විශේෂාංග

ආදරණීය කාදිනල් තුමාට පුංචි කෙල්ලෙකුගෙන් ලියුමක්

ආදරණීය කාදිනල්තුමනි,

ඔබේ සැප දුක කෙසේද කියා නොවිමසමි. ඔබ සුවෙන් සහ සැපෙන් බව පැහැදිළිව පෙනී යන කරුණු කාරණා දිගින් දිගටම මතු වන නිසා ඔබෙන් එම ප්‍රශ්නය අසා ඔබව වෙහෙසට පත් නොකරමි. එහෙත් මම දුකෙනි. මා දන්නා බොහෝ අයද දුකෙනි. දුකට හේතුව මෙසේ ඔබතුමාට ලියන්නේ ඔබතුමා සතුව පිළිතුරක් ඇති බව සිතමිනි. ඔබතුමා පිළිතුරක් නොදුන්නද අමනාපයක් නැත. පිළිතුරු නොදී මඟහැර යාම ඔබතුමාගේ අයිතියකි.

මේ දූපතෙන් බිහි වූ පළමුවන කාදිනල්තුමාව මම දැක නැත. එහෙත් එතුමා “යහපත් මිනිසෙකු” බව මම “අසා” ඇත. මගේ ජීවිත කාලයේ මා දුටු පළමු කාදිනල්තුමා ඔබය. ඔබව කාදිනල්ධුරයට පත් වූ දා “අපිටත් ලොක්කෙක් ඉන්නවා” වැනි හැඟීමක් මා තුළ වූ අතර කුඩා දරුවෙකු ලෙසට මම එය මිතුරන් හා බෙදාගත් අයුරු මට මතකය.

කවුරුන් හෝ කණ්ඩායමක් අප දේවස්ථානයට පැන සත්ප්‍රසාද කූඩුව බිමට දමා එයට ගිණි තැබූ දා අප දේවස්ථානය දින ගණනාවකට මුද්‍රා තබා වසා දමන්නට පාලකාධිකාරිය තීරණය කරනු ලැබුණු ආකාරය මට මතකය. ඒ 2013 වසරය. එදා දහවලේ මම දේවස්ථාන භූමියේ සිටියදී ඔබ විශාල කාරයකින් ඇවිත් බැස්ස අතර දේවස්ථානයේ සිටි සියල්ලෝම ඔබ අත වූ මුදුව සිඹිමින් ඔබට ආචාර කරනු මම දිටිමි. අම්මා මටද ඇයව අනුගමනය කරන්නට කී නිසාවෙන් මමද එය සිදු කළ අතර ඔබ හිනැහෙමින් ඔබේ අත මට දිගු කළේය. ඔබේ අත පැළඳි මුදුව සිපගන්නා තත්පර කිහිපයට ඇස් කරකවා ඒ වටපිටාව නරඹන්නට මට ඕනා විය. සියල්ලෝ තම ශ්‍රී මුඛයන් සූදානම් කරගෙන සිටියේ ඔබ අසන ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු දෙන්නටය. ඔබේ වාහනය තේජමාන වාහනයක් විණි. එය දිලිසෙමින් තිබුණි. ඔබේ රියදුරා පවා හිස කෙළින් තබාගෙන තේජමානව අප දෙස බලා සිටියේ “මේ මොක්කුද මේ” වර්ගයේ බැල්මකිනි. මට ඔබේ රියදුරා වෙන්නට බැරි එකේ මගේ මල්ලිගෙන් “කාදිනල්ගේ ඩ්‍රයිවර් වෙන්න කැමති නැද්ද ඔයා? මාර රෙස්පෙට්ටබල් ජොබ් එකක්නේ හලෝ ඒක “කියා කියන්නට මට ඕනෑ විය.

ඔබේ අත පැළඳි මුදුව අත්‍යන්තයෙන්ම අතිශයින් සුවඳය. එදා මා දුටු ඔබේ සිනහවද එහෙමය. හදවත පුරවාලන සුළුය. දේවස්ථානයට හානි කෙරූ කණ්ඩායම හසු වූ විට ඔවුනට සමාව දෙන්නට යැයි ඔබතුමා ප්‍රකාශ කර තිබූ විට මට පැහැදිළි වූයේ ඔබ අත පැළඳි මුදුව තරමටම ඔබද සුවඳවත් බවය. මට සෑහෙන්න ආඩම්බර සිතුනු බව මගේ මතකයේ ඇත. මම ගෙදර විත් අම්මාට කීවේ ” ශුහ් කාදිනල්තුමාව දැක්කමත් පිස්සු හැදෙනවා නේද අම්මාහ්” යැයි කියාය. ජීවිතයේ කිසි දිනෙක පාප්තුමාව දකින්නට ලැබේයැයි බලාපොරොත්තුවක් නොතිබූ අපට අප දුටු විශ්වීය නායකයා ඔබ විය. මුහුදුබඩ ගමකින් එන කුඩා ගැහැණු දරුවකුගේ බොළඳ එහෙත් අව්‍යාජ සිතිවිල්ල එදවස එය විය.

