දේශපාලන

මළ ගෙවල්වල යන්න කොළඹ මන්ත්‍රීලාගේ දීමනා වැඩි වෙන හැටි

පසුගිය කාලයේ කොළඹින් අසන්නට ලැබුණේ රුපියල් 650,000ක පුටු පිළිබඳ කතාවකි. ඒ බස්නාහිර පළාත් සභාව සඳහා අලුතින් ඉදිවන ගොඩනැගිල්ලේ පළාත් මැති ඇමැතිවරුන් සඳහා වන ශාලාව සඳහා පුටු ලබා ගැනීමට පළාත් මහ ඇමැතිවරයා විසින් සිදුකිරීමට නියමිතව තිබූ ගනුදෙනුවකි. ඒ පිළිබඳව බොහෝ තොරතුරු පසුගියදා අසන්නටත් දකින්නට ලැබුණු නිසාම ඒ පිළිබඳව යළි යළිත් සඳහන් කරන්නට අදහස් නොකරමු. එම සිදුවීමෙන් ගම්‍ය වූ එක් කරුණක් වූයේ මෙවන් දේශපාලකයන් ජනතාවගේ සිත් සතන් නොදන්නා තමන්ගේ සැපය ගැන පමණක් සිතන පිරිසක් ලෙසය. එය පසුගියදා නැවතත් ඔප්පු යි. එයද කොළඹිනි. ලෙඬේ බෝවී ඇත්තේ පළාත් සභාවෙන් කොළඹ මහ නගර සභාවටය.

ඒ මෙතෙක් කොළඹ නගර සභා මන්ත්‍රීන් සඳහා වෙන්කර තිබූ රුපියල් 20,000ක දීමනාව රුපියල් 45,000ක් දක්වා වැඩි කර ගැනීම සඳහා වූ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ යෝජනාවක් මුදල් නගර සභාවේ මුදල් පිළිබඳ ස්ථාවර කාරකසභාව මගින් අනුමත වීමත් සමගිනි. එම දීමනාව මීට පෙර ලබා දුන් දීමනාවට වඩා 226%කින් ඉහළ යාමකි.

නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය විසින් පසුගිය අගෝස්තු 26වන දින රැස්වූ නගර සභා මහ සභා රැස්වීමේදී මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර එදිනම එය මුදල් කමිටුවට ඉදිරිපත් කර ඇත. මුදල් කමිටුව මගින් ඊට අනුමැතිය ලබා දී ඇත්තේ පසුගිය 14 වන දිනය.

මෙම දීමනා වැඩි කිරීම සිදු වන්නේ මෙතෙක් රුපියල් 6000ක්ව තිබූ දුරකතන දීමනාව රුපියල් 10,000 දක්වාත්, රුපියල් 6000ක්ව තිබු ගමන් වියදම් දීමනාව රුපියල් 12000 දක්වාත් රුපියල් 1000ක්ව තිබූ මුද්දර හා තැපැල් ගාස්තු දීමනාව රුපියල් 3000ක් දක්වාත්ය. එහිදී මෙතෙක් නගර සභා මන්ත්‍රීන්ට හිමිව තිබූ රුපියල් 13,000ක දීමනාව රුපියල් 25,000ක් දක්වා ඉහළ යනු ඇත.

සමස්ත ලෙස නාගරික මන්ත්‍රීවරයෙකුට මෙතෙක් ලැබුණ දීමනාව රුපියල් 20,000 සිට රුපියල් 45,000 දක්වා ඉහළ යන අතර එම ඉහළ දමා ගැනීම නගරාධිපතිනිය විසින් සාධාරණීකරණය කර ඇත්තේ මෙලෙසිනි.

උපුටා ගැනීම

වර්තමානයේ ගරු මන්ත්‍රීවරුන් සඳහා ගෙවනු ලබන දීමනාව සළකා බැලීමේදී එය ඉතා අවම බැවින්, ගරු මන්ත්‍රීවරුන්ගේ ගරුත්වයට සුදුසු වනපරිදි එම දීමනාව තවත් රුපියල් 25,000කින්…. යනුවෙනි.

නගරාධිපතිනයට අනුව ගරුත්වය රැකෙනුයේ ඔවුන්ට ලැබෙන දීමනාවෙන් නම් ඊට වඩා ගරුත්වය ලැබිය යුතු බොහෝ පිරිසක් ලාංකේය සමාජයේ සිටින බව මතක් කළ යුතුව ඇත.

කෙසේ වුවද මෙම වැඩි කරගනු ලබන නව දීමනාවන් හේතුවෙන් කොළඹ මහ නගර සභාවට මාසිකව අමතර රුපියල් 5,355,000ක් (පන් කෝටි තිස් පන්ලක්‍ෂ පන්දහසක්) ගෙවිය යුතයි. එසේ වන්නේ මෙතෙක් 53ක් ව සිටි නාගරික සභිකයින් සංඛ්‍යාව නව ඡන්ද ක්‍රමය හේතුවෙන් 119ක් දක්වා ඉහළ ගොස් ඇති බැවිනි.

මන්ත්‍රීනි ශර්මිලා ගෝනවල

මේ වන විටත් මීට විරුද්ධව තවත් මන්ත්‍රීන් පිරිසක් අදහස් දක්වමින් සිටින අතර ඔවුන් පවසා සිටින්නේ මෙම දීමනා වැඩි කර ගැනීම අසාධාරණ බවයි. මේ පිළිබඳව සිය විරෝධතාව පළ කරමින් පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රීනි ශර්මිලා ගෝනවල මහත්මිය ලිඛිතව තම අදහස් ඉදිරිපත් කර තිබිණ.

මීට පක්‍ෂ අදහස් ප්‍රකාශ කරන නාගරික මන්ත්‍රීන් එම දීමනා වැඩි කර ගැනීම සාධාරණීකරණය කරන්නේ තමන් සහභාගි වන අවමංගල උත්සව, මංගල උත්සව හා වෙනත් අවස්ථාවන් වැඩි බැවින් ඒ සඳහා වෙනම මුදලක් වැය වන බවයි. මෙම දීමනාව තුළින් එම වැය වීම් සඳහා අවශ්‍ය වියදම් ලබා ගත හැකි බව ඔවුන්ගේ මතයයි.

දේශපාලකයන් මංගල හෝ අවමංගල උත්සවවලට මෙන්ම වෙනත් උත්සවවලට සහභාගි වන්නේ ඔවුන්ගේ දේශපාලන උදර පෝෂණය නිසා මිස ජනතාවට ආදරය නිසා නොවන බව අප හොඳින්ම දනිමි. ඔවුන් නගර සභාවට පත් කර ඇත්තේ නගර සංවර්ධනයට අවශ්‍ය තීන්දු තීරණ ලබා ගැනීමට සහ ඒවා ක්‍රියාත්මක කරවීමට මිස මළ ගෙවල් හෝ මඟුල්ගෙවල් හැඩ කිරීම සඳහා නොවන බව ඔවුන් අවබෝධ කර නොගැනීම බදු ගෙවන දුප්පත් අහිංසක ජනතාවගේ අවාසනාවකි.

නාගරික මන්ත්‍රීවරුන් මෙම දීමනා වැඩි කර ගන්නේ කොළඹ නගරය සියලු සම්පත්වලින් සපිරි කේතුමතියක් බවට පත් කරමින් නොවේ. ජනතාවගේ සනීපාරක්‍ෂක අයිතිවාසිකම් පවා උකසට තබමිනි. හෙට දවසේ කොළඹ නාගරික ජනතාව පිපාසයට බොන වතුර බිඳද මේ දීමනා වැඩි කර ගැනීම සඳහා යන වියදමට අවශ්‍ය බදු මුදලට යට වනු ඇත. බදු තව තවත් ඉහළ යනු ඇත. මිනිසුන් නොකා නොබී බදු ගෙව්වද මේ කේතුමතියේ මෙවන් දේශපාලකයන් කා බී සතුටින් යෙහෙන් වැජඹෙනු ඇත.


අසංක ධර්ම ශ්‍රී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button