කලා

සරිගමපධනියෙන් නිවන් මග සොයන පොඩි හාමුදුරුවෝ

දක්ෂයෙක් හැමදාමත් නිහතමානියි....

භික්ෂු භූමිකාව සහ නිර්මාණකරණය අති සාර්ථකව සමබරව කරගෙන යන්න ගොඩක් ස්වාමීන්වහන්සේලාට හැකියාවක් නැහැ. එහෙම ස්වාමීන් වහන්සේ ලංකාවේ ඉන්නෙත් ඉතාම අතලොස්සක් විතරයි. ඒ අතලොස්සක් ස්වාමීන් වහන්සේ අතුරින් සංගීත නිර්මාණය කරන, තනු නිර්මාණය කරන ස්වාමීන් වහන්සේ නමක් කියන්නේ ඉතාම අහම්බයක්. ඒ අහම්බය අතර සැබෑවක් වූ ස්වාමීන් වහන්සේ නමක් තමයි බිබිලාදෙණියේ මහානාම ස්වාමීන් වහන්සේ.

“යමෙක් සංගීතය කළ යුත්තේ ප්‍රථමයෙන්ම තමන්ගේ මානසික තෘප්තිය උදෙසායි. ඒ තුළින් අනෙකුත් පුද්ගලයින්ට මානසික තෘප්තියක් ලබා දීම දෙවනුව විය යුතුයි. එවැනි ක්‍රියාදාමයක අවසානම අරමුණ විය යුත්තේ වාණිජ පරමාර්ථ උදෙසා සංගීතයේ හෝ නිර්මාණකරණයේ නිතර වීමයි. නැත්නම් කවදාවත් කිසිම නිර්මාණකරුවෙකුට අති සාර්ථක නිර්මාණකට ජීවය දෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මම නිර්මාණ කරන්නේ ප්‍රථමයෙන්ම මගේ තෘප්තිය උදෙසාමයි.”

බිබිලාදෙණියේ හාමුදුරුවෝ පිළිසඳර ආරම්භ කරන්නේ අන්න එහෙම කතාවකුත් එක්ක, උන්වහන්සේට වැදගත් වුණේ සංගීත අධ්‍යක්ෂවරයෙක්, තනු නිර්මාපකයෙක් කියන නම විතරක් නෙවෙයි. උන්වහන්සේ මුල් තැන දුන්නේ භික්ෂු භූමිකාවට සහ සංගීත නිර්මාණකරණයටත් එයින් ලැබෙන තෘප්තියටත් විතරයි. ඒ නිනාම ඒ කතා බහ ඇතුළේ අලුත් පරම්පරාවට ගත යුතු බොහොමයක් දෑ තිබුණා.

භික්ෂුන්වහන්සේ නමකට සංගීතය හැදෑරීම අකැපයිද? කතාව මැද්දේ දාපු මගේ ප්‍රශ්නේට අපූරු පැහැදිලි කිරීමක් ලැබුණා.

“කිසිම කෙනෙක් හාමුදුරුවරුන්ට සංගීතය හැදෑරීම අකැප කරලා නෑ. කරන්නෙත් බෑ. මමත් මුල් කාලේ ලංකාවේ වගේම ඉන්දියාවේ ඉගෙන ගත්තා. හැබැයි විෂයක්, ගුරුවරයෙකුගෙන් ඉගෙන ගන්නවට වඩා අධ්‍යයනය කිරීම තුළින්, හැදැරීම තුළින්, ඒ තුළ ජීවත් වීම තුළින් ඉගෙනීමයි වැදගත් වෙන්නේ. සංගීතය, සෞන්දර්යය, නිර්මාණය කිසිවකුට ඉගැන්විය හැක්කක් නෙවෙයි. ඇඟේ තිබිය යුතු දෙයක්.”

කොහොම වුණත් ස්වාමීන් වහන්සේ නමකට හෝ පියතුමකුට සංගීතය ඉගෙන ගනිද්දී විවිධ සංස්කෘතික බලපෑම්, ආගමික බලපෑම්, සමාජීය බලපෑම් එන්න පුළුවන්. නමුත් උවමනාව තියෙන කෙනා ඒවා නිදහසට කාරණා කරගන්නේ නෑ. මමත් එහෙම කෙනෙක්.

පැවිදි වෙන්නේ වයස 10න්. පවුල් පසුබිම සංගීතයට ගෑවිලත් නෑ.
මේ කිසිවක් තමන්ගේ ගමනට උන්වහන්සේ බාධාවක් කරගත්තේ නෑ. “මට සංගීතය පුළුවන්ද කියලා තාමත් සැකයක් තියෙනවා. මම පරීක්ෂණ කරමින් නිර්මාණ කරමින් තවමත් හොයන්නේ මගේ හැකියාව තියෙන්නේ කොතැනද කියලා…”

දක්ෂයෙක් හැමදාමත් නිහතමානී බව උන්වහන්සේගේ ඒ පේළි දෙක තුනෙන්ම අවබෝධ කරගන්න පුළුවන්. පද රචනයට ගීත නිර්මාණයට, කවි ලියන්නට උන්වහන්සේට අවශ්‍යතාවක් තිබුණේ නැහැ. අවශ්‍ය වුණේ දක්ෂයි කියලා හැඟුණ සංගීත නිර්මාණ ක්ෂේත්‍රයෙන් හැකියාව දියුණු කරගන්න විතරයි. ඒ අරමුණ තුළ උන්වහන්සේ අතින් බිහිවුණ සංගීත නිර්මාණයන් සම්මානනීයයි.
“හොඳ නිර්මාණයකට උදව් දෙන්නන් තවමත් ලංකාවේ හිඟ නෑ”

වර්තමානයේ නිර්මාණකරුවන්ට තියෙන ලොකුම ගැටලුව නිර්මාණ්‍යක් එළියට දාගන්න ප්‍රතිපාදන, අවස්ථාව අහිමි වීම. හැබැයි උන්වහන්සේ කියන විදියට ඒ ප්‍රශ්නවලට කිසිදාක උන්වහන්සේගේ නිර්මාණ ඉදිරියේ ප්‍රශ්න වෙලා නැහැ. 2007 පළමු සංගීත තැටිය නිකුත් කරන උන්වහන්සේ මේ වනවිට සංගීත භාණ්ඩ, සංගීත කෘති අතිමහත් ප්‍රමාණකට ජීවය දී හමාරයි. ඒ මහන්සියේ ප්‍රතිඵලය 2011 දී ඵල දරන්නේ එක් ඇල්බමයකට රාජ්‍ය සම්මානයකුත් හිමිකර දෙමිනුයි. අදටත් අලුත් සංගීත නිර්මාණ කිහිපයකට මුල පුරා තියෙන උන්වහන්සේට ගැළපෙන අන් අයෙකුගේ නිර්මාණවලටත් නිර්ලෝභීව දායක වෙලා තියෙනවා. ඒ නිර්මාණ ගණන 200, 300ක් පසුකර ඇති කියලයි උන්වහන්සේ කියන්නේ.

ලංකාවේ බෞද්ධ භික්ෂුවකගෙන් බලාපොරොත්තු වෙන ධර්ම ප්‍රචාරණ කාර්යය ඔබ වහන්සේ අතින් මග හැරෙන්නේ නැද්ද?

“භික්ෂුවක් වෙනත් විෂයකට මුල් තැන දෙනකොට නැගෙන පොදු ප්‍රශ්න මටත් ආවා… “බුදු දහම කියන්නේ වෙන කට්ටියව නිවන් දක්වන්නම නෙවෙයි. හාමුදුරුනමකගෙන් නිවන් දැකීම බලාපොරොත්තු වෙන්නේ මිනිස්සු. ඒක හාමුදුරුවන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි. ධර්මය, විනය, හෝ වෙන යමක් හෝ වේවා අපිට ඒ ප්‍රචාරය සාහිත්‍යයෙනුත්, තාක්ෂණික ක්‍රමයනුත් කරන්න පුළුවන්. යමෙක් මගේ නිර්මාණ පරිශීලනය කළොත් ලෞකික සහ ආධ්‍යාත්මික ජීවිතය සුරක්ෂිත කරන බොහෝ දේ කියනවා. සංගීතයත් කමහටනක් කරන්න පුළුවන්.”

සංගීතයෙන් ගින්දර මවන්න, වැසි වස්සවන්න පුළුවන්. අතීතයට උරුමකම් කියපු අපි අද සංගීතය කියූ පමණින් ගීතවලට ඇහුම්කන් දීම, මියුසික් වීඩියෝවක් කිරීමට පමණයි මුල් තැන දෙන්නේ. ඒත් ආධ්‍යාත්මික සංවර්ධනයට, මානසික ඒකාග්‍රතාවට, රෝග සුව කිරීමට තම ප්‍රධාන නිර්මාණ කාර්යය යොදවන බිබිලාදෙණියේ මහනාම හිමියන් ඉස්සරහටත් අපට ගුණාත්මක නිර්මාණ දෙන්න අදටත් වෙහෙසෙනවා. උන්වහන්සේ කියන්නේ සංගීතය හෝ නැටුම් හෝ වේවා විෂයක් හරියට ඉගෙන ගෙන භාවිත කළොත් ඒ තුළින් ඇති වෙන සංමයම ප්‍රමාණවත් වේවි කෙනෙක්ගේ ආධ්‍යාත්මය දියුණු කරන්න කියලයි. සංගීත නිර්මාණය කරන ලංකාවේ එකම හාමුදුරුවෝ කියන ඒ දේත් අත්හදා බැලුවොත් ජීවිතය කවදාවත් වරදින එකක් නෑ.


චාමිකා මුණසිංහ

Tags
තව දුරටත් කියවන්න

One Comment

  1. Ape Agama Kannada hadanne hamuduruwane. siwuru arala owa karanna. agama kanna epa. sangeethaya kiyanne minissunge keles wadi karana apaaayak.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *