විශේෂාංග

ජීවිතය පිළිබඳ ආශාව අතහැර මාධ්‍යවේදියෙකු වන්න

වර්තමානයේ ජාත්‍යන්තරයේ වැඩි කතාබහට ලක් වී ඇත්තේ නිතර දෙවේලේ ඉන්දුනීසියාව කලඹන සුනාමි තත්ත්වයන් හෝ ලක්ෂ 4 කට වැඩි ජීවිත හානි සිදු කරමින් ඇවිළෙමින් පවතින සිරියානු යුදමය තත්ත්වයන් හෝ ලතින් ඇමෙරිකානු සහ කැරිබියන් රටවලින් ඇමෙරිකාවට සංක්‍රමණය වෙමින් පවතින ලක්ෂ සංඛ්‍යාත සරණාගතයන් පිළිබඳව හෝ නොවේ. මේ දිනවල ජාත්‍යන්තරය ඇවිළී පවතින්නේ ජමාල් කෂෝගී නම් සෞදි ජාතික මාධ්‍යවේදියාගේ ඝාතනය පිළිබඳව ය.

ජමාල් මේ ආකාරයෙන් ඝාතනයට ලක් වන්නේ තුර්කියේ ඉස්තාන්බුල් නගරයේ පිහිටා ඇති සෞදි කොන්සියුලර් කාර්යාලය තුළ දී ය. ඕනෑම රටක තානාපති කාර්යාලයක් හෝ මහ කොමසාරිස් කාර්යාලයක් හෝ කොන්සියුලර් කාර්යාලයක් තුළ පවතින්නේ එය පිහිටා ඇති භූමිය අයත් රටේ නීතිය නොව අදාළ කාර්යාලය අයත් රටේ නීතියයි. ඒ අනුව සෞදි ජාතික ජමාල් ඝාතනය වන්නේ සෞදි අරාබි නීතිය ක්‍රියාත්මක වන ස්ථානයක් තුළදීමය. ජමාල් සෞදි ජාතිකයෙකු වුව ද ඔහුට සිය මව්රටේ ජීවත් වීම සඳහා අවකාශ නොතිබුණේ ඔහු මාධ්‍යවේදියෙකු වීම නිසාම නොවේ. ඔහු සිය මාධ්‍ය ජීවිතය මෙහෙයවනු ලැබුවේ අසාධාරණයට විරුද්ධව පෑන මෙහෙයවීමට ය. එනම් ඔහු සිය මව්රටේ ප්‍රධානියෙකු වූ ඔටුන්න හිමි මොහොමඞ් බින් සල්මන් කුමරුගේ ක්‍රියා කලාපය දැඩි ලෙස විවේචනය කරමින් ඇමෙරිකානු වොෂිංටන් පෝස්ට් පුවත්පතට ලිපි සපයන්නට වීමය. මේ හේතුව නිසාම ජමාල්ට අවස්ථා කීපයකදී සෞදි රජයෙන් අනතුරු හැඟවීම් නිකුත් කළ ද ඉන් නොසැලී ඔහු දිගින් දිගටම සිය කාර්යය ඉටු කරන්නට විය. මේ නිසාම ඔහුට සෞදියට යාම පවා අවදානම් කටයුත්තක් බවට පත් ව තිබිණි.

ජමාල් පිළිබඳව අවසන් දෘෂ්‍ය වාර්තා පවතින්නේ ඔක්තෝබර් දෙවෙනිදා සිදුවීම් ය. එදින ඔහු සෞදි කොන්සියුලර් කාර්යාලයට වෙත ගොස් ඇති අයුරුත් එහිදී යම් කිසි කාර්යයක නියැළෙන අයුරුත් ආරක්ෂිත කැමරාවල සටහන් වී ඇතත් ඔහු ඉන් පිටවන ආකාරයක් ඒවායේ සටහන් වී නැත. ඔහු මෙම කාර්යාලය වෙත ගොස් ඇත්තේ සිය විවාහය සඳහා අවශ්‍ය නීතිමය කටයුත්තක් සඳහා ය. කාර්යාලයේ නිලධාරීන් පවසා තිබුණේ සිය කාර්යය ඉටු කරගත් ජමාල් පැයකට පමණ පසු ඉන් පිටව ගිය බවකි.

