සමාජ

ශ්‍රී ලාංකික කාන්තාවන්ට “අඩු වයසින් පියයුරු පිළිකා වැළඳීමේ අවදානමක් පවතිනවා”

- වෛද්‍ය නෙඕමාල් පෙරේරා

ශරීර කාලගණකය (body clocks) අනුව “හිමිදිරියේ වැඩ අරඹන” කාන්තාවන් පියයුරු පිළිකාවලට ගොදුරු වීමේ ප්‍රවණතාව අඩු බව බ්‍රිතාන්‍ය පර්යේෂකයින් පිරිසක් පවසති.

බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයේ පර්යේෂක කණ්ඩායම පවසන්නේ, ඊට හේතුව සොයාගෙන නොමැති අතර එය අනාවරණය කරගත යුතු බවය.

සෑම කාන්තාවකට ම මෙය බලපාන හෙයින් තමන් තහවුරු කරගත් කරුණු අතිශය වැදගත් බව ඔවුහු පවසති.

මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ පිළිකා ශල්‍ය වෛද්‍ය විශේෂඥ නෙඕමාල් පෙරේරා සඳහන් කළේ, අදාළ පර්යේෂණ වාර්තාවේ සත්‍යතාවක් පවතින බවය.

පිළිකා ශල්‍ය වෛද්‍ය විශේෂඥ නෙඕමාල් පෙරේරා

“ශරීර කාලගණකය පියයුරු පිළිකා සඳහා බලපාන සාධකයක්. බටහිර රටවල බොහෝ විට කාන්තාවන් යහපත් ජීවන රටාවන් අනුගමනය කරනවා. ඒ තත්ත්වය ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටවල දැක ගන්න අමාරුයි. මේ නිසා මෙය බටහිර රටවලට වඩා අපට බලපානවා.” වෛද්‍ය නෙඕමාල් පෙරේරා පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ, ශ්‍රී ලාංකික කාන්තාවන් බටහිර රටවල කාන්තාවන්ට වඩා අඩු වයසින් පියයුරු පිළිකාවලට ගොදුරු වීමේ ප්‍රවණතාවක් පවතින බවය.

“සාමාන්‍යයෙන් බටහිර දියුණු රටවල කාන්තාවන් පියයුරු පිළිකාවලට ලක්වන්නේ වයස අවුරුදු 50 පමණ වන විටයි. ඒත් ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 45දී පමණ මෙම රෝගී තත්ත්වය වාර්තා වනවා. සාමාන්‍යයෙන් වසරකට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන පියයුරු පිළිකා රෝගීන් සංඛ්‍යාව 3500 ඉක්මවනවා.”

වෛද්‍ය නෙඕමාල් පෙරේරා පැවසුවේ, ශ්‍රී ලංකාවේ කාන්තාවන් සිය දෙනෙකුගෙන් එක් අයෙකුට පියයුරු පිළිකා වැළඳීමේ ප්‍රතිශතයක් පවතින බවය.

“පියයුරු පිළිකා සම්බන්ධයෙන් නිරන්තර අවදියෙන් ඉඳලා පරීක්ෂා කර ගන්නවා නම් එය වර්ධනය වෙන්න පටන් ගන්නකොට ම හඳුනා ගන්න පුළුවන්. එහෙම වුණොත් ඒක නිට්ටාවට ම සුව කරන්නත් පුළුවන්” පිළිකා ශල්‍ය වෛද්‍ය විශේෂඥ නෙඕමාල් පෙරේරා පෙන්වා දුන්නේය.

සිය නිරීක්ෂණ අනුව ශ්‍රී ලංකාවේ කාන්තාවන් පියයුරු පිළිකාවලට ගොදුරු වන වයස් සීමාව අවුරුදු 50 සිට 45 දක්වා ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව ඔහු සඳහන් කළේය.

වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ, ග්ලාස්ගෝහි පැවති පිළිකා සම්මේලනයේදී එළිදැක්වූ මෙම පර්යේෂණ වාර්තාව මගින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා නින්දෙහි ඇති වැදගත්කම යළිත් තහවුරු කර ඇති බවය.


ශරීර කාලගණකය


පැය 24 රටාවට අනුව ශරීරය පාලනය කරන ශරීර කාලගණකයක් සෑම පුද්ගලයෙකු ම සතුව තිබේ. එය ‘චක්‍රානුකූල රිද්මය’ (circadian rhythm) ලෙස හැඳින්වේ.

අපගේ මනෝභාවයන් පමණක් නොව හෘදයාබාධයන්ට පවා නින්ද බලපායි.

කෙසේ වෙතත්, සෑම පුද්ගලයෙකුගේ ම කාලගණක සමානව ක්‍රියාත්මක වන්නේ නැත.

හිමිදිරි මිනිසුන් (Morning people) හෙවත් උදෑසනින් වැඩ අරඹන්නන්, කලින් අවදි වී, කලින් ක්‍රියාත්මක වී, කලින් වෙහෙසට පත්වන්නෝ වෙති.

සැඳෑ මිනිසුන් (Evening people) හෙවත් පමා වී අවදි වී පමා වී නිදාගන්නා පුද්ගලයින්ගේ කාර්යක්ෂමතාව අධික වන්නේ, හවස් යාමයේය. එහෙයින් ඔවුහු පමා වී නින්දට යති.

 

එය පියයුරු පිළිකාවලට බලපානවා ද?

පර්යේෂකයින් පිළිගන්නා ආකාරයට ශරීර කාලගණකය පියයුරු පිළිකාවලට බලපායි. ඔවුන් සිය දත්ත විශ්ලේෂණය කිරීමට මෙන්ඩලියානු නියැදි ක්‍රමය (Mendelian randomisation) නමැති නව ක්‍රමවේදයක් භාවිත කර තිබේ.

ඔවුන් DNA කොටස් 341ක් ගෙන ඒවා හිමිදිරි හෝ සැඳෑ කාලගණක සහිත ශරීර පාලනය කරන ආකාරය නිරීක්ෂණය කර තිබේ.

ඔවුන් එයින් ලද දැනුම භාවිත කර කාන්තාවන් 180,000ක් සහ පියයුරු පිළිකා සංගමයේ සාමාජික කාන්තාවන් 230,000ක් ඇසුරින් පර්යේෂණයක් ක්‍රියාත්මක කර තිබේ.

එමගින් තහවුරු වී ඇත්තේ, උදෑසනින් වැඩ අරඹන කාන්තාවන් පියයුරු පිළිකාවලට ගොදුරු වීමේ ප්‍රවණතාව පමා වී වැඩ අරඹන කාන්තාවන් ඊට ගොදුරු වීමට වඩා අඩු ප්‍රතිශතයක් ගන්නා බවය.

බලපෑම කෙතරම් විශාල ද?

මෙම පර්යේෂණය මගින් තහවුරු වී ඇත්තේ, උදෑසනින් වැඩ අරඹන කාන්තාවන් 100 දෙනෙකුගෙන් එක් අයෙකුට පියයුරු පිළිකා වැළඳෙන විට පමා වී වැඩ අරඹන කාන්තාවන් 100 දෙනෙකුගෙන් දෙදෙනෙකුට එය වැළඳීමේ ප්‍රවණතාවක් පවතින බවය.

බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකාවක වූ වෛද්‍ය රෙබෙකා රිච්මන්ඩ් බීබීසී පුවත් සේවයට පැවසුවේ, “මෙම සොයා ගැනීම් අතිශය වැදගත්. නිශ්චිත වේලාවකට නිදා ගැනීමක් දැන් සිද්ධ වෙන්නේ නැහැ. ඒක ලේසියෙන් ම වෙනස් කරන්න පුළුවන් මේ තුළින්” යනුවෙනි.

කෙසේ වෙතත්, පියයුරු පිළිකා ඇති වීමට බලපාන ප්‍රධාන සාධක වන්නේ, වයස සහ පවුල් සෞඛ්‍ය ඉතිහාසය වැනි කරුණුය. බ්‍රිතාන්‍යයේ පිළිකා පර්යේෂණ ආයතනයට අනුව පියයුරු පිළිකාවලින් හතරෙන් එකක ප්‍රමාණයක් වළක්වා ගත හැකි මට්ටමේ පවතී.

 

නිදාගත් පමණින් පිළිකාවලින් බේරී සිටිය හැකි ද?

එය ඒ තරම් සරල නොවේ.

මේ සම්බන්ධයෙන් පැහැදිලි උපදෙසක් දීම සඳහා වේලාසන වැඩි බව වෛද්‍ය රෙබෙකා රිචර්ඩ්ස් පවසයි.

ඇය බීබීසී පුවත් සේවයට පැවසුවේ, මෙසේය. “පමා වී වැඩ අරඹන්නන්ට සාපේක්ෂව පියයුරු පිළිකා වැළඳීමේ ප්‍රවණතාව වැඩි වන්නේ කෙසේ ද යන්න තහවුරු කර ගත යුතුයි… මේවායේ සම්බන්ධතා අපි සොයා ගත යුතුයි”

 

පර්යේෂකයින් නිවැරදි ද?

විද්‍යාව යන්න 100%ක් විශ්වාසය තැබිය හැකි විෂයයක් නොවේ. කෙසේ වෙතත්, මෙම පර්යේෂණය තුළින් යම්කිසි චිත්‍රයක් නිරූපණය වේ.

සේවා මුර ක්‍රමය නිසා ශරීර කාලගණකයේ සිදුවන විපර්යාස හේතුවෙන් පිළිකා ඇති වීමේ ප්‍රවණතාවක් ඇති බව දැනටමත් ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර තිබේ.

නින්ද මානසික සෞඛ්‍යයට ද බලපාන බව මෙවැනි තවත් පර්යේෂණ රැසකින් තහවුරු වී තිබේ.

පියයුරු පිළිකා යනු කුමක් ද? (මහරගම අපේක්ෂා රෝහලේ හැඳින්වීමකි)

ප්‍රාථමික හා ද්විතීක වශයෙන් පියයුරු පිළිකා වර්ග කර තිබේ. පිළිකා සෛල පියයුරු තුළ හට ගැනීම ප්‍රාථමික පියයුරු පිළිකා ගණයට වැටේ. යම් හෙයකින් ශරීරයේ වෙනත් ස්ථානයක හට ගන්නා පිළිකා සෛලයක් පියයුරු දක්වා ව්‍යාප්ත වීම ද්විතීක පියයුරු පිළිකා ගණයට අයත් වේ.

බොහෝ විට, ප්‍රාථමික පිළිකා ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු යළි වර්ධනය නොවේ. කෙසේ වෙතත්, ඇතැම් කාන්තාවන්ගේ පියයුරු තුළ හට ගන්නා පිළිකා සෛල ශරීරයේ වෙනත් ස්ථාන කරා ද පැතිර යා හැකිය.

2011 වසරේ දී ලොව පුරා කාන්තාවන් 508,000 පියයුරු පිළිකා හේතුවෙන් මරණයට පත්ව ඇති බව ඇස්තමේන්තු කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව 2014 වසරේ දී ශ්‍රී ලංකාව තුළ පිළිකා හේතුවෙන් මරණයට පත්ව ඇති කාන්තාවන් සංඛ්‍යාව 7,200 කි. ඉන් 18.8% පියයුරු පිළිකා රෝගීන්ය.

පියයුරු පිළිකාවක් හඳුනාගැනීමේ මූලික රෝග ලක්ෂණ:‍

  • පියයුරු ආශ්‍රිත සම ඝන වීම
  • සම මතුපිට වළ ගැසීම
  • තන පුඩුව මත කුෂ්ඨ ඇතිවීම
  • තන පුඩුවෙන් දියරයක් ගැලීම
  • අසීරුවක් හෝ වේදනාවක් දැනීම
  • තන පුඩුව ඇතුළට ගිලී යාම
  • නහර මතු වීම
  • ඉදිමීම
  • සැරව සහිත තුවාල ඇතිවීම
  • සම දොඩම් ලෙල්ලක ස්වරූපය ගැනීම
  • පියයුරුවල ප්‍රමාණයේ හෝ හැඩය වෙනස්වීම
  • මෙවැනි ලක්ෂණ ඇත්නම් වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් ලබා ගන්නා ලෙස මහරගම අපේක්ෂා රෝහලේ අවවාදයයි.


පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමි පුද්ගලයින්ට පියයුරු පිළිකා වැළදෙන බව බොහෝ දෙනෙකු නොදන්නා කාරණයක් විය හැකිය.

එහෙත්, මහරගම අපේක්ෂා රෝහල පවසන්නේ, පිරිමින්ට පියයුරු පිළිකා වැළඳිය හැකි බවය.

ඒ අනුව, ඉහත රෝග ලක්ෂණ ඇත්නම් වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් ගන්නා ලෙස එම රෝහල ඉල්ලා සිටී.


BBC සිංහල සේවය ඇසුරින්

Tags
තව දුරටත් කියවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *