විශේෂාංග

යාපාපටුනේ ආගමික සංහිඳියාවේ කේන්ද්‍රස්ථානය වූ නාගදීපය නොහොත් නයිනතිව් දූපත

යාපනය අර්ධද්වීපයේ බටහිර දෙසට වන්නට සැතපුම් 20ක පමණ දුරින් පිහිටි නයිනතිව් දූපත නොඑසේනම් සුන්දර දූපතකි. ද්‍රවිඩ සහ මුස්ලිම් පවුල් 800 පමණ මෙම දූපතේ වාසය කරන අතර සිංහල හෝ බෞද්ධ එකදු පවුලක් හෝ මෙම දූපතේ වාසය කර නැත. 300/- ක පමණ හින්දු කතෝලික හා ඉස්ලාම් ජනතාවක් නයිනතිව්හි වාසය කරයි. කිලෝ මීටර් 3.5කින් දිග වන මෙම දූපතේ පළල කිලෝමීටර 1.5කි.

යාපනයේ ආගමික සංහිඳියාවේ ප්‍රධානතම කේන්ද්‍රස්ථානය වන්නේ නාගදීපයයි. නාගදීපයට වට ඇති ‍ෙඓතිහාසික බෞද්ධ වටිනාකමට සාපේක්ෂව හින්දු හා වෙනත් ආගම්වල පිරිස්ද එකී ආගමික වටිනාකමට ගරු කරමින් සිය ඇදහිලි හා විශ්වාස මත පදනම්ව මෙම පුණ්‍ය භූමිය වන්දනා කිරීම සුවිශේෂී වේ. මේ පිළිබඳව සොයා බලන්නට ඉරිදා ඇපල් පුවත්පත වෙනුවෙන් අපි නයිනතිව් දූපතට ගියෙමු. ශ්‍රී ලංකාවේ හින්දු හා බෞද්ධ ජන කොටස් අතර දැඩි සම්බන්ධතා පවතී. එහෙත් එය අනේ‍යා්න්‍ය සම්බන්ධයක් යැයි අපට එකහෙලා ප්‍රකාශ කළ නොහැකිය. බුදුරජාණන් වහන්සේ ශ්‍රී විෂ්ණු දෙවියන් නැති නම් ත්‍රිෂ්ණන් දෙවියන්ගේ දස අවතාරවලින් එක් අවතාරක් ලෙස හින්දු භක්තිකයන් විශ්වාස කරති. ඒ අනුව හින්දු භක්තිකයන් නාගදීපය වන්දනා කරන්නට පැමිණෙන්නේ විශාල වශයෙන්ය. එලෙසින්ම බෞද්ධ ජනතාව සිය ජීවිත කාලය තුළ නොයෙක් අවශ්‍යතා මුල්කරගෙන දෙවිවරුන් වන්දනා මාන කරයි. එසේම රජරට ප්‍රදේශයේ ගණදෙවියන් වන්දනා කිරීම බෞද්ධයින් අතර බහුලව ප්‍රචලිත වී ඇති බව පෙනේ. නාගදීපය වන්දනා කිරීමට පැමිණෙන බෞද්ධ ජනතාව හින්දු දේවාල වන්දනා කිරීමට ද අවනත නොකරයි. නාගදීපවාසීන් සහ ශ්‍රී ලංකාවේ හින්දු භක්තිකයින් නාගදීප පුරාණ විහාරස්ථානය වන්දනා කිරීමට පැමිණෙන්නේ ඔවුනට ආවේණික විශ්වාසයක් මත හිතයි.