නමුත් එදින සිට ජමාල් පිළිබඳ කිසිදු ආරංචියක් තිබුණේ ද නැත. ඔහුගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සෞදි රජයට එල්ල වු චෝදනා ඔවුන් ප්‍රතික්ෂේප කළ ද පසුව කෲර ලෙස වධ හිංසාවට ලක් කර ඝාතනය කරන ලද ජමාල්ගේ සිරුර සොයා ගැනීමත් සමග මෙම ඝාතනය සෞදි කොන්සියුලර් කාර්යාලය තුළ සිදු කරනු ලැබූ බවට සෞදි රජයට පිළිගන්නට සිදු විය. මේ පිළිබඳව බලවත් රාජ්‍යවල දැඩි විරෝධය එල්ල වීමත් සමග කෙරුණු හෙළිදරව්වක දී සෞදි රජය පවසා තිබුණේ ජමාල්ගේ ඝාතනය පළි ගැනීමක් නිසා නොව අත්වැරැද්දක් නිසා සිදු වූ බවකි.

ලෝකයේ බලවත් රාජ්‍යය යැයි සම්මත ඇමෙරිකානු ජනපතිවරයාගේ විශේෂ අවධානය මෙම ඝාතනය වෙත එල්ල වන්නේ අදාළ මාධ්‍යවේදියාට ඇමෙරිකාව සමග ඍජු සම්බන්ධයක් ඇති නිසාය. මන්ද යත් ඔහු ඇමෙරිකානු වොෂිංටන් පෝස්ට් පුවත්පතේ මාධ්‍යවේදියෙකි. ඔහු ඝාතනයට ලක්වන මොහොත දක්වා එහි තීරු ලිපියක් සම්පාදනය කළ අතර ඉන් සෞදි අරාබියේ පැවති දුර්දාන්ත පාලනය දැඩි ලෙස හෙළා දැක තිබිණි. ඇමෙරිකානු ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් මෙම ඝාතනය පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ කොංග්‍රස් මණ්ඩලය මෙම සිදුවීම පිළිබඳවත් සෞදි අරාබිය පිළිබඳවත් ඉදිරියේ දී දැඩි තීරණ ගැනීමට තීරණය කරන බවකි. මෙම ඝාතනය ලෝක අවධානයට ලක්වන්නේ ඔහු ඇමෙරිකානු ජාතික පුවත්පතක මාධ්‍යවේදියෙකු වීමත් සිය මව්රටේ ප්‍රධානියෙකු විවේචනය කරමින් ලිපි සැපයීම නිසා මව්රටේ රජය විසින්ම ඝාතනය සිදු කිරීමත් හේතුවෙනි. නමුත් මේ ආකාරයෙන් රටේ ප්‍රධානීන් විවේචනය කිරීම නිසා අතුරුදන් කරවූ හෝ ඝාතනයට ලක් වූ එකම මාධ්‍යවේදියා ජමාල් නොවේ. ජාත්‍යන්තරයෙන් නොව අපේ රටේ දීම එයට ඕනෑ තරම් උදාහරණ සපයා ගත හැකි ය. ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදන් වීමත්, ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයත් පිටුපස දේශපාලන හස්තයන් ක්‍රියාත්මක වූ බව රහසක් නොවේ.

මාධ්‍යවේදී ජමාල් කෂෝගි

අතීතයේ ක්‍රියාන්විත සේවයට බැඳෙන්නට කැමැත්තෙන් සිටි දරුවන්ට ඒ සඳහා මව්පියන්ගේ අවසරය ලබා ගැනීම අපහසු කාරණයක් වූයේ ක්‍රියාන්විත සේවයේ යෙදීම යනු ජීවිත අවදානම් සහිත කාර්යයක් වූ බැවිනි. නමුත් අද වනවිට ජනමාධ්‍යවේදය පවා ජීවිත අවදානම් සහිත රැකියාවක් බවට පත් ව තිබේ. මෙම සිදුවීම්වලින් ඒ බව මනාව පෙනෙන්නට තිබෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ. කුමන රටක වුවද පාලනය දුර්දාන්ත නම් එකී රටේ පාලකයින් එක්කෝ ජනමාධ්‍යවේදීන්ට මස්කටු පෙන්වා හෝ තමන් වෙත නම්මා ගත යුතුව තිබේ. නොඑසේ නම් උණ්ඩ පිරවූ තුවක්කු කොයිවේලේත් සූදානම් ව තබා ගත යුතුව තිබේ. ඒ සිය පාලනය විවේචනය කරන්නවුන් කිසිදා මස් කටුවකට අවනත කර ගත හැකි නොවන බැවිනි.


දුලංජලී මුතුවාඩිගේ

Tags
තව දුරටත් කියවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි