විශේෂාංග

තිරය දෙබෑ කළ “චන්ඩියා”

අසාධාරණය හමුවේ කුපිත වන චරිත ලෝක සිනමාවේදී අනන්තවත් හමුවනු ඇත. චිත්‍රපටවල ත්‍රාසය ඇති කරනුයේ, ප්‍රධාන නළුවා, අසාධාරණයට විරුද්ධව තනිවම එම අසාධාරණය පතුරවන මිනිසා හෝ සමුහය සමග ගැටීමය. අවසානයේ ප්‍රධාන නළුවා ඔවුන් පරදවා ජය ගනී.

යම් හෙයකින් ඔහු අතින් මිනිසෙක් මැරුනහොත් ඔහු ටික කලකට හිරේ යයි . එතෙක් ඔහුගේ පෙම්වතිය හෝ බිරිද ඔහු එනතෙක් බලා සිටි. අපේ සූරයා චිත්‍රපට, වීරයා චිත්‍රපට, චන්ඩියා චිත්‍රපට, බජාර් චිත්‍රපට, ඔය සියල්ලම නිමවනුයේ එලෙසය.

ටයිටස් තොටවත්ත විසින් තම ප්‍රථම චිත්‍රපටයට හේතු පාදක කර ගත්තේද මේ චන්ඩි කථාවක්ය. අසාධාරණය පෙන්වන්නට බැරි, අසාධාරණය දුටුවිට කුපිතවන, චන්ඩියෙකුගේ චරිත පාදනයකි, ඔහු විසින් නිර්මාණය කලේ. චරිතය “චුට්ටේය” චිත්‍රපටය “චන්ඩියාය”.

ලාංකීය සිනමාවේ සුපිරිම අත්දැකීමක් වූ මෙය ටයිටස් තොටවත්ත විසින් එකල තිබු බජාර් පසුබිම තේමා කර ගත්තද ඒ තුලින් මතුවුනු මනුෂ්‍යත්වය ඉස්මතු කරගත් ක්‍රියාදාම වර්ගයේ චිත්‍රපටයක් ලෙස මෙය ගණනය කල හැක. සමාජයේදී මිනිසා වැරදි පැත්තට ඇදී යන හේතුත්, හා ඒවා අවබෝධ කරගෙන නැවත හොද මාර්ගයට පිවිසිමේදීද ඔහුව නැවත නැවතත් නරක මාර්ගයටම ඇදගන්නට මාන බලන මිනිසුන්ගේ ඇතුලාන්තය ගැන කෙරෙන කදිම විග්‍රහයක් සිනමාත්මකව ඉදිරිපත් කිරීමක් ලෙස ද මෙය හැදින් විය හැක.

“චුට්ටේ” යනු කව්ද? ” චුට්ටේ” මෙලෙස හැසිරෙනුයේ ඇයි යන්න විමර්ශනය තුල “චුට්ටේ” යනු ටයිටස් තොටවත්ත බවත් මේ ටයිටස් ගේ සාමාන්‍ය හැසිරීම බවත් කීම නිවැරදි ය. ඒ ඔහු කිසිවිටෙකත්, කිසි කලෙකත් ,කිසිවෙකුටත් කොන්ද නමන්නැති සිනමා කරුවෙකු නිසාය. චුට්ටේ වැනි චරිතයක් මැවීමට හැක්කේත්, චන්ඩියා වැනි චිත්‍රපටයක් නිපදවීමට හැක්කේත්, එවන් අභීත චන්ඩියෙකුටමය. එහෙයින් මුලින්ම චුට්ටේ වුයේත් ටයිටස් මය. මුලින්ම චන්ඩියෙක් වුයේත් ටයිටස් මය. එසේ නොමැතිව චන්ඩියා කිරීමට නොහැකි බව ටයිටස් දැනගති.

ඔහු චන්ඩියා වස්තු පුර්වික කරගත්තේ රාත්‍රී සමාජශාලා ජීවිතයන්ය. එහි සිදුවන සල්ලාල කමය. සූදු කෙලින්නන්වය. ඔවුනගේ ජරාජීර්ණ ජීවිතයන්ය. අයි.ආර් සී කාරයන්වය. ඔවුනගේ තුප්පහි සංස්කෘතියය. ඒ සමාජශාලා තුල ගැවසෙන “වල් ” ගැහැණුන්වය. ඔවුනගේ වල් කම්ය. චන්ඩියාහී චුට්ටේ විරුද්ධ වනුයේ ඒවාට වූවද, ඔහුද නොදැනුවත්වම ඇද වැටෙන්නේ ඒ ගොඩටමය. එහෙත් චුට්ටේට අරමුණකට වඩා උවමනා කමක් තිබුණි. සමාජයේ උසස් පිළිගත යුතු පුද්ගලයෙක් වීමය. නමුත් ඔහුට ජීවිත අරගලය හමුවේ පරාජය භාර ගැන්මට සිදුවිය.

“මංගලම් ජය මංගලම් – වේවා සිරි සුභ මංගලම්
සැරද තිසරණ සරනිනේ – යුවතිපති සුවසේ දිනේ”

සුමනා චුට්ටේ හා එකතුවීම තුලින් චුට්ටේව වෙනස් කර ගත හැකි වේයැයි සිතුවද, චුට්ටේට තමන්ගේ දෛවයට පිටුපෑමට නොහැකි විය. සුමනාට අවශ්‍යවූයේ චුට්ටේව යහ මගට ගැනීමටය. නමුත් සුමනා සිතු තරම් එය ලේසි වූයේ නැත.

“උන්නත් දාහයි, මැරුණත් දාහයි මට ලෝකේ
එක සිරුරට අත් දෙක සැප සොකේ
ඉන්න ඩිංග ජීවත් වී – සැපෙන් ඉදිමු අපි මල්ලි
හදෙත් ගෙවල් හදතැකි – අතේ තිබේනම් සල්ලි”

මේ චුට්ටේ ගේ ජීවන රටාවය. චුට්ටේ ජීවිතය දෙස මුලින් බැලූ ආකාරයය….

කළු මහත්තයාගේ හා චුට්ටේගේ ගැටුම සදාතනික ගැටුමක් විය. එය සමාජ ශාලාව ඇතුළේද, නැත්නම් වීදියේද කියා වෙනසක් නැත. තැන නොතැන බලා ඔවුන් ගුටි ඇනගති…. නමුත් එම ගුටි ඇනගැනීම තුල අන්තර්ගතනයක් ඇත. කළු මහත්තයාට අවශ්‍ය, සල්ලාලකමය. සූදුවය, වල් කම්ය. චුට්ටේ හැම දෙයක් තුලින්ම සාධාරණයක් දැකිය යුතුවේ. කළු මහත්මයාට ගණන්කාර කම අවශ්‍යය. චුට්ටේටත් ගන්නන්කාර කම අවශ්‍යය. චුට්ටේ කළු මහත්තයට වාතයක් විය. කළු මහත්තයට චුට්ටේ වාතයක් විය. එහෙයින් එකිනෙකාගේ සිත්වල පැලපදියම් වුයේ එකිනෙකාව නැතිකර ගැන්මටය.

