දේශීය

ලක්බිම මාධ්‍යවේදීන් සහ සේවකයන් එළියට දමයි – තිලංගගේ අයියා ජගත්ටත් වාරණ නියෝගයක්

තිලංග සුමතිපාල මහතා විසින් පවත්වා ගෙන ගිය දිනපතා ලක්බිම පුවත් පත වසා දමා එහි සේවකයන් 30 දෙනෙකු නෙරපා දැමීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

එසේ නෙරපීමට සූදානම් වන පිරිස අතර ස්ථිර සේවකයින් 13 දෙනෙකු හා කොන්ත්‍රාත් පදනම හා අනියම් සේවකයන් ලෙස කටයුතු කළ 17 දෙනෙකු සිටින බව පැවසේ.

මෙසේ ඉවත් කිරීමට සැරසෙන සේවකයන් අතර වසර 30ක් හා වසර 10කට වැඩි කාලයක් සේවය කළ මාධ්‍යවේදීන් වැඩි ප්‍රමාණයක් සිටින බවද වාර්තා වේ.

වන්දි ගෙවීමට මුදල් නැති බව කියන සුමතිපාල මහතා එහි සේවකයන්ට මාස හයක වැටුපක් ලබාදෙන්නම් යැයි පැවසූ බව එහි සේවිකාවක් කියා සිටියාය. කෙසේවුවද, එසේ සයමසක වැටුප් ලබාදීමට සැරසෙන්නේ ස්ථිර සේවකයන්ට පමණක් බවද වාර්තා වේ. කොන්ත්‍රාත් පදනම මත සිටි අයට ලබාදීමට එකඟව ඇත්තේ මසක වැටුපකි.

සොච්චම් වැටුපකට එහි සේවය කරන එම සේවකයන්ට එලෙස මාස හයක වැටුප් ගෙවුවද එක් අයෙකුට උපරිම ලෙස ලැබෙන්නේ ලක්ෂ දෙකකටත් අඩු මුදලක් බවද පැවසේ.

ඇඟිලි සකුණු යන්ත්‍රයේ සූදුව

මේවන විට ඉවත් කිරීමට සැලැසුම්කර ඇති සේවකයන්ට ඇඟිලි සලකුණු යන්ත්‍රයේ සිය ඇඟිලි සටහන් යෙදීමට ද නොහැකිව ඇති බව පැවසේ.

එසේ ඇඟිලි සටහන් යෙදීමට නොහැකිව ඇත්තේ ස්ථිර සේවකයන් හා මාධයවේදීන්වන ධර්මශ්‍රී තිලකවර්ධන, නිශානි දිසානායක, මංගල ධර්මප්‍රේම, කමණි හෙට්ටිආරච්චි, ප්‍රභාත් විදානපතිරණ, සිසිර හේමකුමාර, ෆ්‍රෑන්ක් ද සොයිසා, ලක්මාල් වසන්ත, ප්‍රියන්ත ගමගේ, තුෂාර අතපත්තු හා මලිත් ගමගේ යන පිරිසට වෙති.

ඊට අමතරව, රුක්මාල් සිල්වා, තිලක් පුෂ්පකුමාර, පද්මිණී මාතරගේ, මාධවී ශානිකා, රංජිත් නිමල්සිරි හා රංජිත් කුමාර යන කොන්ත්‍රාත් පදනමේ සේවය කළ අයටද ඔවුන්ගේ සේවය ලබාදීමට නොහැකිව ඇති බව පැවසේ.

මිහිරිට අරුණට සේවක චෝදනා !

මේ අතර, මාධ්‍යවේදීන් ලෙස කටයුතු කරනු ලබන මිහිරි ෆොන්සේකා හා අරුණ ලක්ෂාන් යන දෙදෙනාට ඉවත්කිරීමට සැරසෙන මාධ්‍යවේදීන්ගෙන් දැඩි දෝෂාරෝපනයක් එල්ලව ඇති බව පැවසේ.

ඒ ඉවත් කිරීමට සැරසෙන මාධ්‍යවේදීන්ට සිය සේවා ස්ථානයෙන් ලබාදී තිබූ පුටු මේස මානව සම්පත් කළමනාකරණ අංශය මගින් ද ඉවත් කිරීම ප්‍රතික්ෂේප කර තිබියදී මොවුන් දෙදෙනා කාර්යාල කාර්ය සහයකයින් ලෙස හැසිරෙමින් ඒවා ඉවත් කිරීමට කටයුතු කිරීම නිසාය.

තිලංග කළ තවත් වංචාවක්

මේ අතර, පසුගිය ජුනි මාසයේදී සුමතිපාල මහතා ලක්බිම සේවකයන්ට තවත් වංචාවක් සිදුකර තිබේ.

ඒ ඔවුන්ගේ අඛණ්ඩ සේවය කණ්ඩනය කිරීමට ප්‍රයෝගයක් යෙදීම හරහාය. ලක්බිම පුවත්පත ආරම්භයේ සිටම මුද්‍රණය කර ප්‍රකාශයට පත් කළ අයාතනය වූයේ සුමති පුවත්පත් සමාගමයි. කෙසේවුවද, පසුගිය ජුනි මාසයේදී එම සමාගමේ සේවය කළ වර්තමානයේ ඉවත් කිරීමට සැරසෙන අදාළ සේවකයන්ට සිය රැකියා සුක්ෂිත කරන බවට පොරොන්දු ලබාදෙමින් සුමති පුවත්පත් සමාගමින් ඉවත්කර ලක්බිම පබ්ලිකේෂන් පුද්ගලික සමාගමින් සේවක පත්වීම් ලිපි ලබාදී ඇත.

එහි සේවකයන් පවසන්නේ අදාළ සමාගමේ සේවකයන්ට වන්දි ගෙවීමට සිදුවන බැවින් මෙය සිතා මතා සිදු කළ වංචාවක් බවයි.

රඳවාගත් මාධ්‍යවේදීන්

දිනපතා ලක්බිම පුවත්පත වසා දැමීමෙන් පසුව සම්පත් දේශප්‍රිය (කර්තෘ – දිනපතා/ඉරිදා), ලසන්ත වීරකුලසූරිය (ප්‍රවෘත්ති කර්තෘ – දිනපතා/ඉරිදා), ගීත් ගුණසේකර (රිද්ම කර්තෘ), කිෂාන් කනංකේ (රිද්ම සහයක), අජිත් හේරත් (පරිගණක අංශය), පානුක රාජපක්ෂ (ජනපති ආවරණ කටයුතු) හා ජයසූරිය උඩුකුඹුර (පොදුජන පෙරමුණ ආවරණ කටයුතු) යන මාධ්‍යවේදීන් තවදුරටත් රඳවා ගැනීමට කටයුතු යොදා ඇති බවද සෙසු මාධ්‍යවේදීහු කියති.

ගොඩලියද්දගේ භූමිකාව

සේවකයන් ඉවත් කිරීමේ සැලැසුම සම්පූර්ණයෙන් සැලැසුම්කර ඇත්තේ සුමතිපාල මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිධූරය දරණ කාලයේදී එම ආයතනයේද සේවකයකු ලෙස වැටුප් ලබන අතරේ සුමති ආයතනයේ ප්‍රධාන විධායකයා ලෙස කටයුතු කළ සුජීව ගොඩලියද්ද මහතා විසින් බවට සේවකයෝ චෝදනා කරති.

ජගත්ටත් වාරණ නියෝගයක්

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාගේ සොයුරාවන ජගත් සුමතිපාල මහතා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපතිධූරය දරමින් එම සම්මේලනය සතු දේපල අවභාවිතා කිරීම, ව්‍යවස්ථා විරෝධී පාලනය හා මුදල් වාර්තා මහා සභාවට ඉදිරිපත් නොකර නිලවරණයක් පැවැත්වීමට ගන්නා උත්සාහය අත්හිටුවමින් වාරණ නියෝගයක් ලබාදෙන ලෙස දිසා අධිකරණයට පෙත්සමක් ගොනුකර තිබේ.

මේ පෙත්සම සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ හිටපු සභාපතිවරයකු වන සුදත් දේවපුර මහතා විසින් ගොනුකර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button