ඉන්පසු එළැඹියේ පටළවෙන සුළු යුගයකි. ඔබ සභාවේ නායකයාද එසේ නැතිනම් හිටපු ජනපතිගේ කතෝලික සභාවේ මිතුරාද කියා නිසියාකාරව පැහැදිළි කරගත නොහැකි දින ඉන්පසු උදාවිය. එවන් අපැහැදිලි කාලයක පවා “අපේ කාදිනල්ට වරදින්න විදිහක් නැහැ” කියා සිතන්නට මම පුරුදු වී තිබුණි. පල්ලියේ සිට උස් මහත් වූ මුහුදුබඬ ගැහැණු දරුවාගේ සිතුවිලි එහෙමය.

ඉන්පසු බොහෝ වෙනස්කම් සිදු විණි. බලය පෙරලිනි. ඔබ විවිධ කාල වලදී විවිධ ප්‍රකාශ නිකුත් කෙරීය. ඒවා පිළිබඳව අපට බොහෝ තර්ක විතර්ක තිබිණි. ඔබේ මතයනට විරුද්ධ මත කිසිදිනෙක ඔබට ඇසුනේ දැයි මම සත්තකින්ම නොදනිමි.එහෙත් ඔබට සියළු ආකාර වල කේලම් නම් ඇසුණු බව අගරදගුරු මැදුර දෙස බලන ඕනෑම කෙනෙක් දන්නා එහෙත් එළිපිට නොකියනා කරුණකි.

දයාබර කාදිනල්තුමනි, මීගමු හලාවත මෙන්ම යාපනය, මුලතිව්ද, මාතර, ගාල්ලද, මොරටුව, පානදුරද, සරලවම කිවහොත් මුළු රට පුරාම අලංකාර දේවස්ථාන ගොඩනඟමින් ” වඩා ලස්සන කොයි එකද” තරඟයේ කරට කර හැපෙන තරඟකරුවන් පිළිබඳව අපට රට වටින්ම ආරංචි වේ. සුවපහසු හෝටල් ලෙස මීසම් ගෘහයන් ගොඩනැගෙනයුරු අපි දකිමු. “අනේ ඉතින් ෆාදර්ස්ලත් සුවපහසුවට ඉන්න එපැයි” යන තර්කය අපි කෙසේ හෝ දිරවා ගනිමු. ඔබ අනුගාමිකයන් සුවෙන් පහසුවෙන් හිඳීම ගැන ගැටළුවක් අපට නැත. එහෙත් අපි ඒවා ඉවසා වදාරන අතරම ඔබතුමා මෑතකදී මානව හිමිකම් ගැන ඔබේ මතය ප්‍රකාශ කොට ඉන්පසුව මානව හිමිකම් නිසාවෙන්ම දිවිදුන් මා ප්‍රේමණීය සාන්තුවරයා ලෙසට මා හඳුන්වන “ඔස්කාර් රොමේරෝ අගරදගුරුතුමන්ගේ” සාන්තුවරයට එසෙවීමට රෝමය බලා ගියේය.

ඉතින් කාදිනල්තුමනි, මුහුදුබඩ තරුණ ගැහැණු ළමයකු අන්දමන්ද වීම අසාමාන්‍යද?

“හිට්ලර් පාලනයක්” ඉල්ලූ හාමුදුරුනම සහ “මානවහිමිකම්” ගැන ඔබේ මතය පැවසූ ඔබ අතර පරතරය කොපමණදැයි දැනගන්නට මට උවමනා විය. එහෙත් මා දන්නා ගණන් දැනුම එයට ප්‍රමාණවත් නොවිනි. අනික මට උසස් පෙළ ගිණුම්කරණයට ඇත්තේ B එකකි. සමහර විට එයද මේ පටලැවිලි වලට හේතුවක් වන්නට බැරි නැත.