“මග හිගන කොටත් – මග හිගන කොටත් උණු උණු බත් කන්න ලැබෙනවා
උදේ වැහැපු දැන් හවසට හද පායනවා
මහා බඹා කෙටුව හැටි කියන්න බැරිය සොයාලා – කව්ද දන්නේ හෙට මොනවද වෙන්නේ කියාලා
රැයයි දවාලයි ගෙවෙන්නේ මගදී මාවතේ – හෙටයි කියා දවසක් නැත අපේ ජීවිතේ”

මේ කියන අන්දමටම ඔවුනගේ ජීවිත සැහැල්ලු වුයේ නැත. වෛරය – ක්‍රෝධය – ඊරිසියාව සමිශ්‍රනය කර එකිනෙකාට ගසන්නට විය. කලුමහත්තයා ගේ හා චුට්ටේගේ ආත්මයන් නැති වීමට මේ සම්මිශ්‍රණය බලපාන්නට ඇත. කළු මහත්තයා පැරදීමත්, චුට්ටේ හිරයට වැටීමත් තුල එතෙක් පැවති එකිනෙකාගේ ආධිපත්‍ය නැතිවී ගියේය. චණ්ඩින්ට හිරබත් ලගින්නට විය. එහෙත් ටයිටස් තම චුට්ටේ ව හිරයටම හිර කලේ නැත. ඔහුව නිදහස් කළේය. පන්සලේ දානේ දා දානේ බත් කෑමට හිගන්නන් අතර බිම වාඩි වෙන්නට චුට්ටේට සිදු වූයේත්, එම දානය සුමනා අතින් බෙදීමට සැලැස්වීම තුල කිසියම් දෛවයෝගික සිදුවීමක් නිසා සිදුවූ බවක් පෙන්වන්නට ටයිටස් උත්සහා කරන්නට ඇත. චුට්ටේ තුල සැගවී තිබු මානුෂිකත්වය එලියට පනින්නේද මේ අවස්ථාවේය. චුට්ටේ යනු කළු චරිතයක් නොව, කළු චරිතයන්ට අභිබවන්නට ගොස් කළු වුනිද, ඔහු කළු හා සුදු සමිශ්‍රනයක් බව මෙම දානය සිදුවීම තුලින් ටයිටස් ඒත්තු ගන්වන්නට විය.

ටයිටස් තොටවත්ත, චන්ඩියා තුලින් තමනට අවැසි දේ කරන්නට පැකිලුනේ නැත. තාත්වික සටන් ජවනිකා. ත්‍රාසජනක බෝට්ටු ලුහු බැදීම්, රිය අනතුරු, බෝම්බ පිපිරවීම්, මෙන්ම ගීත හා ක්ලබ් නැටුම් ඒ සියල්ලම මෙම චිත්‍රපටය තුලට රිංගවුවද, ඒවා කථා ශාරයත් සමග අපූරුවට බද්ධ විය. “එන්ඩකෝ මා ලග ටිකකට, ටිකකට ,” වැනි පද සහිත ගීතද එකතු කලේ ඒවා “නයිට් ක්ලබ්” ගීත ලෙස අවශ්‍ය නිසාය. කරුණාරත්න අබේසේකර විසින් ලියු ” පියුමෙහි පැණි බොති වන බඹරෝ” ගීතය චිත්‍රපටයෙන් ඉවත් කර ඒ වෙනුවට “මග හිගන කොටත්” හා “උන්නත් දාහයි මැරුණත් දාහයි” වැනි ගීත දැම්මේ ඒවා චිත්‍රපටයේ භාෂාමය රිද්මයට ගැලපෙන නිසාය.

චිත්‍රපට කථා ශාරයට කිසිදු ගැලපීමක් නැති කවි පන්තියක් වූ
“සකල සිරින් පිරි සිරිලංකාවේ – දකුණු පළාතේ ඇති සොබනා”
හසල නමක් ඇති දෙන ගම නම් ගමේ එතනා යැයි අගනක් උන්නා
ඉහල සිරිත් ලෙස මගුලක් කාලා ඈ කරකාරය බැද දුන්නා
අහල තිබුණු තානායමකට මධු සාමය ගෙවන්නට ගිය දෙන්නා”
ටයිටස් විසින් ක්‍රිස්ටි ලෙනාඩ් ලව්වා රග දක්වා ගායනා කලේ එකල නගරයට කවි කොල කාරයන් අනිවාරයෙන්ම එන නිසාය. මේවා තුලින් රසිකයෝ චන්ඩියා සමගින් රැදී සිටියෝය.

චුට්ටේ ගේ චරිතයට ගාමිණි ෆොන්සේකාවත්, කළු මහත්තයාගේ චරිතයට එච්.ඩී.කුලතුංග වත් ටයිටස් විසින් තෝරා ගත්තේ එකල ගාමිණි මෙන්ම එච්.ඩී. කුලතුංගත් ජනප්‍රිය මෙන්ම දක්ෂතම නළුවන් දෙදෙනෙක් නිසාය. ඇතැම් විට ගාමිණිව පවා අභිබවන්නට කුලතුංගට හැකියාවක් තිබුණි. එය චන්ඩියා නරඹන විට පැහැදිලිවම තේරුම් ගිය දෙයකි. විශේෂයෙන්ම එච්.ඩී. කුලතුංග කරත්ත රෝදයක් රැගෙන වීදියේ දී ගාමිණි ෆොන්සේකා සමග සටන් කරන විට වඩා දක්ෂලෙස පෙනුනේ එච්.ඩී. කුලතුංගවය.

සුමනා ගේ චරිතයට ටයිටස් මුලින්ම තෝරා ගත්තේ පුන්‍යා හීන්දෙනියවය. එහෙත් පුන්‍යා එම චරිතය රගපෑමට ප්‍රතික්ෂේප කලාය. අනුලා කරුණාතිලකට එම චරිතය ආවේ ඉන්පසුවය. ඩී.ආර්.නානායක්කාර, ඩග්ලස් වික්‍රමසිංහ, ජෝ අබේවික්‍රම, කාල් ගුණසේන, ධර්මදාස කුරුප්පු, ඩොමී ජයවර්ධන, ඇන්තනි සී පෙරේරා, ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා, හිලරින් ස්ටවුට්, පද්මා සිරිවර්ධන, බී.එස්.පෙරේරා, එඩ්මන් සමරවික්‍රම, ඔසී කොරයා, එන්.ආර්. ඩයස්, තිලකසිරි ප්‍රනාන්දු ප්‍රධාන චරිත රගපෑ අතර ක්‍රියාදාම නළුවකු ලෙස රොබින් ප්‍රනාන්දුත්, නයිට් ක්ලබ් සාමාජිකාවන් ලෙස සෝනියා දිසා හා හිලරින් ස්ටවුට් තිරයට හදුන්වා දුන්නේ “චන්ඩියා” තුලිනි. පසුව රොබින් ප්‍රනාන්දු හා සෝනියා දිසා චරිතාංග නළු නිළියන් වූ අතර හිලරින් ස්ටවුට් ද “ස්වීප් ටිකට්” “සත පනහ” වැනි බොහෝ චිත්‍රපට වල රගපෑවාය .

ආර්. මුත්තුසාමි ගේ සංගීතයට මොහිදීන් බෙග්, ජේ.ඒ.මිල්ටන් පෙරේරා, ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා, ලතා වල්පොල, සී.ටී.ප්‍රනාන්දු ගීත ගැයුවෝය. කරුණාරත්න අබේසේකර සියලුම ගීත රචනා කළේය. චන්ඩියා කේ.ගුණරත්නම් ගේ නිෂ්පාදනයකි. විචාරකයන්ගේ මෙන්ම ප්‍රේක්‍ෂකයන්ගේත් ඉහලම ප්‍රතිචාරය දිනු ටයිටස් තොටවත්ත ගේ “චුට්ටේ ” වූ ගාමිණි ෆොන්සේකා ලාංකීය රිදී තීරය දෙපලු කලේ 1965 මාර්තු 18වන දින “චන්ඩියා” ප්‍රදර්ශනය කිරීමත් සමගමය.


ශෝන් මැක්ස්මස් දිසානායක

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button
Close