විශේෂාංග

“ශිෂ්‍යත්වය පාස් අයට බැනර් දැමීම ළමා හිංසනයක්”

පාසල් සෞඛ්‍ය පිළිබඳ ජාතික වැඩසටහන් බාර නිලධාරිනි ප්‍රජා වෛද්‍ය විශේෂඥ, අයේෂා ලොකුබාලසූරිය

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල උණුසුම තවම මැකී නැත. සමත් වූ අය ගැන තොරතුරු දෝර ගලයි. සමත් අයට සුබ පතා බැනර් ප්‍රදර්ශනය කෙරේ. ශිෂ්‍යත්වය මෙසේ උත්කර්ෂයට නැංවීමට හේතු මොනවා ද? එයින් දරුවනට ඇතිවන බලපෑම කුමක් ද? සමත් දරුවා සහ අසමත් දරුවා සම්බන්ධයෙන් කටයුතු කළයුතු නියම පිළිවෙත කුමක් ද? අද එහා ඉවුරට එක්වන විශේෂඥ වෛද්‍ය අයේෂා ලොකුබාලසූරිය පැහැදිලි කරන්නේ එයයි.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට තියෙන තරගය එන්න එන්නම උග්‍ර වෙන බවක් පේනවා. ඔබතුමිය හිතන ආකාරයට ශිෂ්‍යත්ව විභාගය ආරම්භ කළ ප්‍රමුඛ අරමුණ අද පවතින විභාගයෙන් ඉටු වෙනව ද?

ශ්‍රී ලංකාවේ ප්‍රාථමික පාසල් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ පාසල්වල ඉගෙන ගන්න දක්ෂ දරුවන්ට ඊට වඩා ගුණාත්මක පාසලක් තෝරා ගැනීමට ශිෂ්‍යත්ව විභාගය එදා ආරම්භ කළා. ඒත් එක්කම ගම්බද පාසල්වල ඉන්න දක්ෂ, ආර්ථික අපහසුතා ඇති දරුවන්ට ශිෂ්‍යාධාර ලබාදීමත් මේ විභාගයේ ප්‍රධාන අරමුණක් වෙලා තිබුණා. අපි ඔය විභාගයට මුහුණ දුන්නේ හත ශ්‍රේණියේ දී. ඒ කාලේ අපි විභාගයකට යනවා කියලා විතරයි දැනගෙන හිටියේ. මෙහෙම විභාගයක් කියලා දන්නෙ නෑ. ඒ කාලේ අම්මලා, ඔය විභාගේ ගැන ඒ තරම් හිතුවෙත් නෑ. ඒ කාලේ විභාගයේ ප්‍රතිඵල ආවෙත් අවුරුදු දෙකකට විතර පස්සේ. ප්‍රතිඵල ආවම අවශ්‍ය නම්, දහය ශ්‍රේණියේ දී වෙනත් ඉස්කෝලයකට යන්න පුළුවන්. ඒක තමයි එදා ශිෂ්‍යත්වයේ ක්‍රමය. අද වගේ තරගයක් එදා තිබුණේ නෑ. එදා තිබුණ අරමුණ අද විභාගයේ දකින්න නෑ.

ශිෂ්‍යත්වය දරුවන්ටත් පවුලටත් බලපාන ආකාරය සම්බන්ධයෙන් වෛද්‍යවරියක් වශයෙන් ඔබට කියන්න ඇත්තේ කුමක් ද?

පාසල් සෞඛ්‍ය පිළිබඳ ජාතික වැඩසටහන් බාර නිලධාරිනි
ප්‍රජා වෛද්‍ය විශේෂඥ, අයේෂා ලොකුබාලසූරිය

එදා තරගය තිබුණේ, සාමාන්‍ය පෙළ, උසස් පෙළ පන්තිවල විතරයි. ඒ තරගය අද පුංචි දරුවන්ගේ විභාගයට ඇවිල්ලා. තරගයට දරුවන් සූදානම් කරන්නේ අම්මලා. අම්මලා ශිෂ්‍යත්ව පන්තියේ දරුවා එක්ක උදේ හයේ ඉදලා රෑ නවය විතර වෙනකල් කාලය ගත කරනවා. ගෙදර ඉන්න අනිත් දරුවෝ ගැන තැකීමක් නෑ. ආහාර රටාව ගැන සොයා බලන්නෙ නෑ. බිරියකගේ වගකීම් මොනවද කියලා හොයලා බලන්නෙ නෑ. මේ තත්ත්වය පවුල් අභ්‍යන්තර ගැටුම් වර්ධනය වීමටත් බලපාලා තියෙනවා. අනෙත් දරුවන්ගේ සමඟිය බිඳ වැටෙන්නත් පුළුවන්.