ඒ සියළු කාරණා ඔහේ ගලා යමින් තිබියදී ඔක්තෝම්බර් 26 වන දා සිදු වූ අප්‍රබංස දේශපාලනික විකාරයට “අනේ ඔබ නම් කොහෙන්වත් නොගෑවේවා” යන්න මගේ රහසිගත පැතුම විය. මන්ද මෙවරත් ඔබ මෙයට ඈදුණහොත් “දෙවියන් යනු ප්‍රේමයයි” කියා නැවත මුඛය විවර කොට මේ දූපතේදී කිසිදු “කතෝලිකයෙක්ට” කීමට නොහැකී වී යන බැවිනි. ( ඇංග්ලිකානු මිතුරනි, ඔබේ රදගුරුතුමා හෙවත් ආදරණීය බිෂොප් ඩිලෝරාජ් නිකුත් කර තිබූ මාධ්‍ය ප්‍රකාශය සැබැවින්ම අපූරුය. මේ උත්තමාචාරය ඔහුටය). ඊයේත් මා මිතුරෙකුට පැවසුවේ “ඇති යන්තම් මේ පාර කාදිනල් මොනාටවත් අහුවෙලා නැහැ” කියාය. එහෙත් ඊයේ රාත්‍රිය වන විට, මේ දූපතේ බහුතරය “එපා” කියා ගෙදර යැවූ නායකයා හා සමඟ ඔබ ගත් ඡායාරූප අන්තර්ජාලය පුරා මහා ජංජාලයක් ලෙස සංසරණය වෙමින් තිබෙනු දුටු මා මිතුරා “ෂෙනුවා මේ පාරත් හරි” කියා කෙටි පණිවිඩයක් එවා තිබුණි.

ආදරණීය කාදිනල්තුමනි, ඔබත් මිනිසෙකු වන බැවින් ඔබට දේශපාලනික මතයක් දැරිය හැකි බවට මම එකඟ වෙමි. එහෙත් කොළඹ පදවියේ නායක අසුනේ අසුන් ගෙන සිටින ඔබ ඒ මුළු මහත් පදවියේ කතෝලික ප්‍රජාව , මේ මුළු රට ඉදිරියේම නියෝජනය කරන බව ඔබට මතක ඇති බව මම සිතමි. එහිදී ඔබ කියන ඕනෑම කරුණක් සියළු කතෝලිකයන්ගේ මතය ලෙස සැලකීමේ අයිතිය ස්වාභාවිකවම අන්‍යාගමික මිතුරු මිතුරියනට ලැබෙන බැවින් ඔබේ ප්‍රකාශ, ඔබේ ඡයාරූප වැනි සියල්ල පිළිබඳව පූර්ණ වගකීම ඔබතුමා බාරගත යුතු බවට මම විශ්වාස කරමි. ( මා වැනි පොඩි එකෙක් සිතන මෙලෝ මලදානයකින් ඔබට වැඩක් නැති බව දනිමි. එහෙත් මම සිතමි. සිතන බව කියමි).

අතුරුදහන් වූවන් දහස් ගණනක් සහිත රටක, ජනතා අරගලයන් සිය ගණනක් සහිත රටක, ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේ නිරුවත් කරන රටක, මහ බැංකුව මහ දවාලේ කොල්ල කන රටක කතෝලිකයන් ලෙසට අපගේ කාර්යභාර්යය කුමක්ද කියා දහම්පාසලෙන් කිසි දිනෙක කියා නොදුන්නේ ඇයිද කියා මම කල්පනා කළෙමි. දැන් මට හේතුව පැහැදිළිය.
අපේ සිලබස් එකේ ඒවා නැත!

අපේ සිලබස් එකේ ඇත්තේ “ඔබ කරන යහපත් වැඩ 10ක් ලියන්න” වර්ගයේ අධ්‍යාත්මික ප්‍රශ්නය. ඉතින් අපි “අම්මට උදව් වුණා, පොල් ගෑවා, යාළුවට මක්කෙ දුන්නා, කඩේ ගියා, හරියටම 6ට පහන තිබ්බා” වර්ගයේ යහපත් වැඩ උගත්තෙමු. ලකුණු වැඩියෙන් ලැබෙන යහපත් වැඩ අපි ලීවෙමු. ඉතින් සැබෑ ජීවිතයේදි කඩේ යනවා හැර අන් යමක් අප බොහෝ දෙනෙක් නොදැනීම පුදුමයක්ද?

ඉතින් කාදිනල්තුමනි, මම දන්නා ජේසු නම් තරුණයා මැරුම් කෑවේ ප්ලෑන් එකකට අනුව සියල්ල ඔටෝ සිදුවීමෙන් නොවේ. පවතින ක්‍රමයේ පීඩිතයා වෙනුවෙන් පාලකයා හා ගැටුණු නිසාවෙනි. ඔහු නොගැටුනේ නම් යුදෙව් දහම මිස ක්‍රිස්තියානියක් කොහේවත් තිබෙන්නට ඉඩ නොතිබිණි. මා ඔහුගේ ජීවිත සිදුවීම් වල ප්‍රිය කරන බොහෝ දෑ තිබේ. මේ කාලයේ වඩාත්ම ප්‍රිය කරන්නේ ඔහුව මරණයට රැගෙන යාම සඳහා නඩුව විභාග කරන මොහොතේ ඔහුගේ ඇටිටියුඩ් එක සහිත සිද්ධියය. ( ඇටිටියුඩ් එකට සිංහලෙන් කියන්නේ ආකල්ප කියා බව මම දනිමි. එහෙත් මට දැනෙන මේ සිද්ධියට ඒ වචනය බර මදි නිසා ඇටිටියුඩ් කියාම ලියමි. සොරි)

පවතින ක්‍රමය හා ගැටීම නිසා මරන්නට නඩුව විභාග කරන විට “මරන්න ඕනේ නම් මරපන්. හැබැයි පෙනී ඉන්න ඇත්ත පාවලා දෙන්නේ නැහැ” වර්ගයේ ඇටිටියුඩ් එකක් සහිතව පිලාත් සහ හෙරෝද් සමඟ ගැටුණු මේ අපූරු තරුණයා පිළිබඳව නැවත ප්‍රේමයෙන් වෙළෙන්නට මට සිතේ. කාදිනල්තුමනි ඔබට අමතකව ගොස් තිබේදැයි කියා නොදන්නා බයිබල් පාඨයක් මේ ලිපියේ ලියා තබන්නේ වැඩිමහල්ලන්ට අමතක වන දෑ බාලයන් මතක් කෙරීමේ වරදක් නැති බැවිනි.

(ජොහාන් 18:37-38) “මා උපන්නෙත් ලොව පහළ වූයේත් සත්‍යට සාක්ෂි දරන පිණිසය. සත්‍යෙහි පිහිටි සියල්ලෝ මාගේ හඬ අසති යි වදාළ සේක.”

මා වඩාත් ප්‍රිය කරන කොටස එන්නේ ඉන්පසුවය…

“සත්‍යය කියන්නේ කුමක්දැයි පිලාත් උන්වහන්සේගෙන් ඇසීය”

ඉතින් කාදිනල්තුමනි මගේ දුකට හේතුව වන්නේ ප්‍රශ්න දෙකකි.

එක. අප අනුගමනය කළ යුත්තේ සත්‍යයට සාක්ෂි දරන්නට ජීවිතය අත හැරි මිනිසාවද, එසේ නැතහොත් සත්‍යය කුමක්ද කියාවත් නොදැන සිටි පිලාත්වද? හෙරෝද්වද?

දෙක.ඔබ අනුගමනය කරන්නේ කාවද?

“ජේසුගේ ගෝලයන් අතර වඩා වාචාල කටක් තිබූ එහෙත් විශාල හදවතක් තිබූ ගෝලයා පේදුරුය. ප්‍රේමණීයම ගෝලයා ජොහාන් ය. එහෙත් ඔහු අවැසි මොහොතේ පෙනී සිටියේය. අත් හැර නොගියේය! ජුදාස්!!!! අහෝ ජුදාස්! ප්‍රතිපත්තියක් රහිතව මුදලට සහ බලයට තම මිතුරාව පාවා දී පීඩකයන් හා අත්වැල් බැඳගන්නට සිහිනයක් දැක අවසානයේ සිහිනය දිගේම විනාශය වෙත ගියේය!”

කාදිනල්තුමනි , මේ මා ඊයේ රාත්‍රියේ නිකමට ලියූ සටහනකි. එයද නිකමට මෙයට ඇතුලත් කලෙමි.

කෙසේ හෝ ඉහත ප්‍රශ්න ද්විත්වයට පිළිතුරු ලබා දෙන්නේ නම් ඔබට කෘතඥ වෙමි. සියළු කුණු ඔබ වෙත ගෙන එන ඔබ සහයක පියවරුනට ඒ කුණු අතර මේ ලිපිය මඟ නොහැරේවා කියා මම දෙවිඳුන් යදිමි!

ස්තූතියි,
මෙයට විශ්වාසී,
ඔබේ අත පැළඳි මුදුව සිඹ ඔබත් ඒ මුදුව ලෙසටම සුවඳවත් මිනිසෙකු යැයි විශ්වාස කළ කුඩා ගැහැණු දරුවා!


ෂෙනූ පෙරේරා

Tags
තව දුරටත් කියවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි