දේශීය

ගිනි තැබූ හාමුදුරුවෝ සමාව ඉල්ලයි…. රත්නපුර භීතිකාවේ ඇත්තම කතාව

ආරම්භය

ආරක්ෂාව කියන්නේ දෙපැත්ත කැපෙන ආයුධයකි. ඒ නමින් යහපත මෙන්ම අයහපත ද කළ හැකිය. මේ ලියන්නේ ඒ නමින් කළ ‘‘තවත්‘‘ අපරාධයක් ගැන ය. මෙය නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීමකි. නීතිවිරෝධීව චෝදනා ගොනු කිරීමකි. පෞද්ගලික කෝන්තර පිරිමසා ගැනීම්, බලය ලබාගැනීමේ පිපාසයෙන් සිටින දේශපාලකයන්ගේ වුවමනා ඉටුකිරීම් මෙන්ම බලයේ සිටින දේශපාලකයන් යැයි හඳුන්වා ගන්නා උන්මත්තකයන්ගේ බලය පවත්වාගැනීම් වෙනුවෙන් මේ කටයුතු සිදු වේ. මාධ්‍ය මගින් මේවා ජනතාවට අමතක වන්නට ඉඩ දෙන්නේම නැත. ඔවුන්ට මාධ්‍ය ආචාරධර්ම අදාළ නැත.

මේ කතාව කියන්නේ මැයි 19 දින රත්නපුර නගරය, අංගම්මන-පල්ලෙකන්දේ සිට ඡායාරූප ගත කිරීම නිසා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ගොනු කර, රඳවාගෙන සිටින අනුෂ්ක දිල්හාරගේ තාත්තා ය. රත්නපුර, ශ්‍රීපාද මාවතේ පදිංචි බලයලත් මිනින්දෝරු සහ උසාවි කොමසාරිස් නන්දසේන කළුපහන ය. අප කියන්නේ එපමණකි. ඒ අසාධාරණයේ වර්තමාන වින්දිතයන් ඔවුන් ය. අනාගත වින්දිතයන් ඔබත්/මමත් ය.

සිදුවීම

‘මගෙ පුතයි, තව එයාගෙ මුස්ලිම් යාළුවො දෙන්නෙකුයි තමයි ඔය පොටෝ ගන්න ගියෙ. එයා පොටෝ ගන්න හරි ආසයි. වෙසක් දා රෑ රත්නපුරේ ලස්සන ගැන එයා කියමින් හිටියෙ.

ඔය අත්අඩංගුවට ගැනීමට කලින් තව ගමේ කට්ටියක් අහලා තිබුණා, කවුද ඔයාලා කියලා. ඊට පස්සෙ පුතාගෙ පෝන් එකෙන්ම එයාලා මට කතා කරලා විස්තර අහලා, ප්‍රශ්නයක් නෑ කිව්වා. ඔය අතරෙ තමයි බීමත් පිරිසක් ඇවිත් එහෙම පුළුවන්ද කියලා ගැටුමක් ඇති කරලා තියෙන්නෙ. ඊට පස්සෙ අංගම්මන පන්සලේ පොඩි හාමුදුරුවො ඇවිල්ලා කියලා තිබුණා, මේ අය ගත්තු පොටෝ මකලා, යන්න දෙමු කියලා. එතකොට ඒ හාමුදුරුවන්ට, බුදු හාමුදුරුවො වෙන්න හදනවද කියලා බැනලා පොලිසියට කියලා. පොලිසියෙන් ඔක්කොම පරීක්ෂා කරලා, කිසි වැරැද්දක් නෑ කිව්වා.

ගිනි ඇවිළවීම

ඊට පස්සෙ තමයි, ඔය කියන මෝදරවානේ ඥානකිත්ති කියන හාමුදුරුවො හත්-අටසීයක් එකතු කරගෙන රත්නපුර පොලිසිය ඉස්සරහ උද්ඝෝෂණයක් කරන්න හැදුවෙ. ඒ හාමුදුරුවො තමයි, වීඩියෝ එකක් දාලා තිබුණේ ෆේස්බුක් එකට අපේ පුතාලට අසත්‍ය චෝදනා ගොඩක් කරලා. ටීවී වලිනුත් කිසිම ඇහිල්ලක්-බැලිල්ලක් නැතුව ඒකම දැම්මා. අයිඑස්අයිඑස් ත්‍රස්තවාදියො තුන් දෙනෙක් ඇල්ලුවා කියලා තමයි ප්‍රචාරය කළේ.

