්‍රියාකර ඇති මේ නිලධාරියා සේවයෙන් විශ්‍රාම යෑම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සතුටට කාරණයක් වන්නට පුළුවන් ය. එහෙත් මේ උක්ත සාදය ඒ සඳහාම පැවැත්වූ එකක් යැයි තොරතුරු නැත. මේ සියල්ල ප්‍රබන්ධ කරමින් මේ උඩ දමන්නට කැසකවන්නේ අන් යමක් නොව ජනපති සිරිසේනගේ මත් මැඬලීමේ ජාතික මෙහෙයුමයි. ඉදිරි මාසය හෝ දෙක ඇතුළතදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු යැයි මරණ දඬුවම හිමි පුද්ගලයෙකු හෝ දෙදෙනෙකු පෝරකයට යවා මේ මෙහෙයුම කූටප්‍රාප්ත කර ජනපති සිරිසේන මත් විරෝධී සැබෑ වීරයෙකු ලෙස ජනපති සටනට මුහුණ දෙනු ඇත. මධුෂ් අත්අඩංගුවට ගැනීම ජනපති සිරිසේනට අහසින් කඩාවැටුණු වාසනාවක් වී ඇත්තේ ඒ නිසාය.

මාකඳුරේ මධුෂ්

සමරසිංහ ආරච්චිල්ලාගේ මධුෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මධුෂ් අද ලංකාවේ ප්‍රකටව සිටින්නේ පාතාලයේ ගෝඞ් ෆාදර් ලෙසය. ඇත්තටම මේ පුද්ගලයා කවුරුන්ද? සැකවින් සොයා බැලිය යුතුය. මධුෂ්ගේ උපන් ගම වන්නේ මාතර කඹුරුපිටිය ය. ඔහුගේ මව ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ කණ්ඩායමක වෙඩි ප්‍රහාරයකින් මිය යන්නේ 88/89 භීෂණ අවධියේදීය. මෙලෙස අම්මා වෙඩි ප්‍රහාරයෙන් අකාලයේ මියැදෙනකොට 1979 අවුරුද්දේදී උපන් මධුෂ්ට එතරම් වයසක් නැත. ඉන්පසුව ඔහු සහ ඔහුගේ සොහොයුරා උස්මහත්වී ඇත්තේ ලොකු අම්මාගේ සෙවණේ බව කියවේ. තාත්තාද වෙනත් විවාහයක් කරගෙන ඔවුන්ගේ පවුලෙන් ඈත්වී ඇත. මේ සියලු තත්ත්ව සහ අන්ත දිළිඳුකම නිසා මධුෂ් එවක දුෂ්කර ජීවිතයක් ගතකර ඇතැයි කියවේ. මෙම සමාජ තත්ත්වයන් මාකඳුරේ මධුෂ් නම් ගෝඞ් ෆාදර් නිෂ්පාදනය කළේද?

මාකඳුරේ මධුෂ්ට මුලින්ම මිනිමැරීමක් පිළිබඳව චෝදනාවක් එන්නේ 2002/11/29 වැනිදා මාතර මාවරල සිදුවූ මිනිස් ඝාතනයත් සමගය. ඉන්පසුව පාතාල නායකයෙකු ලෙස ශීඝ්‍රයෙන් ඉහළ යන මධුෂ්ගේ නම ඉදිරියෙන් කොල්ලකෑම්, පැහැර ගැනීම්, තර්ජනය කිරීම්, කප්පම් ගැනීම්, මිනීමැරුම් ආදි චෝදනා ලියවෙන්නේ එකපිට එක ලෙසය.