නාගදීපයේ හින්දු හා බෞද්ධ ජනතාව අතර පවතින අනෝන්‍ය සම්බන්ධතාව ලංකාවේ අන් කිසිදු ප්‍රදේශයක අපිට දක්නට නොලැබේ. කුලවාදය තදින් සලකන හින්දු භක්තිකයින් විශාල පිරිසක් සිටින උතුරු ප්‍රදේශයේ නාගදීප පුදබිම ආශි්‍රතව ජීවත් වන හින්දු භක්තිකයින් ඒ කිසිදු භේදයක් නොසලකා බෞද්ධයන් සමඟ සහජීවනයෙන් හා ඔවුනොවුන් අතර සහජීවනයෙන් සිටීමද කැපීපෙන වෙනසක් ලෙසට කිව හැකිය. එසේම නාගදීපවාසීන් තම නිවෙස්වල සිදු කෙරෙන මංගල හෝ අවමංගල කටයුතු වලදී හා උත්සව අවස්ථාවලදී නාගදීපයේ ස්වාමින්වහන්සේලා සම්බන්ධ කරගෙන කටයුතු කරන්නේ සිරිතක් ලෙසිනි. බෞද්ධයින්ගේ මුදුන් මල්කඩක් බඳු නාගදීපයේ ස්වාමීන් වහන්සේලාට දානය පිරිනැමීමට ද නාගදීපයේ දමිළ වැසියන් මහත් කැමැත්තක් දක්වයි. දරුණු ගැටුම් සහිත බිහිසුණු යුද සමයේදී පවා නාගදීපයේ කොටුවී සිටි ස්වාමීන් වහන්සේලා ආරක්ෂා කරගත්තේ නාගදීපයේ වෙසෙන දමිළ ජනතාවයි.

හින්දු ජනතාව දෙවියන් කෙරෙහි අතිශය භක්තියක් ඇතිව කටයුතු කරති. වර්ග සැතපුම් හතක් පමණක් වූ නාගදීපය වැනි සීමිත භූමියක් තිබෙන ප්‍රදේශයක පනහකට ආසන්න වූ ලොකු කුඩා දේවාල ප්‍රමාණයක් පිහිටුවා තිබීමද සුවිශේෂී වේ. එක් එක් දෙවිවරැන්ට කැප කළ ඒවාද වේ. දේවාලවල විවිධ කාලවලට ආවේණික පුද පූජා සමගින් පෙරහර සංවිධාන කරයි. එහි විශේෂත්වය වන්නේ නාගදීපයේ වැඩවාසය කර බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ අවවාද අනුශාසනා මත දමිළ ජනතාව මෙම උත්සව සංවිධානය කිරීමයි. එම උත්සව සමය තුළ නාගදීපය පුරා දන්සැල් පවත්වන දමිළ ජනතාව එම කාලය පුරාවටම නිර්මාංශව කල් ගත කරති. ඇතැම් විට ඔවුන් උපවාස ශීලය පවා රකිති. මෙම ආගමික වැඩසටහන් සඳහා බෞද්ධ හින්දු භේදයකින් තොරව විශාල ජනතාවක් එක් වන්නේ ආගමික සංහිඳියාව ලොවටම මැනවින් විදහා පාමින්ය.

නාගදීපයේ වෙසෙන හින්දු භක්තිකයින් සේම සමස්ත යාපාපටුනේම හින්දු භක්තිකයින් නාගදීප පුරාණ විහාරස්ථානය සහ බැඳී විශ්වාස කරන විශ්වාසයන් රැසක් ද පවතී. ඒ අතරත් දරු සම්පත් අහිමි කාන්තාවන්ට දරු සම්පත් ලබා ගැනීමට නාගදීප විහාරයට දානය පිළිගැන්වීම හා නාගදීප විහාරස්ථාන ඉදිරියේ ඇති නාග පිළිමය කිරිවලින් නැහැවිය යුතු බවට විශ්වාස කරති. එසේම නාගදීප පිළිමවහන්සේ කිරිආහාර පූජාවක් සිදු කිරීම හා සුදු බෝධීන්වහන්සේට බෝධි වන්දනාව සිදු කිරීම දමිළ ජනතාව විශ්වාස කරන්නේ ඔවුන්ගේ අපල උපද්‍රව හා නොපෙනෙල බලවේගවලින් සිදුවන අතුරු ආන්තරවලින් මිදිය හැකි බවයි. නාගදීපයේ වෙසෙන මිනිස්සු සුහදශීලී අය ලෙස ප්‍රචලිතය. එසේම මුව පුරා සිනහවකින් සරසා ඔවුන් තවමත් ” නාගදීපයේ මිනිස්සු යැයි” ප්‍රකාශ කරන්නේ ඉතාමත් අභිමානයේන යුක්තවයි.

