ක්‍රීඩා

අපි සූදානම් ද?

මේ දවස්වල ගමේ නගරෙ අස්සක් මුල්ලක් නෑරම හැම ක්‍රිකට් ලෝලියෙක් ම ඇස්කන් ඇරගෙන බලාගෙන ඉන්නෙ 2019 ක්‍රිකට් ලෝක කුසලානය ආරම්භ වෙනකන්. ශ්‍රී ලංකාව පැත්තෙන් ගත්තොත් ලෝක කුසලානයට යන්න අපි ඉන්නෙ තව එක්දින ජාත්‍යන්තර තරග 07 ක දුරින්. ඒ් කියන්නෙ දකුණු අප්‍රිකාවට එරෙහිව තරග 05 යි, ස්කොට්ලන්තයට එරෙහිව තරග දෙකයි. මුහුද මෙච්චර ළඟට ඇවිල්ලත් අපි අමුඩෙ ඇදගත්ත ද කියන එකනම් ප්‍රශ්නයක්. ඒකට හේතුව තමයි අපිට තවමත් ස්ථාවර කණ්ඩායමක් නැති වීම.

පසුගිය එංගලන්ත සංචාරය වෙනකන් කණ්ඩායමේ ප්‍රධානම ආරම්භක පිතිකරුවා විදිහට කටයුතු කළේ උපුල් තරංග. නමුත් උපුල් තරංගට ගිය අවුරුද්ද පුරාවටම සාර්ථකව ලකුණු අතරට එන්න බැරිවුණු නිසා එංගලන්ත සංචාරය මැදදි කණ්ඩායමෙන් එළියට යන්න සිද්ධ වෙනවා. මේ තැනට ආදේශ වෙන්නෙ සධීර සමරවික්‍රමයි ධනුෂ්ක ගුණතිලකයි. සධීර එංගලන්ත කණ්ඩායමත් එක්ක තිබුණ අවසාන තරගයේ දී අර්ධ ශතකයක් ලබා ගන්නකොට ධනුෂ්ක නවසීලන්ත සංචාරය පුරාවට සාර්ථක වෙනවා. අනෙක් අන්තයෙන් ඉනිම ආරම්භ කරන නිරෝෂන් දිකවැල්ල කොහොමත් මේ වෙනකොට තමන්ගෙ තැන හදාගෙන ඉවරයි.

කොහොම වුණත් උපුල් තරංග කියන්නෙ මේ වෙනකොට ලෝකයේ ඉන්න ප්‍රවීණතම ආරම්භක පිතිකරුවා. ලෝක කුසලානයක් වගේ වැදගත් තරගාවලියක දී උපුල් තරංගගේ සේවය ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගන්න පුළුවන් නම් ඒක ශ්‍රී ලංකාව පැත්තෙන් ලොකු වාසියක් වෙයි. 2018 අවුරුද්ද පුරාවට ලකුණු එක්ක ඒ තරම් හොදින් ගනුදෙනු කරපු නැති උපුල් තරංගට තමන්ගෙ වැරදි හදාගන්න තේරීම් කමිටුව දීපු අවස්ථාව නම් හොදින් ම පාවිච්චි කරනවා කියලා උපුල් පෙන්නුවා. ඊයේ (01.19) අයර්ලන්ත ඒ කණ්ඩායමට එරෙහි පළවෙනි තරගයේ දීම උපුල් නායකයා විදිහට අර්ධශතකයක් (66) රැස් කරගන්නවා. ඒත් එක්කම අනෙක් ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුත් ශතකයක් (128*) රැස් කරගන්නවා.

නමුත් අවිශ්ක වගේ තරුණ ක්‍රීඩකයෙක් ලෝක කුසලානය අතමුල තියාගෙන කණ්ඩායමට කැදවන එක ඒතරම් නුවණක්කාර වැඩක් නම් නෙවෙයි. යම් විදිහකින් ශ්‍රී ලංකාව ලෝක කුසලානයේ දී අසාර්ථක වුණොත් ඒ්ක අවිශ්ක වගේ ක්‍රීඩකයෙකුගේ අනාගතයට බොහොම නරක විදිහට බලපාන්න පුළුවන්. ඒ නිසා අවිශ්ක ප්‍රනාන්දු, කමිදු මෙන්ඩිස්, ශම්මු අශාන් වගේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් වල අනාගත ආයෝජන විදිහට පාවිච්චි කළොත් තමයි හොඳ.

ආරම්භක පිතිකරණ ස්ථානයෙන් පහළට ගියොත් අංක 03 ස්ථානයේ තමන්ට හොදින් ක්‍රීඩා කරන්න පුළුවන් කියලා කුසල් පෙරේරා පෙන්නලා ඉවරයි. නමුත් අංක 04 ක්‍රීඩා කරන්නෙ කුසල් මෙන්ඩිස් ද එහෙම නැත්නම් දිනේෂ් චන්දිමාල් ද කියන එක ප්‍රශ්නයක්. කොහොම වුණත් මේ දෙන්නම ඒ තැනට සුදුසු ද කියන කාරණය තවත් ප්‍රශ්නයක්. මොකද මේ දෙන්නම ටෙස්ට් තරග වලදි හොඳින් ලකුණු රැස් කළාට එක්දින තරගවලදි ඒ තරම් සාර්ථකත්වයක් පෙන්නලා නෑ. ඒ වගේම අයර්ලන්ත ඒ කණ්ඩායම සමඟ තිබුණ පළවෙනි එක්දින තරගයෙ දී අංක 03 ක්‍රීඩා කරපු මිලින්ද සිරිවර්ධනත් ශතකයක් (111) රැස් කරගන්නවා. ඔහු අයර්ලන්ත ඒ කණ්ඩායම සමඟ පවැත්වුණු නිල නොළත් ටෙස්ට් තරඟාවලියේ දිත් පිත්තෙන් ලොකු වැඩ කොටසක් කළා. ඉතිං මිලින්ද කියන්නෙත් කාලයක් ජාතික කණ්ඩායමේ ඉදලා සැළකිය යුතු තරම් හේතුවක් නැතිව කණ්ඩායමෙන් එළියට ගිය ක්‍රීඩකයෙක්. ඉතිං ප්‍රශ්නයක් වෙලා තියෙන අංක 04 ස්ථානයට මිලින්ද වගේ ක්‍රීඩකයෙක් ව වුණත් සළකා බලන්න තේරීම් කමිටුවට පුළුවන්.

අංක 05 කියන්නෙ කොහොමත් ඇන්ජලෝ මැතිව්ස් ගෙ ස්ථානය. අංක 06 ස්ථානයත් තවම ස්ථාවර නෑ. ඒ ස්ථානයට පහුගිය කාලය පුරාවට ධනංජය ද සිල්වා, සීක්කුගේ ප්‍රසන්න වගේ විවිධ ක්‍රීඩකයෝ දාලා බැලුවත් සාර්ථක වුනේ නෑ. මේ දවස්වල දක්ෂතා අතර ඉන්න ජීවන් මෙන්ඩිසුත් මේ තැනට එන්න සුදුසුකම් සපුරලා තියෙන්නෙ. ඒ වගේම 06 ස්ථානයේ ක්‍රීඩා කරන දසුන් ශානකත් BPL තරඟාවලියේ දක්ෂතා දක්වන්න පටන් අරන් තියෙන්නේ. තිසර පෙරේරා නවසීලන්ත තරගාවලියෙ දී අලුත් ගමනක් පටන් ගත්තා. දැන් ඔහුත් BPL තරඟාවලියේදි තමන්ගෙ පිත්ත තව දුරටත් මුවහත් කරමින් ඉන්නෙ.
නිෂ්චිත ආරම්භක පිතිකරණ යුගළයක් සහ අංක 04 සහ අංක 06ට ස්ථාවර පිතිකරුවො දෙන්නෙක් ඉක්මනටම හොයා ගත්තනම් ශ්‍රී ලංකා පිතිකරණ බලඇණිය ස්ථාවර වේවි කියලා හිතෙනවා. මේ කොයි දේ කරන්නත් තව තියෙන්නෙ එක්දින තරග 07ක් විතරයි.


සුධීර අයේෂ්මන්ත
ජනයුගය – ක්‍රිකට් ක්‍රීඩා විශේෂාංග ලේඛක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button