මාකඳුරේ මධුෂ් මුලින්ම අත්අඩංගුවට ගන්නේ එවක පෑලියගොඩ අපරාධ කොට්ඨාසය භාරව කටයුතු කළ දැන් නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩිය. ඒ 2004 වර්ෂයේදීය. ඒ මීගමුව සහ ගම්පහ ප්‍රදේශයේ ව්‍යාපාරික ආයතන රැසක් අපරාධ කණ්ඩායමක් සේ සංවිධානය වී කොල්ලකෑමේ චෝදනාවටය. වාරියපොළ ප්‍රදේශයේ වත්තක ගල්තලාවක නිදාගෙන සිටියදී මුලින්ම මෙලෙස මධුෂ් අත්අඩංගුවට පත්වී ඇත. ඉන්පසු එම නඩුවට පුතා වෙනුවෙන් ඇප තැබූ තාත්තාද සිරගතව සිට ඇත. ඒ ඔහු අධිකරණය මගහැර විදෙස් ගතවී සැඟවීම නිසාය. 2006/06/11 වැනි දින යතුරුපැදිකරුවන් දෙදෙනෙකු මාකඳුරේදී, එවක දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපති ඩැනී හිත්තැටිය වෙඩි තබා ඝාතනය කරන අතර එම ඝාතනයටද චෝදනා ලබන්නේ මාකඳුරේ මධුෂ්ය. මේ සියල්ලට පොලිස් පරීක්ෂණ ද අධිකරණ ක්‍රියාමාර්ගද ගනිමින් සිටින විට අධිකරණයෙන් ඇප ලබා සිටින මාකඳුරේ මධුෂ් 2016 වර්ෂයේදී බෝට්ටුවක් මඟින් ඉන්දියාවට පැනගියා යැයි කියවේ. එහෙත් අලු‍ත්ම වාර්තා කියන්නේ ඔහුට 2015 දී ලබාගත් නීත්‍යනුකූල ගමන් බලපත්‍රයක් තිබී ඇති බවය. එම ගමන් බලපත්‍රය උපයෝගී කරගෙන ඔහු රටින් බැහැරවී ඇති බවය. ඩුබායිහිදී ඔහු අත්අඩංගුවට පත්වෙන විට ඔහු ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිත කරමින් සිට ඇත. එහි වීසා මුද්‍රාවන්ද ව්‍යාජ බව දැනගන්නට ඇත. මීට අමතරව නම් රැසකින් පෙනී සිටිමින් නිර්මාණය කළ ගමන් බලපත්‍ර රැසක්ද ඔහු එහිදී භාවිත කර ඇත. එම ගමන් බලපත්‍ර සියල්ලගේම ඔහුගේ උපන් වර්ෂය පමණක් නිවැරදි බව දැනගන්නට ලැබේ. ඒ 1979 වර්ෂය ලෙසය. ඔහුට අදාළව නිකුත්කර තිබූ රතු වරෙන්තුවේ සඳහන් නම් සහ තොරතුරු ද මගහැර මෙම නව ව්‍යාජ ගමන් බලපත්‍ර නිර්මාණය කර තිබී ඇත. ඒ අනුව පසුගිය අවුරුද්දේ පැවති තාත්තාගේ මරණ ගෙදරටද ඔහු පැමිණ ඇතැයි සැකයක් ඇත. මෙලෙස දිවිගෙවූ මාකඳුරේ මධුෂ් අත්අඩංගුවට පත්වුණේ කෙසේද?

සාදය හමාරයි

පසුගිය පෙබරවාරි 05 දා ඩුබායි නගරයේ තරු හයේ හෝටලයක, මාකඳුරේ මධුෂ් සාදයක් සූදානම් කර ඇත. ඒ වැලිකඩ බන්ධනාගාර සංහාරයේදී මියගිය පාතාල නායකයෙකු යැයි කියන කළු තුෂාරගේ බිරිඳගේ දරුවාගේ උපන්දිනය වෙනුවෙන්ය. මෙම උපන්දිනයට ලංකාවේ සිට පැනගොස් අරාබියේ වෙසෙන බොහෝමයක් පාතාල නායකයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්, හිතවතුන් ආරාධනා ලබා ඇත. මෙම සාදය අතරතුරදී ඩුබායි පොලිසිය මෙම හෝටලය වටලා එහි සිටි සියල්ලන්ගෙන්ම ප්‍රශ්න කර 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කලීජ් ටයිම්ස් (නය්කැැව එසපැි) වෙබ් අඩවිය මෙම සිදුවීම වාර්තා කරමින් කියන්නේ අත්අඩංගුවට ගත් 25 දෙනා අතර මාකඳුරේ මධුෂ්, කෙසෙල්වත්තේ දිනුක, කංචිපානි ඉම්රාන් යන ලංකාවට අවශ්‍යව සිටි ප්‍රබල පාතාල නායකයන් සිට ඇති බවය. ඊට අමතරව ප්‍රසිද්ධ ගායකයෙකු වන අමල් පෙරේරා සහ ඔහුගේ පුතා වන නදීමාල් පෙරේරාද මෙම අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බවය. මෙම මාධ්‍යට අමතරව ඩුබායිහි වෙන කිසිදු මාධ්‍යක මෙම සිදුවීම වාර්තා නොවුණ බව එරට වෙසෙන ලාංකිකයෙක් පැවසීය. ඒ මෙම සතියේදී සිදුවූ පාප් වහන්සේගේ ඩුබායි සංචාරය නිසා වන්න පුළුවන්ය. මෙම වෙබ් අඩවිය මෙම පුවත වාර්තා කරමින් කියන්නේ ඩුබායි පොලිසිය සහ ලංකාවේ ආරක්ෂක අංශ ඒකාබද්ධ මෙහෙයුමකින් මෙම මෙහෙයුම සිදුකළ බවකි. මෙය ඇත්තක්ද?

වැටලීම පිටුපස ලංකාව සිටියාද?

මේ පිළිබඳව අදහස් දැක්වූ ඉහළම පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ මෙම මෙහෙයුමට ලංකාවේ පොලිසිය කිසිදු ලෙසකට සම්බන්ධ නොවූ බවය. විශේෂ කාර්ය බලකා ප්‍රධානී ලතීෆ් මහතා පමණක් මෙය දැන සිටියා යැයි යන ප්‍රවෘත්තියද බොරුවක් සහ නිර්මාණය කළ එකක් බව ඔහු කියන්නේය. එහෙත් දැනගන්නට තිබෙන ලෙස මීට අවුරුද්දකට පමණ ප්‍රථම මෙම පුද්ගලයන් සහ ඔවුන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව මෙරට පොලිසිය එක්සත් අරාබි එමීර් රාජ්‍යය දැනුවත් කර ඇත. ඒ අනුව දීර්ඝ කාලයක් මොවුන් පසුපස පන්නා ඇති ඩුබායි පොලිසිය මෙලෙස එකම අවස්ථාවකදී ඔවුන් සියල්ලෝම අත්අඩංගුවට ගෙන ඇත.

මේ පිළිබඳව අදහස් දැක්වූ විදෙස් කටයුතු අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙක්ද ප්‍රකාශ කළේ ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශය හෝ පොලිසිය හෝ මේ වැටලීම සහ අත්අඩංගුවට ගැනීම දැන සිට නැති බව විශ්වාස බවය. ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශය, විදෙස් කටයුතු අමාත්‍යාංශයෙන් මේ පිළිබඳව තොරතුරු ඉල්ලා සිටීම මගින් එය තහවුරු වන බවද ඔහු කියයි. මේ බව සනාථ කරමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධනද පසුගි ය 6 වැනිදා මාධ්‍ය වෙත කියා තිබුණේ මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳව එමීර් රාජ්‍යය තවමත් ලංකාවේ රජයට රාජ්‍යතාන්ත්‍රිකව කිසිදු දෙයක් කියා නැතිබවය. දේවල් සිදුවන්නේ එසේය. එහෙත් අප නටන්නේ මෙසේය. මාකඳුරේ මධුෂ් අත්අඩංගුවට ගැනීම තමන්ගේ මල්ලට දමාගෙන ගොඩ යන්න දඟලන සියල්ලෝම කරන්නේ ජනතාව ගොනාට ඇන්දවීමය.

මීළඟට මොකද වෙන්නේ

මාකඳුරේ මධුෂ් සහ පිරිස මෙලෙස අත්අඩංගුවට පත්වෙන විට කොකේන් ග්‍රැම් 20ක් හෙරෝයින් ආදි මත්ද්‍රව්‍යද අත්අඩංගුවට ගත් බවට මාධ්‍ය වාර්තා පළවේ. මේ කිසිදු තොරතුරක් නියම තොරතුරු දැයි සැක සහිතය. ඩුබායි පොලිස් හැසිරීම් හොඳටම දන්නා අයෙකු කීවේ පොලිස් පරීක්ෂණ අවසන් වී මොවුන් අධිකරණයට ඉදිරියට ගෙන එන තුරු සියල්ල රහස් බවය. අවම වශයෙන් මේ පිරිස රඳවා සිටින තැනක් හෝ දැනගන්නට අමාරු බව බොහෝ කාලයක සිට ඩුබායිහි වෙසෙන ඔහු සිය අත්දැකීමෙන් කියන්නේය. තත්ත්වය මෙසේ තිබියදී ලංකාවේ බොහෝ දෙනෙක් දැන් කියන්නේ කුමක්ද? ඔවුන් කියන්නේ මේ පිරිස ලංකාවට නොගෙන්වා ඩුබායි නීතියට අනුව කටයුතු කරන්නට ඉඩදිය යුතු බවය. ඒ මෙරට බොහෝ දෙනෙකුට තම රටේ අධිකරණය විශ්වාස නැති නිසාය. අනෙක් පැත්තෙන් අරාබි නීතියට අනුව මොවුන්‍ට තිබෙන මත්‍ද්‍රව්‍ය විකුණුවායැයි කියන චෝදනාව ඔප්පු වුවහොත් මරණීය දණ්ඩනය දේවියැයි විශ්වාස කරන නිසාය.

එහෙත් දැනගන්නට තිබෙන්නේ මත්ද්‍රව්‍ය වෙළෙඳාම සම්බන්ධයෙන් බොහෝ කාලයකට මෙපිටදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි තුළ මරණ දඬුවම ලබාදී නැති බවය. එහෙත් එරට නීතියට අනුව යම් පුද්ගලයෙක් මත්ද්‍රව්‍ය විකිණීමට වැරදිකරු වුවහොත් ඔහුට අවුරුදු 25ක සිරදඬුවමක් අනිවාර්යයෙන් ලැබෙන්නේය. ඩුබායි රට තුළ මත්ද්‍රව්‍ය භාවිත කර පුද්ගලයෙකු හසුවූ විට ඔහුට හිමිවන දඬුවම අවුරුදු 5ක සිරදඬුවමකි.

ලංකාවට ගෙන්විය හැකිද?

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් මේ පිරිස ලංකාවට ගෙන ආ හැකිද?. ඒ සඳහා දෙරට ගිවිසුම්ගතව සිටින්නේද? පිළිතුර උදර්පණය සඳහා දෙරට අතර ගිවිසුමක් අත්සන් තබා නැති බවය. එහෙත් දෙරට අතර අත්සන් තැබූ ගිවිසුමක මෙම කරුණ සම්බන්ධයෙන් වගන්තියක් තිබුණත් එය ලංකාව තුළ බලාත්මක කිරීමට අවශ්‍ය අවශේෂ කාරණා ලංකාව විසින් සපුරා නොමැති බැවින් ඩුබායිහිදී හෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ලාංකිකයෙකු අත්අඩංගුවට පත්වුවහොත් ඔහු ලංකාවට භාරදීමට එක්සත් අරාබි අමීර් රාජ්‍යය බැඳී නැත. මේ අනුව දැන් දැන් රට තුළ වගාදිගාවෙන මධුෂ් ලංකාවට ගේනවා යන කතන්දර ප්‍රබන්ධ පමණක් ය. එය උදයංග වීරතුංග ගෙන ආවා වැනිය.

අනෙක් පැත්තෙන් උදර්පණය සඳහා දෙරට අතර නීතියක් ස්ථාපිතව තිබුණත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජය සිරකරුවන් හෝ සැකකරුවන් හුවමාරු කරගැනීමේ සාම්ප්‍රදායක් අනුගමනය නොකරන බව දැනගන්නට ඇත. ඒ ඔවුන්ගේ ව්‍යාපාරික ලෝකයට එයින් යම් බලපෑමක් වේයැයි යන ස්ථාවරය මතය. ඉබ්‍රහීම් ඩාව්ඞ්, විජය මලයා වැනි කෝටිපති ඉන්දියානු ව්‍යාපාරිකයන් (අපරාධකරුවන්) තම රටට අවශ්‍යයැයි ඉන්දියාව ඩුබායි වෙත කෙතරම් ඉල්ලීම් යොමුකළත් ඔවුන් ඉන්දියාව වෙත නිදහස් නොකිරීම මෙම තත්ත්වයට නිදර්ශන ලෙස පැවසිය හැකිය. සිංගප්පූරුවේ තත්ත්වයද මෙයට සමානය. ඒ ඔවුන්ගේ කළු සල්ලි ආකර ආයෝජන නිසාය. තත්ත්වය එලෙස නම් ලංකාව වැනි රටක් සමග ඩුබායිහි හැසිරීම ගැන කුමන කතාද…?

අමල් පෙරේරා

මාකඳුරේ මධුෂ් සහ පිරිවර සමග ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් ගායක නදීමාල් පෙරේරා ඩුබායිහිදී අත්අඩංගුවට පත්වීම සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්වී ඇත. මේ පිළිබඳ මාධ්‍යට අදහස් දක්වන අමල් පෙරේරාගේ සොහොයුරු සොහාන් පෙරේරා කියන්නේ තම සහෝදරයා පුතා සමග ඩුබායි ගියේ ප්‍රසංග දෙකට සහභාගී වන්නට බවය. ඔහු එම ප්‍රසංග දෙකට සහභාගි වී නැවත පෙබරවාරි 07 වෙනිදා ලංකාවට එන්නට නියමිතව සිටි බවය. “ප්‍රසංග දෙකට සහභාගි වෙන්න ගියේ. ඒක අමල් අයියගේ ජොබ් එක. ඔය කියන කවුරුවත් පිළිබඳව දැනගෙන ගියා නෙවෙයි. පුතා එක්ක ගිය පළවෙනි අවස්ථාව. එහෙම ඔය පිරිස ගැන දන්නවා නම් පුතා එක්කරගෙන යනවාද? දැන් කට්ටිය අයියාව එල්ලන්න ඕනෑ කියලා කියනවා. ඒවා ඇහෙනකොට දකිනකොට අපිට හරිම වේදනාවයි.”

මාකඳුරේ මධුෂ් පිළිබඳව පසුගිය කාලයේ බොහෝ දේවල් ලියවිණි. ඔහු ජනාධිපති සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධ කර පසුගිය කාලයේ කතා ගොතා තිබුණි. එහෙත් මාකඳුරේ මධුෂ් අපරාධ ලෝකයට පැමිණියා යැයි කියන මුල් කාලයේ 2003 දී ඔහු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ එවක සිටි පොලිස් නිලධාරී ජගත් ෆොන්සෙකා ඔහු අත්අඩංගුවට ගන්නේ මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය කළා යැයි කියන චෝදනාව යටතේදීය. එහිදී ඔහු අවුරුදු 1 1/2ක් පමණ සිරගතව සිට ඇත. එයින් පසුව මාකඳුරේ මධුෂ් රාජපක්ෂ පවුලේ පුද්ගලයන් සමග විශාල ආරවුලකින් සහ වෛරයකින් කටයුතු කර ඇත. මධුෂ් ගැන කතා මෙලෙස ලිවිය හැකිය. අවසන කියන්නට ඇත්තේ මිනීමරුවෙකු පාතාලයෙකු කුඩු ජාවාරම් කරුවෙකු ලෙස චෝදනා ලබා තිබෙන මේ මිනිසා මේ සමාජයේම නිෂ්පාදනයක් බවය. 71 වසක ආයුකාලයේදී ලංකාව බිහිකළ තවත් එක් පුද්ගලයෙකු බවය.


කේ. සංජීව

උපුටා ගැනීම – අනිද්දා පුවත්පත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button