ඉස්සර ගුණාත්මක අතින් ඉහළ පාසල්වල දරුවෝ මේ විභාගය කළේ නෑ. ඒ දරුවන්ගේ පවුල් පසුබිම ආර්ථික තත්ත්වය යහපත් වගේම, අවශ්‍ය පහසුකම් සියල්ල පාසලේ තියෙනවා. ඒත් ශිෂ්‍යත්වයෙන් පාස් වෙලා එන දරුවන් එක්ක තරග කරන්න, ජනප්‍රිය පාසල්වල දරුවනුත් ශිෂ්‍යත්වය විභාගය ලියනවා. ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව සියලු පාසල්වලට තක්සේරුවක් ලබා දීමටත් අධ්‍යාපන ක්ෂේත්‍රය යොමු වෙලා. මේ තරගය පාසල් පාසල් අතරත් තිබෙනවා. ඒ නිසා දරුවෝ මිරිකලා හරි ශිෂ්‍යත්වය පාස් කරන තැනට පාසල් පරිපාලනය පත්වෙලා.

ශිෂ්‍යත්ව තරගයේ දුවන ගුරුවරුත් ඉන්නවා කියන එක නේද ඔබ කියන්නේ?

අද ග්‍රාමීය පාසල්වලට ලැබෙන තක්සේරුව, ශිෂ්‍යත්ව විභාගයෙන් පාස් වෙන ළමයි ගණනට අනුව තමයි ලැබෙන්නේ. ඒ පාසල්වල උගන්වන ගුරුවරුන්ට ලබාදෙන ගෞරවය හිමි වෙන්නෙත් ශිෂ්‍යත්වයෙන් පාස් වෙන ප්‍රමාණය අනුවයි. එතකොට, ගුරුවරුත් ඉබේටම මේ තරගයේ දුවනවා. එහෙම නොවුණොත් ගුරුවරයාටත් පිළිගැනීමක් නෑ. පාසල් අතර තරගයේදීත් ඒ ඒ පාසල්වල හැකියාවන් ප්‍රදර්ශනය කරන්න අහිංසක දරුවෝ පීඩාවට පත් කරනවා. ඉස්කෝලවල ඉස්සරහා තාප්පයේ මූණු ටික එල්ලනවා. අසමත් දරුවෝ ඒ දිහා බල බල යනවා.

මේක තමයි ශ්‍රී ලංකාවේ දරුවන්ට තියෙන විශාලතම ළමා හිංසනය. ගෙදර නිදහසේ ඉන්න දෙන්නෙත් නෑ, පාසලේ නිදහසේ ඉගෙන ගන්න දෙන්නෙත් නෑ. දරුවා ගේ මනස වර්ධනය වන ප්‍රමාණයට වඩා වැඩියෙන් මනසට ඇතුළු කරන්න හදනවා. අඩුම තරමේ පාසල් තක්සේරු කරන්න ශිෂ්‍යත්වය යොදා ගැනීමවත් නතර කරන්න ඕන. ඒක වෙන්නෙත් නෑ. ඒ විතරක් නෙවෙයි, සමත් වෙන දරුවෝ ජනාධිපතිවරයාට පෙන්නන්න අරන් යනවා. ශිෂ්‍යත්ව විභාගයේ දී දරුවාගේ බුද්ධියේ ඉතා සුළු ප්‍රමාණයක් මැන බැලුවාට, සමස්ත බුද්ධිය විමසා බලන්නෙ නෑ. සමත්වුණ දරුවාට වඩා දක්ෂයෝ, අසමත්වුණ අය අතර ඉන්න පුළුවන්. එකම දරුවකුගෙවත් මානවගති, මිනිසත්කම් අගය කරන්න, ජනාධිපතිතුමා ළඟට අරන් ගියේ නෑ. ඒ නිසා පුංචි දරුවෝ අල්ලගෙන කරන මේ දේවල් සාධාරණ නෑ.

ඌන සංවර්ධිත පාසලකින්, දක්ෂ දරුවකුට සංවර්ධිත පාසලකට යන්න තියෙන අවස්ථාව ශිෂ්‍යත්වය නේද?

මව්පියන් තමන්ගේ දරුවා පහසුකම් තියෙන පාසලකට දාගන්න තියෙන කඩඉම් විභාගය බවට ශිෂ්‍යත්වය පත්කර ගැනීම වරදක් නෑ. හේතුව ඒ මව්පියන්ට තමන්ගේ දරුවාට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න වෙනත් විකල්පයක් නෑ. ඒත් මේ ප්‍රශ්නය අපි දකින්නේ, දරුවාට කරන ලොකු අසාධාරණයක් හැටියට සහ පවුල් සංස්ථාව විනාශ කිරීමට පවත්වන විභාගයක් විදිහට. අපි පාසල් සෞඛ්‍ය අංශය හැටියට අවශ්‍ය උපදෙස් හා ක්‍රියාකාරකම් කරගෙන යනවා.

ඌන සංවර්ධිත පාසලේ දරුවා තරගයක් නොමැතිව, සංවර්ධිත පාසලකට ඇතුළු කිරීමට හැකි පරිසරයක් හදන්න අපිට අවශ්‍ය වෙලා තියෙනවා. ග්‍රාමීය පාසල්වලට ලැබෙන පහසුකම්වල ප්‍රමාණයේ ප්‍රශ්නය මෙතැනදී මතුවෙනවා. ග්‍රාමීය පාසල්වලට අවශ්‍ය ගුරු සම්පත ලබා දීලා, පාසලේ යටිතල පහසුකම් දියුණු කරනවා නම්, නගරයේ පාසලට එන්න කරන උත්සාහය අවම වෙනවා. ශිෂ්‍යත්ව විභාගයට මේ ප්‍රශ්නය සෘජුව බලපානවා. නගරයේ පාසල්වල එකම විෂයට ගුරුවරු දෙන්නා තුන්දෙනා හිටියත් ග්‍රාමීය පාසල්වල ඒ විෂයට එකම ගුරුවරයෙක්වත් නැති තැන් තියෙනවා. මේ ප්‍රශ්නවලට උත්තර ලැබෙනවා නම්, ශිෂ්‍යත්ව තරගයෙන් ගුරුවරුත්, මව්පියනුත් ඉවත්වෙලා යයි.

විභාගය නිසා දරුවන්ට ඇතිවන මානසිකත්වය ගැන කියන්නේ කුමක් ද?

මේ පීඩාවෙන් ගොඩ එන්න අමාරුයි. සමහර දරුවෝ වේගයෙන් යථා තත්ත්වයට පත්වෙනවා. තවත් සමහරකුගේ මොළයේ වර්ධනය අඩාල වෙනවා. ඒ නිසා දරුවෝ ආතතියෙන් බේරගෙන විභාගයට සූදානම් කිරීම ඉතා වැදගත්. හැම දරුවකුටම කරුණු අවබෝධකර ගැනීමේ හැකියාව උපරිමයෙන් නෑ කියන එක මව්පියෝ තේරුම් ගන්න ඕන. දරුවාගෙන් දරුවාට කරුණු ග්‍රහණය කර ගැනීමේ ප්‍රමාණය වෙනස්. ඒ නිසාම නිවෙස් තුළ දරුවන් හිංසනයට පත්වන වාර ගණන අසීමිතයි. ගොඩක් දරුවෝ මානසික පීඩාවට ලක්වෙලා ප්‍රතිකාර ලබා ගන්න එනවා. ගොඩක් දරුවෝ අම්මා එක්ක රණ්ඩුකරගෙන මනස අවුල්කරගෙන ප්‍රතිකාර ගන්නවා කියලා ළමා රෝහලේ වෛද්‍යවරු කියනවා. ඒ තත්ත්වයට දරුවන් පත් නොකර, මේ තරගයෙන් දරුවන් ඈත් කරන්න උත්සාහ කළ යුතුයි. මේ රටේ විශ්වවිද්‍යාලවලට යන දරුවන්ගෙන් බොහෝමයක් ශිෂ්‍යත්ව විභාගය සමත් වුණ දරුවෝ නෙවෙයි.

ලක්ෂ තුනහමාරක් විතර දරුවෝ විභාගයට පෙනී සිටියා. පාස් වුණේ පහළොස් දහසක් විතර ඒ අතරිනුත් වැඩි පිරිස ජනප්‍රිය පාසල්වල දරුවෝ. මේ තත්ත්වය තුළ ගමේ දරුවට වෙන්නෙ කුමක් ද?

මගේ අදහස නම් ජනප්‍රිය පාසල්වල ඉන්න දරුවෝ මේ විභාගයට පෙනී සිටීම අනවශ්‍ය දෙයක්. එහෙම වුණාම ගමේ දරුවාට එන්න තියෙන අවස්ථාවක් අහිමි වෙනවා. පොතේ පතේ දැනුම විතරක් දරුවාට ප්‍රමාණවත් කියලා කවුරුහරි හිතනවා නම්, ඒක මෝඩ අදහසක්. මේ වයසේ බොහෝ දේවල් දරුවෝ සමාජයෙන් ලබා ගන්නවා. ඒ ලබා ගන්න දැනුමෙන් අනාගතයේ ජීවත් වෙන්න හොඳ පන්නරයක් ලබා ගන්නවා. අද දරුවෝ සමාජ දැනුමෙන් සන්නද්ධ නෑ. පොතේ දැනුම විතරයි. මේ නිසා රැකියාවට ගියාම ගැටලු රැසකට මුහුණ දෙනවා. මේ තත්ත්වය අද රටේම ප්‍රශ්නයක්. ඒ නිසා අඩුම තරමින්, ශිෂ්‍යත්ව විභාගය හත ශ්‍රේණියට දැම්මොත් දරු පරපුරට වෙන හානිය අවම කරගන්න පුළුවන්. අතීතයේ තිබුණේ ඒ ක්‍රමවේදය, අදටත් ගැලපෙනවා කියලයි මම හිතන්නේ.

මේ විභාගය අහෝසි කරන්න කියලා ගුරු සංගම් කියනවා. එහෙම වුණොත්, ගමේ දරුවාට ගුණාත්මක පාසලකට යන්න තියෙන අවස්ථාව අහිමි වෙනවා නේද?

මෙතැන තියෙන්නෙ ප්‍රශ්නයට විකල්පයක් නැති එක. විභාගය අහෝසි කරලා, දරුවෝ ඉහළට ගන්න වෙනත් ක්‍රමයක් ගැන හිතලාවත් නෑ. ඒ නිසා තමයි මේ විභාගය හත ශ්‍රේණියටවත් ගන්න ඕන කියලා අපි කියන්නේ. අනෙක් කාරණය, පාසල මාරු කිරීමේ අවශ්‍යතාවයක් නැති දරුවෝ මේ විභාගයට ඉදිරිපත් නොකර ඉන්නවා නම් හොඳයි. මේ ප්‍රශ්නය තවදුරටත් ඉදිරියට යාම එතරම් හොඳ නෑ. මේ රටේ හැම දරුවකුටම ගුණාත්මක අධ්‍යාපනයක් ලබා ගැනීමට හැකි පරිසරය නිර්මාණය කළ යුතුයි. ඒ වගකීම තියෙන්නේ අධ්‍යාපන ප්‍රතිපත්ති නිර්මාණය කරන බලධාරීන්ට.

අධ්‍යාපන ඇමැතිවරයා සඳහන් කර තිබුණා, ශිෂ්‍යධාර මුදල ඉහළ දමා විභාගයෙන් සමත් වන ප්‍රමාණය දෙගුණයක් කරනවා කියලා. මේ ප්‍රශ්නයට ඒක විසඳුමක් ද?

සමත්වෙන ප්‍රමාණය ඉහළ දැම්මා කියලා, මේ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙයි කියලා මම විශ්වාස කරන්නෙ නෑ. ලක්ෂ ගාණක් දරුවෝ විභාගයට ඉදිරිපත් වෙනවා. දැන් තියෙන ගාණ දෙගුණයක් කළත් ඒක සුළු ප්‍රමාණයක්. මේ විභාගයෙන් දරුවන්ගේ සියලු දක්ෂතා මනින්නෙ නෑ. මේ විභාගය නිර්මාණය කරලා තියෙන්නේ පාසලක් තෝරා ගැනීමට මිසක් බුද්ධිය පරීක්ෂා කරන්න නෙවෙයි. ශිෂ්‍යත්ව විභාග සමත් වෙන දරුවාට වඩා අසමත් දරුවෝ සාමාන්‍ය පෙළ විභාගයේ දී ඉස්සරහට එනවා. ඒ නිසා දරුවාට තේරුම්ගත හැකි වයස් සීමාවට මේ විභාගය ගේන්න ඕන.

ප්‍රාථමික අධ්‍යාපනයට විභාග පැවැත්වීම අහෝසි කරන්න කියලා බොහෝ දෙනෙක් ඉල්ලනවා?

අපේ රටේ දරුවන්ට තමයි මේ විදිහේ විභාග තියෙන්නේ. වෙනත් රටවල දරුවෝ නිතරම ඉන්නෙ ක්‍රියාකාරකම් එක්ක. අපේ දරුවන්ට පන්තියේ වෙනියෙක් දෙනවා. එහෙම වුණාම පන්තියේ පළවෙනියා වීමේ තරගයක් දරුවන් අතර ඇති වෙනවා. සුහදශීලි, මිත්‍රශීලී. එකමුතුකම් අමතක වෙලා ළඟ ඉන්න මිතුරා එක්ක තරගයක් ඇතිකරගෙන පොඩි කාලේ ඉදලම වෛරයෙන් කල් ගෙවනවා. මේ දරුවෝ සමාජයට ආවට පස්සේ වෛරී සමාජයක් පැතිර යන එක වළක්වන්න බෑ. දරුවන්ට ලබා දෙන්නේ මොන වගේ අධ්‍යාපනයක් ද කියන එක ගැන සොයා බලන්න දැන් සුදුසුම කාලය. ඒ නිසා දැන්වත් මේ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්න බලධාරීන්, නායකයින් පෙළඹෙන්න ඕන.


දුමින්ද අලුත්ගෙදර

දිනමිණ පුවත්පත ඇසුරින්

Tags
තව දුරටත් කියවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි