දේශීය

පාලකයන්ගේ ඩොලර් ආශාව වෙනුවෙන් කෙළසෙන සිංහරාජය

සිංහරාජ වනාන්තරය ශ්‍රී ලංකාව සතු ලෝක උරුමයන් සුළු ප්‍රමාණ අතරින් එකකි. 1988 වසරේදී සිංහරාජ වනාන්තරය ලෝක උරුමයක් බවට පත් කිරීම සඳහා බලපා ඇති සුවිශාල හේතු ගණනාවකි. ශ්‍රී ලංකාව සතු එකම නොයිඳුල් වනාන්තරය වන සිංහරාජය වසර කෝටි 15ක සිට පැවත එන්නක් බව පරිසර විද්‍යාඥයින්ගේ මතය වී තිබේ. සිංහරාජයට ආවේණික ජීවින් හා ශාක විශේෂ ගණනාවකි. ශ්‍රී ලංකාව සතු වනාන්තර පද්ධතියේ හදවත බදු සිංහරාජය මේ දිනවල දැඩි කතාබහට ලක්ව ඇත්තේ සිංහරාජය හරහා මාර්ගයක් ඉදිකිරීම හේතුවෙනි. ශ්‍රී ලංකාව හා ජාත්‍යන්තර පරිසර නීති සියල්ලටම පටහැනිව යමින් මෙම මාර්ගය ඉදිකිරීමේ අරමුණ පැහැදිලි නැත. බලධාරීන් මෙම මාර්ගය පිළිබඳ ප්‍රකාශ කරනුයේ එකිනෙකට පරස්පර කතාය. මේ පිළිබඳ වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කරනුයේ මාර්ගය ඉදි කිරීමේ වගකීම වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව භාර ගන්නා බවත් මාර්ගය ඉදිකිරීම මගින් පරිසරයට හානියක් නොමැති බවත්ය.

පරිසර නියෝජ්‍ය ඇමති අජිත් මාන්නප්පෙරුම සඳහන් කරන්නේ වැඩිහිටියන්ට හා සංචාරකයින්ට පහසුවෙන් ගමන් කිරීම සඳහා විදුලි මෝටර් රථ සේවාවක් පවත්වාගෙන යාම මාර්ගය ඉදි කිරීමේ අරමුණ බවය. මාර්ගය ඉදිකිරීම පිළිබඳව තොරතුරු සෙවීම සඳහා අප සිංහරාජ වනාන්තරයට ගිය විට වැදාගල, කුඩම පිවිසුමේ ප්‍රකාශකයකු සඳහන් කර සිටියේ මෙම මාර්ගය ඉදි කරන්නේ සංචාරකයින්ට පයින් ගමන් කිරීම සඳහා බවත් වාහන වලට ඇතුල් වීමට ඉඩ නොදෙන බවත්ය. කෙසේ වුවද මේ වන විට මාර්ගය කිලෝමීටර් 200ක් දුරට කපා අවසන්ය. මාර්ගය කොන්ක්‍රීට් කිරීමට අවශ්‍ය ගල්, වැලි, ගෙනගොස් ඇති අතර අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර හා වාහනද ගාල් කර ඇත. මාර්ගය ඉදිකරන ප්‍රදේශයට කිසි කෙනකුට ඇතුළු වීමට අවසර නැත. සංචාරක මගපෙන්වන්නන්ට උපදෙස් ලබා දී ඇත්තේ කිසිදු සංචාරකයකුට මාර්ගය ඉදිකරන ප්‍රදේශයට ළඟා වීමට ඉඩ නොදෙන ලෙසය. මෙම මාර්ගය පිළිබඳ සොයා බැලීමට ගිය විටදී වූ සැකකටයුතු බොහෝ දේ අපහට නිරීක්ෂණය විය. මෙම මාර්ගය පයින් ගමන් කරන සංචාරකයින්ගේ පහසුව සඳහා ඉදිකරන්නේ නම් පයින් ගමන් කරන මගීන්ට අඩි 10ක් පමණ පළල කොන්ක්‍රීට් මාර්ගයක් අවශ්‍ය නැත. අනෙක් කාරණය වන්නේ කිලෝමීටරයක් පමණක් පයින් ගමන් කිරීමේ ඇති ඵලය කුමක්ද යන්නයි. මෙහිදී දක්නට ලැබුණු තවත් සැකකටයුතු සිදුවීමක් වූයේ කුඩව පිවිසුමේ සිට කිලෝමීටර 2ක් පමණ ගිය විටදී සංචාරකයන් ගමන් කරන අඩිපාර ආසන්නයේ වැටී තිබූ ඉදිකිරීම් සඳහා යොදා ගන්නා ගල් කුඩු හමුවීමය. මේ ගල්කුඩු වනාන්තරය තුළට ගියේ කෙසේද යන්න බරපතළ සැකයට තුඩුදෙන කරුණකි. මෙමගින් මතුවන සැකය වන්නේ වනාන්තරය ඇතුළත තවත් ඉදිකිරීම් සිදුවන්නේද යන්නයි.

2030 දක්වා වන ශ්‍රී ලංකාවේ භෞතික සැලැස්ම අනුව සිංහරාජ වනාන්තරය හරහා මාර්ග තුනක් ඉදිකිරීමට සැලසුම් කොට ඇත. මතුවන තවත් සැකයක් වන්නේ එම සැලසුම් කොටස් ක්‍රමාණුකූලව ක්‍රියාත්මක වන්නේද යන්නයි. තවත් බරපතළ ප්‍රශ්නයක් වන්නේ මෙම ව්‍යාපෘතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යටතේ ඇති මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ සිදු කිරීමයි. ව්‍යාපෘතිය සඳහා මූල්‍ය ප්‍රතිපාදන සපයා ඇත්තේ ලෝක බැංකුව යටතේ ක්‍රියාත්මක වන එස් කැම්ප් ව්‍යාපෘතිය මගිනි. මෙම ව්‍යාපෘතිය මගින් බූන්දල නකල්ස්, ලුණුගම්වෙහෙර, ගලිඔය, යාල, වීරක්කුලි යන රක්ෂිත වනාන්තර තුළද මෙවැනිම ඉදිකිරීම් කිරීමට නියමිතව ඇත.

ලෝක බැංකුවේ මෙම ව්‍යාපෘතිය මහින්ද රාජපක්ෂ පාලන කාලය තුළද ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළද එවකට පරිසර සංවිධාන වලින් එල්ල වූ විරෝධය මත 2011 මාර්තු 22 ව්‍යාපෘතිය අතහැර දැමීමට තීන්දුවක් ගෙන තිබිණ.

එහෙත් 2017 ජනවාරි මෙම විනාශකාරී ව්‍යාපෘතිය සඳහා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව 2018 ජුලි 31 දා ලෝක බැංකුවේ උපදේශකයකු වන මැතිව් ආමික් පරිසර අමාත්‍යාංහයේ හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සම්මන්ත්‍රණයක් කරමින් ව්‍යාපෘතිය පිළිබඳ පැහැදිලි කර ඇති අතර එහිදී ප්‍රකාශ කර ඇත්තේ මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 45ක අධාර ලබාදෙන බවය.

කෙසේ වුවද සිංහරාජයේ මාර්ග තැනීමේ මෙම ව්‍යාපෘතිය සිදුකෙරෙනුයේ පවතින සියලුම නීතිරීති උල්ලංඝණය කරමිනි. ජනාධිපතිවරයා වන සත්ව හා වෘක්‍ෂලතා ආඥාපනතට හා පරිසර පනතට අනුව මෙවැනි ව්‍යාපෘතියක් කිරීම නීති විරෝධි ක්‍රියාවකි.

මීට අමතරව 1992 දී අත්සන් කරන ලද එක්සත් ජාතීන්ගේ පරිසර හා සංවර්ධන සම්මුතියට අනුව මෙවැනි ඉදිකිරීමකට අවසර නැත. මීට අමතරව තවත් ජාත්‍යන්තර සම්මුතීන් ගණනාවකට අනුවද ලෝක උරුමයක් වන සිංහරාජ වනාන්තරය තුළ මෙවැනි ඉදිකිරීම් වලට ඉඩ නැත.

පරිසරවේදීන්ගේ දැනුවත් කිරීම මත මේ වනවිට යුනෙස්කෝ සංවිධානය මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අවධානය යොමුකොට ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ ලේකම් ජනරාල් ප්‍රේමලාල් රණවීර මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායකට ලිපියක් යවමින් ප්‍රකාශ කර ඇත්තේ මේ පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙසයි.

මීට පෙරද සිංහරාජ වනාන්තරය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ අවදානමක් මතුවූයේ මෙවැනිම තවත් ව්‍යාපෘතියක් හේතුවෙනි. ඒ සූරියකන්දේ සිට පොතුපිටිය දෙසට මාර්ගයක් ඉදිකිරීම හේතුවෙනි. කෙසේ වුවද යුනෙස්කෝ සංවිධානයේ දැනුම්දීම මත මාර්ගය ඉදිකිරීම නවතා දැමීමට සිදු විය.

මේ වනවිටත් ඉදිකරමින් පවතින මාර්ගයේ වගකීම වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා භාරගන්නා බව පැවසීය. මේවන විටත් මාර්ගය ඉදිකිරීම හේතුවෙන් දැවැන්ත පරිසර හානියක් සිදුව ඇත. ඒ මාර්ගය ඉදිකිරීම වෙනුවෙන් මේ වන විටත් විශාල ශාක හා සත්ව ප්‍රජාවක් විනාශයට ලක්ව ඇති බැවිණි.

මොවුන් නගන ප්‍රධාන තර්කය වී ඇත්තේ මෙම මාර්ගය ඉදිකරන්නේ සිංහරාජ රක්ෂිතයට අයත් නොවන පරිවාර වනාන්තරයක් තුළ බවත් මාර්ග ඉදිකිරීම හේතුවෙන් විශාල වෘක්‍ෂලතා ආදියට හානි සිදු නොවූ බවත්ය. එහෙත් මාර්ගය ඉදිකිරීම වෙනුවෙන් හා මාර්ගය ඉදිකරන කාලය තුළ සංචාරකයින්ට ගමන් කිරීම සඳහා විකල්ප මාර්ගයක් ඉදිකිරිම මගින් පරිසරයට බරපතළ හානියක් සිදුකර ඇත. වන සංරක්ෂණ අධ්‍යක්ෂවරයා මොනදේ පැවසුවද රක්ෂිතය තුළ සිට මීටර් 500ක් වනතෙක් පරිවාර වනාන්තරය සලකන්නේ අතිශය සංරක්ෂිත කලාපයක් ලෙසය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පරිසර අමත්‍යාංශය තමා වෙත පවරාගන්නේ ඔහු පරිසරයට වඩාත් හිතැති පුද්ගලයකු බව ජනතාව හමුවේ ප්‍රතිඥා දෙමිනි. එහෙත් අදවනවිට සිංහරාජය ඇතුලු රක්ෂිත වනාන්තර වලට වින කැටීමට සියලු සැලසුම් සකස්කර ඇත්තේ ජනාධිපතිවරයා යටතේ පාලනය වන මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය හරහාය. අදවන විට දේශපාලනික විපර්යාස සිදුවන රටවල් අතරින් ඉදිරියෙන්ම සිටින රටක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇත. එසේම වන විනාශය ඇතුලු පරිසර හානිය හේතුවෙන් ජෛව විවිධත්වයට සිදුව ඇති හානියේ ප්‍රතිඵල මේ වන විටත් සමාජයට දැනෙමින් පවතී. අදවන විට ගොවි නිෂ්පාදන වලින් 30%ක් පමණ විනාශ වෙමින් ඇත්තේ වන සතුන්ගේ බලපෑම් හේතුවෙනි. එයට වර්තමානය වන විට සේනා නමැති දළඹු විශේෂයේ හානිය රටට බලපාන ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත්ව ඇත.

මේ සියල්ලටම ප්‍රධානම හේතුවක් බවට පක්ව ඇත්තේ පරිසරයේ සමතුලිතතාවය නැතිව යාමය. ප්‍රශ්නය විසඳනවා වෙනුවට වර්තමානයේ බලධාරීන් උත්සාහ දරන්නේ ප්‍රශ්න යටපත් කිරීමටය. සිංහරාජ වනාන්තරයේ මාර්ගය ඉදිකිරීම ගැන පරිසරවේදීන් හඬ නඟන විට අමාත්‍යංශය විසින් සිදුකරන ලද්දේ නියෝජන්‍ ඇමති මාන්නප්පෙරුම සමඟ මාධ්‍යවේදීන් කණ්ඩායමක් සිංහරාජයට යවා ඔවුන්ට කෑම බීම ලබාදී තමන්ට අවශ්‍ය දේ කියවා ගැනීමය. අද වන විට පාලකයන් පුරුදුව ඇත්තේ ඩොලර් ලැබෙනවා නම් ඒ වෙනුවෙන් වටිනා ඕනෑම දෙයක් බිලි දීමටය. සිංහරාජ වනාන්තරයද මේ වන වටි කෙලෙසෙමින් ඇත්තේ ඒ ඩොලර් වෙනුවෙනි.


ජනක විජේගුණතිලක

කළු සුදු ඡායා රූපය – දිල්හාන් විමල්ක
වර්ණ චායාරූප – facebook සමාජ ජාලයෙන්

උපුටා ගැනීම – රාවය සංවාදශීලී පුවත්පත

Advertisements
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button