නාගදීප වැසියන් අනෙක් දූපත්වාසීන්ට සාපෙක්ෂව සාක්ෂරතාවයෙන් ඉහළය. ධනවත් මධ්‍යම හා දිළිඳු යන ස්ථර තුනටම අයත් ජනතාව නාගදීපය තුළ වාසය කරති. එසේම රාජ්‍ය සේවයේ යුක්ත සැලකිය යුතු පිරිසක්ද නාදීපය තුළ වාසය කරයි. නාගදීපයේ ජීවත්වන ධනවතුන් විශාල පිරිසක් යාපනය හා කොළඹ ප්‍රදේශවල ව්‍යාපාරික කටයුතුවල නියැළෙති. ගොවිතැන, රා මැදීම සහ ධීවර කර්මාන්තය නාගදීපයේ අනෙක් වැසියන්ගේ ජීවනෝපාය මාර්ගයි.

ගොවිතැන් කටයුතු බොහෝ දුරට සිදු වන්නේ මාස් කන්නය හෙවත් වැසි සමයේදීය. විශේෂයෙන් වී ගොවිතැන මත කන්නයේ සිදු කෙරේ. එළවළු ඇතුලු බව බෝග වසර පුරා නාගදීපය තුළ වගා කරති. වීසිදැල් සහ මත්ස්‍ය කොටු මගින් ධීවර කර්මාන්තයේ යෙදෙන විශාල පිරිසක් නාගදීපය තුළ වාසය කරති. හක් බෙල්ලන් නෙළීමට කිමිදීම මුහුදු කූඩැල්ලන් හා පොකිරිස්සන් වැඩි වශයෙන් ඇල්ලීම නාගදීයේ වෙසෙන ධීවර ජනතාවගේ ප්‍රධාන ආදායම් මාර්ගයයි. මට්ටි නමින් හැඳින්වෙන බෙල්ලන් ඇල්ලීමට වඩාත් ප්‍රචලිත වූ ප්‍රදේශයක් වන්නේ උතුරේ නාගදීපය නොඑසේ නම් නයිනතිව් වෙරළ තීරයයි.

හින්දු සංවාරය බොහෝදුරට කුලය පදනම කරගෙන ගොඩ නැගී ඇත. බ්‍රාහ්මන, වෙල්ලාල, පල්ලාර් යන ආදී උසස් කුලවලට අයත් ජනතාව නයිනතිව් දූපතේ වාසය කරති. එහෙත් බුදු දහමේ ආභාෂය නිසාවෙන් නාගදීපය තුළ සිටින කුල හීන ජනතාව හා ඉහළ කුලවල ජනතාව තරමක් සාමදානයෙන් ජීවත් වෙති. නාගදීපයේ වෙසෙන දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීමට පාසල් දෙකක් අංගසම්පූර්ණ ලෙස පිහිටුවා ඇත. අංග සම්පූර්ණ ප්‍රාදේශීය රෝහලක් හා ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථද දූපතේ ධාවනය කරති. ලංකා විදුලි බල මණ්ඩලයට අයත් විදුලි ජනක යන්ත්‍ර දෙකක් මගින් බලය නයිනතිව් වැසියන්ට විදුලිය ලබා දීම සිදු කරයි. සුළං ලෙස උපයෝගි කරගෙන විදුලිය සැපයීමටද යෝජිත අතර නයිනතිව් දූපතේ උප තැපැල් කාර්යාලයක්ද ස්ථාපිත කර ඇත. ශ්‍රී ලංකා නාවික හමුදාව මෙම දූපතට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීම සිදු කරයි. මීට අමතරව පෞද්ගලික අංශයේ මගී ප්‍රවාහන යාත්‍රා ද ගිමන් පහසුව සඳහා යොදවා ඇත. යාපනයේ සංචාරය කරන බොහෝ දෙනා නාගදීපයට පැමිණියත් එහි ඇති සමාජීය වටිනාකම් පිළිබඳව හරිහැටි අවබෝධයක් ලබා නොගෙන කටයුතු කිරීම නිසා ඇතැම් විට නාගදීප වැසියන් අපහසුතාවන්ට පත්වන අවස්ථාද නැතුවාම නොවේ.


අකලංක රත්නායක

Tags
තව දුරටත් කියවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි