දේශපාලන

“පාලකයිනි, ඡන්දෙට කෑදර කමින් මිනිස් ජීවිත උකස් තියා කැත වැඩ කරන්න එපා…!”

- විමල් කැටිපෙආරච්චි

පාලකයින් මිනිස් ජීවිත පරදුවට තබමින් කැත දේශපාලන බල ක්‍රීඩාවක නිරත වෙමින් සිටින බව මාධ්‍යවේදී, සමාජ ක්‍රියාකාරික විමල් කැටිපෙආරච්චි පවසයි. ඒ පිළිබඳ අවදියෙන් සිටින්නැයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

“කොරෝනා වසංගතය එක්ක පාලකයින් මුල ඉඳලාම ගැහුවෙ දේශපාලන ගේම් එකක්. ඒ දේශපාලන ගේම් එක මුල ඉඳලම ඒ අය ගැහුවෙ මේ රටේ මිනිස්සුන්ගෙ ජීවිත උකස් තියමින්. ඒක අපි මුලිනුත් කිව්වා, මිනිසුන්ගෙ ජීවිත පරදුවට තියලා බල ක්‍රීඩාවල නියැළෙන්න එපා කියලා. හැබැයි පාලකයින් කළේ ඒක.

කොරෝනා වසංගතය පැතිරෙන්න ගත්තු මුල් අවදියෙදි අවශ්‍ය ක්‍රියාමාර්ග අවශ්‍ය මොහොතෙදි නොගෙන, මැතිවරණය දිහා බලාගෙන කෙළ හළමින් හිටියා පාලකයෝ. අන්තිමේ කොරෝනා පැතිරෙන්න පටන් ගත්තා, මැතිවරණ කොමිසම මැතිවරණය කල් දැම්මා.

ඊට පස්සෙ රටපුරා කොරෝනා පැතිරෙමින් යනකොට සෞඛ්‍ය අංශ තමන්ගෙ ජීවිත පරදුවට තියලා, විශිෂ්ඨ ලෙස කොරෝනා වසංගතයට එරෙහිව වැඩ කරන්න පටන් ගත්තා, අරගල කරන්න පටන් ගත්තා. දේශපාලනඥයින්, පාලකයින් මොකද කළේ ? ඒ කරන වැඩවල කීර්තිය තමන්ගෙ සාක්කුවට දාගන්න ලාබ උත්සාහයන් දැරුවා. අපි දැක්කා සමහර දේශපාලනඥයෝ මනාප පොරවල නියැළුණා මේ කොරෝනා මර්ධන සේවාවන් මැද. අන්තිමේ මැතිවරණ කොමිසමට සිද්ධ වුණා පෙන්නලා දෙන්න මේ වගේ කැත වැඩ කරන්න එපා කියලා.

මේ වෙනකොට ආණ්ඩුව අමුතු කතාවක් කියමින් පවතිනවා, ඒ තමයි දැන් කොරෝනා අවදානම ඉවරයි වගේ කතාවක්. අපි පාලකයින්ගෙන් අහනවා එය ඇත්තටම අවදානම පහවීමක්ද, එහෙම නැත්නම් පහු පහු වෙනකොට කොහු කොහු වෙයි කියලා බයේ තමන්ගේ මැතිවරණ ගේම් එක ගහගන්න, ඉක්මනට ඡන්දෙ තියාගන්න කරන ව්‍යාජ අවදානම් පහවීමක්ද මේ පෙන්නන්න හදන්නෙ ? ඒ හින්දා අපි ජනතාවට කියනවා අවදියෙන් ඉන්න. පාලකයින්ගේ මේ කැත වැඩ ගැන අවදියෙන් ඉන්න එක වෛරසයෙන් බේරෙන තරම්ම වැදගත්.

ඒ වගේම මේ වෙද්දි තවත් ක්‍රියාමාර්ගයක් දියත් වෙමින් පවතිනවා ජාතිවාදය අවුස්සන්න. ජාතිවාදය අවුස්සලා ඒ ඡන්ද ටිකත් තමන්ගෙ මල්ලට දාගන්න. අපට පේනවා සමහර අතවැසි මාධ්‍ය ආයතන, මාධ්‍යකරුවන් යැයි කියාගන්නා ඇතැම් පුද්ගලයින් යොදාගෙන එක්තරා ජනකොටසකට කොරෝනා වසංගතය චෝදනාවක් හැටියට බැර කරන්න උත්සාහ කරනවා. ඒ හින්දා අපි මේ රටේ ඉන්න හිතන්න මතන්න පුළුවන් ප්‍රගතිශීලී මිනිසුන්ගෙන් ඉල්ලා සිටින්නෙ මේ සම්බන්ධව අවදියෙන් සිටින්න.

ඒ වගේම අපි ආණ්ඩුවට කියනවා මිනිසුන්ගෙ ජීවිත පරදුවට තියලා, උකස් තියලා කැතවැඩ කරන්න එපා, ඊට එරෙහිව අපට ගතහැකි සියලුම ක්‍රියාමාර්ග අපි ගන්නවා”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button