පෞද්ගලික ආරවුල

මගේ විරුද්ධවාදියො තමයි මේ වැඩේ කළේ. අපේ ගමට එහා තියෙන වේවැල්වත්තෙ පෞද්ගලික ජල විදුලි බලාගාරයක් ඉදිකරන්න හැදුවා. ඒකෙන් ලොකු පරිසර විනාශයක් වෙනවා. මං තමයි කට්ටියත් එක්ක මැදිහත් වෙලා ඒක නැවැත්තුවෙ. ඒකට ඔය පිරිස මාත් එක්ක තරහෙන් හිටියෙ. ඒ ගොල්ලො තමයි හාමුදුරුවන්ට ඔය බොරු කතා කියලා තියෙන්නෙ. හාමුදුරුවොත් කිසිම දෙයක් හොයන්නෙ නැතුව මාධ්‍ය මගින් රටටම කිව්වා. විනාශය වුණේ ඒකෙන්.

පොලිසියේ තහවුරුව

පොලිසිය පැහැදිලිව කිව්වා, අපේ ළමයින්ගෙ කිසිම වැරැද්දක් නෑ කියලා. සබරගමුව පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිතුමා පැහැදිලිව කිව්වා, හාමුදුරුවො පන්සලට යන්න, අපි රාජකාරිය කරන්නම් කියලා. මෙතැන කිසි වරදක් නෑ කියලා ප්‍රසිද්ධියෙ කිව්වා. සෙනඟ වැඩි නිසා ළමයි එළියට දැම්මා නම් ඒ ගොල්ලන්ට කරදර කරයි කියලා තමයි ඒ වෙලාවෙම පොලිසියෙන් එළියට නොදැම්මෙ. හාමුදුරුවො කෑ ගහලා කිව්වනෙ, විනාඩි දහයකට ඔය සිංහල ත්‍රස්තවාදියා දෙන්න කියලා. අනිවාර්යෙන් ගහලා මරයි ඒ හිටපු සෙනඟත් එක්ක.

චෝදනාව ආපු තැන

එතැන හිටපු සෙනඟ, හාමුදුරුවොත් එක්කම කෑගැහුවා, මේ ගොල්ලන්ට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතෙම නඩු දාන්න කියලා. ඩීඅයිජී මහත්තයලා සල්ලි අරන්, මේ ගොල්ලො නිදහස් කරන්න හදනවා කියලත් කෑගැහුවා. ඉතින් පොලිසියත් ඒ අය කියපු විදිහටම ත්‍රස්තවාදී පනත යටතේ නඩු දැම්මා. මොකක්ද ඒ වැඩේ. කවුරුත් කියන විදිහටද පොලිසිය චෝදනා දාන්නෙ. හදිසි නීතිය යටතේ මොනවා හරි වැරැද්දක් කරලා තිබුණා නම්, ඒකට අවශ්‍ය පියවර ගන්න තිබුණා. හැබැයි අර පිරිස කියපු හින්දා මේ වගේ අපරාධයක් නොකර. පොලිසිය වට කරපු හින්දා බයට තමයි මෙහෙම කළේ.

ඩීඅයිජී මහත්තයත් දිගටම පොලිසියෙ හිටියා. එයා ගොඩක් දුක් වුණා. ඒ මහත්තයත් මේකට එකඟ වුණු එක මටත් ප්‍රශ්නයක්.

පොලිසිය වෙනස් වීම

ඊට පස්සෙ දවස් තුනකින් අධිකරණයට ඉදිරිපත් කළා. පොලිසිය අධිකරණයට කිව්වෙ ඒ ගත්තු ඡායාරූපෙන් රත්නපුරේ නගරයේ වැදගත් ස්ථාන හඳුනාගන්න පුළුවන් කියලා. මම අහන්නෙ කළු පාට පසුතලයක, කහ පාට තිත් ටිකක් විතරක් තියෙන පොටෝ එකකින් එහෙම හඳුනා ගන්න පුළුවන්ද. එහෙම පහරදෙන්න පුළුවන්ද. මොන තරම් අඥාන ප්‍රකාශයක්ද ඒක.

මමත් මිනින්දෝරුවෙක්. යම් ස්ථානයකට පහර දෙන්න අවශ්‍ය නම් ඒක හරියටම නිශ්චය කරන්න මට පුළුවන්. කාලතුවක්කු ප්‍රහාර වලට හදන්නෙ එහෙමයි. මං ළඟ ඒ තාක්ෂණික උපකරණත් තියෙනවා. අනෙක ගූගල් සිතියම් හරහා ඕනෙ එකක් දශමෙට බලාගන්න පුළුවන්. එහෙම තියෙද්දි මොකක්ද මේ ගොල්ලො කිව්වෙ. ඒකෙන් වුණේ කොච්චර අපරාධයක්ද.

අධිකරණයේ නඩුවට ආපු නීතිය බලගැන්වීමේ නිලධාරියා කිව්වා, මේ ගොල්ලො කිසිම වරදක් කරලා නෑ කියලා. ඒත් චෝදනා දාලා තියෙන විදිහ හින්දා මහේස්ත්‍රාත් අධිකරණයට කරන්න දෙයක් නෑ. අපේ දරුවා කවුද කියලා හැමෝම දන්නවා. ගිය සතියෙ ලංකා පත්තරේ ලිපිය දැක්කනෙ. ඒක කොච්චර වටිනවද. අයිඑස් අයිඑස්එකට විරුද්ධව එච්චර ලියපු කට්ටිය තව කීපදෙනයි ඇත්තෙ.

මහේස්ත්‍රාත්

ඇයි මේ පනත යටතේ චෝදනා ගොනු කළේ කියලා මහේස්ත්‍රාත් ඇහුවා. අපේ නීතිඥ මහත්මයත් ඒක පැහැදිලි කළා. දැන් හැමෝම පිළිගන්නවා, මේ අය නිවැරදියි කියලා. පහුගිය තුන් වැනිදත් මහේස්ත්‍රාත්තුමිය පොලිසියට දොස් කිව්වා, ඇයි මේවා පරක්කු කරන්නෙ. නීතිපති එකට ඉක්මනින් යවන්න කියලා.

ගිනි තැබූ හාමුදුරුවෝ සමාව ඉල්ලයි

ඥානකිත්ති හාමුදුරුවො රත්නපුර පොලිසිය ළඟට ඇවිත් තියෙන්නෙ රාත්‍රී දොළහට විතර. ඒ ඇවිත් වටේ හිටපු කීපදෙනෙක් කියපුවා එහෙම්ම කියලා දැම්මා. හාමුදුරුවො මාත් එක්ක ඒක කිව්වා. මං දන්නෙ නෑ, මට කියපුවා තමයි මම කිව්වෙ. මම හිතුවෙ නෑ, මෙහෙම දෙයක් වෙයි කියලා. මට සමාවෙන්න කියලා හාමුදුරුවො මට කිව්වා. ඒ විතරක් නෙමෙයි, ළමයින්ට ඇප ගන්න හොඳ නීතිඥ මහත්තුරු කියලා නම් ටිකකුත් කිව්වා. හාමුදුරුවොත් උදව් කරන්නම් කිව්වා. හාමුදුරුවො දැන් බොහොම දුක් වෙනවා කරපු වැඩේ ගැන. ආපහු කිසිම දේකට එන්නෙ නෑ කිව්වා. ඕනෙ වෙලාවක මට උදව් කරන්නම් කිව්වා.

හාමුදුරුවො කොච්චර බොරු කිව්වද. ගෙදර තිබුණු කුරානෙ ගැන කිව්වට, බයිබලය, බෞද්ධ පොත් ගැන කිව්වෙ නෑ. වාහන අංක තහඩු තිබුණා කිව්වා. ඒ බස්නාහිර පළාතෙන් ගත්තු බයික් එකට, සබරගමුව පළාතට අදාළව හදපු එක. මාධ්‍යත් කිසිම දෙයක් අපෙන් ඇහුවෙවත් නෑ, නිකම්ම දැම්මා.

අවසානය

දැන් හාමුදුරුවෝ සමාව ගෙන ඇත. එහෙත් ඔවුන්ගේ බලකිරීම මත චෝදනා ගොනු වුණු සැකකරුවන් තිදෙනා තවමත් රක්ෂිත බන්ධනාගාරයේය. තහනම් කර ඇති ආගමික සංවිධාන වන ජමියතුල් මිල්ලතුල් ඊබ්‍රාහිම් ජෙයිලානි සහ ජාතික තව්හිද් ජමාත් සංවිධාන වල සාමාජිකයන් බවට ඔවුන් සැක කරන බව පොලිසිය අධිකරණයට වාර්තා කර තිබිණි.

රත්නපුර නගරයම මේ සිද්ධියෙන් භීතියට පත් විය. මාධ්‍ය කිව්වේ රත්නපුරයට ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි බවට සැකපිට පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බවත්, ඔවුන් සතුව අධි තාක්ෂණික උපකරණ තිබූ බවත් ය.

හිතන්න, ඇත්තටම සිදු වී ඇත්තේ කුමක්ද? ඇත්තටම සිදු වෙමින් තිබෙන්නේ කුමක්ද?


ශාලික විමලසේන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button