විශේෂාංග

කේට් කුමරියට ප්‍රතිකාර කරලා රැජනගෙන් පිදුම් ලබන ලංකාවෙ ‍දොස්තර නෝනා

දැනගන්නට තිබෙනා ආරංචිය අලුත් වන නමුදු මේ අලුත් ආරංචිය ලැබූ නිමිත්තට අවුරුද්දකට නොඅඩු අතීත කතාවක් ඇත්තේය. ආරංචියෙන් නම් කියැවෙන්නේ අපේ රටේ ඉපදී බි්‍රතාන්‍යයේදී වෛද්‍යවරියක වූ අපේ කෙනකු මේ අවුරුද්දේ දෙවැනි එළිසෙබෙත් රැජනගෙන් ගෞරව සම්මාන ලබන්නට නියමිත බවකි.

ටෘෘඩි නිමාලි සෙනෙවිරත්න නැති නම් ටෘෘඩි සෙනෙවිරත්න කියූ විට දැන් අෑ බ්‍රිතාන්‍යයේ බොහෝ දෙනා දන්නා කෙනෙකි. ටෘෘඩි සෙනෙවිරත්න රැජනගේ ගෞරව සම්මාන ලබන්නට නිමිති වූ කතාව පටන් ගන්නේ කේම්බි්‍රජ්හි ආර්යාව නැති නම් කවුරුත් දන්නා ලෙසට කේට් කුමරිය බි්‍රතාන්‍ය රජ කිරුළේ පස් වැනි හිමිකරුවා කුස දරා සිටිද්දීය.

ගෙවුණු අවුරුද්දේ හරියටම මේ කාලයේ දවසක කේට් කුමරිය ලන්ඩන් නුවර බෙත්ලෙම් රාජකීය රෝහල වෙත පැමිණියාය. කේට් කුමරියට වුවමනා වී තිබුණේ දරු ප්‍රසූතියකින් පසුව මවකට අත්විඳීමට සිදුවන මානසික ගැටලු මඟහැරවීමට යොදා ගැනෙනා පිළියම් ප්‍රායෝගිකව යෙදවෙනා අයුරු දකින්නටය. මේ ගමනට අෑට මඟපෙන්වීම ලැබුණේ අපේ නිමාලි සෙනෙවිරත්නගෙනි. නිමාලි සෙනෙවිරත්න මෝඩ්ස්ලි ජාතික සෞඛ්‍ය පදනමේ විශේෂඥ මානසික චික්සකවරියක ලෙස කටයුතු කරමින් සිය සායනික කටයුතු බෙත්ලෙම් රාජකීය රෝහලේදී සිදු කරන්නේ මාතෘ මානසික සෞඛ්‍ය ඒකකයේ ප්‍රධානියා ලෙසය.

කේට් කුමරිය බෙත්ලෙම් රෝහලේ මාතෘ මනෝ චිකිත්සක අංශයේ සියලු සේවක සේවිකාවන් මුණගැසී අවසානයේ රෝහල්ගත වී සිටිනා මවුවරුන් කිහිපදෙනකුම මුණගැසී සිය සුපුරුදු ළෙන්ගතුකම පෑවාය. කේට් කුමරිය වෛද්‍ය ටෘෘඩි සෙනෙවිරත්නගෙන් මාතෘ මනෝ චිකිත්සාව ගැන බොහෝ දේ දැන කියාගන්නටද වේලාව වෙන්කර ගෙන ඇත්තීය. අපේ කෙනකු ගැන ලන්ඩනය පුරාත් ඉන් නොනැවතී බි්‍රතාන්‍ය පුරාත් යළි කතාවක් ඇරැඹෙන්නට කේට් කුමරියගේ මේ මුණගැසීමම නිමිත්තක් වූයේය. ටෘෘඩි සෙනෙවිරත්නට රැජනගේ ගෞරව සම්මාන ලබන්නට තරම් වන්නේ කේට් කුමරියගේ මුණගැසීමෙන් පසු කොයි කවුරුත් දැන ගන්නා අෑ, දරු ප්‍රසූතියකින් පසුව මවකට ඇති වන පසු ප්‍රසව ආතතිය හා ඒ හා බැඳුණු අනෙකුත් මානසික ව්‍යාකූලතා දුරු කිරීම වෙනුවෙන් ඉටු කළ සහ ඉටු කරමින් සිටිනා කාර්යයයි.

සත් හැවිරිදි වියේදී ලංකාව හැරදා බ්‍රිතාන්‍යයට ගිය ටෘෘඩිට අද අපේ බස නම් එතරම් හුරු නැත්තේ නමුදු, ලාංකිකත්වය නම් අෑට අමතක නැත. ‘මගේ අම්මා හෙදියක්. තාත්තා නම් වෛද්‍යවරයෙක්. ඒත් බ්‍රිතාන්‍යයට ආපු මුල් කාලේ අපිට ටිකක් කටුක කාලයක් වුණා. තාත්තාත්, අම්මාත් ඒ අයගේ වෘත්තීන්වලින් ස්ථාවර වෙනකල් අපිට ටිකක් අමාරු කාලයක් තිබුණා. මම මගේ පුංචි වයසේදී ඒ අමාරුකම් අත්වින්දා. දැනට නම් මට ඉන්නේ මගේ අම්මා ලීනා සෙනෙවිරත්න විතරයි. මගේ තාත්තා මීට අවරුදු දහසයකට කලින් නැති වුණා. මම කතෝලික පවුලක, කතෝලික පසුබිමක් එක්ක හැදුණු කෙනෙක්. ඒත් මම ලන්ඩන්වලට ආවට පස්සේ මම සිංහල ඉගෙන ගත්තා. ලන්ඩන් බෞද්ධ විහාරයේ හැම ඉරිදාම සිංහල පන්තියක් තියෙනවා. ඒ සිංහල පන්තියෙන් තමයි මම සිංහල ඉගෙන ගත්තෙ.

කුඩා කල පටන්ම අම්මාගෙන් තාත්තාගෙන් ඇසූ දුටු ජීවන අත්දැකීම් අෑට වෛද්‍යවරියක වීමට ආශාව ඇති කරන්නේ අෑටත් නොදැනීමය.

මම මුල් කාලයේදී නොයෙක් ක්‍ෂේත්‍ර ගැන ඉගෙන ගත්තා. පර්යේෂණත් කළා. ඒත් කාලයක් යද්දී මට මානසික වෛද්‍ය ක්‍ෂේත්‍රයට වැඩි කැමැත්තක් ඇති වුණා. 1992 අවුරුද්දේදී වෛද්‍ය වෘත්තිකයෙක් විදියට මූලික සුදුසුකම් මම සපුරා ගත්තා. 1995 අවුරුද්දෙන් පස්සේ මම වැඩිහිටියන්ගේ මානසික ගැටලුවලට උපදේශන ලබාදෙන සහ ප්‍රතිකාර කරන වෛද්‍යවරියක විදියට වැඩ කරන්න පටන් ගත්තා. ලන්ඩනයේ මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ආයතනයේදී තමයි මම මුලින් මේ මනෝ වෛද්‍ය විද්‍යාව ගැන පර්යේෂණවලට දායක වුණේ. ඒ 1996දී. නොයෙක් පර්යේෂණවලට මම මගේ දායකත්වය ලබලා දුන්නා.

1998 තමයි මම පසු ප්‍රසව මානසික ගැටලු ගැන විශේෂිතව කටයුතු කරන්න පටන් ගත්තේ. මාව මනෝ විද්‍යාව ගැන පර්යේෂණවලට යොමු කළේ මහාචාර්ය චන්නි කුමාර්. මම දැන් වැඩකටයුතු කරගෙන යන්නෙත් මහාචාර්ය චන්නි කුමාර් 1979 අවුරුද්දේ පටන් ගනිපු මනෝ වෛද්‍ය ඒකකයේ. මහාචාර්යවරයා 2000 අවුරුද්දේ නැති වුණා. ඒ නිසා මට මහාචාර්යතුමා එක්ක පර්යේෂණ කරන්න ලැබුණේ ටික කාලයයි. ඒත් ඒ ටික කාලෙදී අපි වැදගත් අධ්‍යයනයන් කීපයක්ම කළා. රටවල් දහයක කාන්තාවන් යොදාගෙන පසු ප්‍රසව විෂාදය වගේ තත්ත්වයන් ගැන පුළුල්ව සොයා බැලීම් කළා. ඒ වගේම මානසික ගැටලු ඇති කාන්තාවන්ගේ දරුවන් ආරක්ෂිතව හදා වඩා ගන්නේ කොහොමද කියන එක ගැනත් අධ්‍යයනයන් කළා. නමුත් මහාචාර්යතුමා නැති වුණාට පස්සේ මම පර්යේෂණ කරනවාට වඩා සායනික කටයුතුවලට යොමුවුණා. සායනික කටයුතු කරගෙන යද්දී නොයෙක් අත්දැකීම්වලට මුහුණ දෙන්න සිදුවෙනවා. සමහර අත්දැකීම් මගේ සිතටත් දුකක් ඇති කරපු වෙලාවල් තියෙනවා. නමුත් වෛද්‍යවරියක විදියට මම හැම වෙලාවෙම උත්සාහ කරනවා ස්වාධීනව ඉන්න. නිමාලි කියන්නීය. නිමාලි ලද අත්දැකීම් නිරතුරුවම ඇගේ වෘත්තීය ජීවිතය පොහොසත් කරවන බව ඇගේ අදහසයි.

‘සෑම කාන්තාවන් හතර දෙනකුගෙන් එක් අයකුම දරුවකු ප්‍රසූත කළාට පස්සේ මානසික ගැටලුකාරි තත්ත්වයකට මැදි වෙනවා. හරියටම කිව්වොත් දරුවකු ලැබීමේ සතුට විඳගන්න ඇයට බැරි වෙනවා. මෙවැනි තත්ත්වයන් නිසා මවුවරුන් තමන්ගේම දරුවා ළඟට ගන්නෙ නැතිව ඉන්න වෙලාවල් තියෙනවා. සමහර මවුවරු තමන්ගේ ජීවිතය නැති කර ගන්න පවා උත්සාහ කරනවා. මේ ගැටලු දරුවකු බිහිකරපු මවකට වගේම දරුවෙක් බිහි කරන්න ඉන්න මවකට වුණත් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපි මවුවරුන්ගේ මානසික තත්ත්වය ගැන හොයලා බැලිය යුත්තේ ගැබ් ගත් කාලයේ සිටමයි.

ගැබ් ගැනීම නිසාත් මෙවැනි ගැටලුවලට ලක්වන මවුවරු ඉන්නවා. නමුත් ගැබ් ගැනීම සහ දරුවකු බිහි කිරීම කියන්නේ කාන්තාවකගේ ජීවිතයේ සතුටුදායකම වෙලාවන් කියන එකයි අපේ නම් විශ්වාසය. සමහර මවුවරු මගේ ළඟට එනවා තදබල මානසික පීඩනය ඇතිව. ගැබක් දරාගෙන මානසික පීඩනයෙන් සිටීම නම් ගැබට ඉතාම හානිකරයි. දරුවා බිහිවුණාට පසුව ඇතිවන මානසික ගැටලුවල තත්ත්වය ඊට වඩා වෙනස්. බොහෝ විට ප්‍රසූතියකින් පසුව එවැනි පීඩනයකට ලක්වෙන මවුවරු දරුවා ප්‍රතික්ෂේප කළත් අපි අපේ ප්‍රතිකාර කරන්නේ දෙදෙනාම එක ළඟ තියාගෙන. ඒක මම අත්දැකීම්වලින් එකතු කර ගත්ත දෙයක්. පවුලක අම්මා මානසික පීඩනයට ලක් වුණාම ඒක පවුලටම බලපානවා. ඒ නිසයි මෙවැනි ගැටලු ඉක්මනින් හඳුනාගෙන ප්‍රතිකාර කළ යුත්තේ.’ ඒ වෛද්‍යවරියක ලෙස අෑ කාටත් ලබා දෙන උපදෙසයි.

‘මම ගැන හිතුවම මම නම් හරිම සැහැල්ලුවෙන් ජීවත් වෙන කෙනෙක්. හැමදේ ගැනම සුබවාදීව හිතන කෙනෙක්. එහෙම නිතර මම කරන දේ නියම විදියට කරන්න බැහැ. මට දුක හිතෙන වෙලාවල් වගේම මගේ හිතත් කම්පනය වෙන වෙලාවල් තියෙනවා. නමුත් ඒ වගේ දේවල් දීර්ඝ කාලීනව මගේ හිතේ රැඳෙන්න මම ඉඩ තියන්නේ නැහැ. මම මගේ රැකියාවේ වගකීම් ඉටුකරනවා වගේම මගේ පවුල වෙනුවෙනුත් කාලය වෙන් කරලා තියෙනවා. මම මගේ පුතාලා දෙන්නා එක්ක අනිවාර්යයෙන් වෙලාව ගත කරනවා. ඒ වගේම මම යෝගා කරනවා. සංගීතයටත් මම ගොඩක් කැමැතියි. ඒ දේවල්වලින් මට දැනෙන්නේ සැහැල්ලුවක්. මම ජීවිතේ සමබරව ගෙනියන කෙනෙක්.’

නිමාලිගේ ජීවිතයෙන්ද ඉගෙන ගන්නට ඇති දෑ බොහෝය. අෑ කාන්තාවක් ලෙසින්, අම්මා කෙනකු ලෙසින් කාන්තාවන් වෙනුවෙන් වෙහෙසෙන්නීය. ගත සුවපත් කිරීම පහසුය. සිත සුවපත් කිරීම අපහසුය. නිමාලි වෙහෙසෙන්නේ ඒ අසීරු කටයුත්ත ඉටු කරන්නය. අෑ දෙවන එළිසෙබෙත් රැජනගේ ගෞරවයට පත් වන්නේද අෑ ගන්නා ඒ වෙහෙස වෙනුවෙනි. ‘මට ලැබෙන ඒ ගෞරවය ගැන මට තියෙන්නේ ලොකු සතුටක් වගේම ආඩම්බරයක්. මම කවදාවත් හිතුවේ නැහැ මට ඒ වගේ තැනක් ලැබෙයි කියලා. මම හිතනවා ලංකාවේ ඉපදුණු කෙනෙක් හැටියට මට මේ ලැබෙන ගෞරවය ලංකාවටත් ගෞරවයක් කියලා. ‘ඒ ඇගේ සිතිවිල්ලය. අෑ සිතනා දේ වරදක් නැත. ඇයව අපට ආඩම්බරයක් වන්නේ ඒ නිසාමය.


නෙලූෂා සිල්වා

උපුටා ගැනීම – මව්බිම පුවත්පත

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button
Close