දේශීය

දැරියකට ලිංගික අතවර කළ පොහොට්ටුවේ රත්තරංගේ කෙරුවාව දැරියගේ පියා හෙළිකරයි

කළු කුමාර දෝෂයක් ඇතැයි කියමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර හෙවත් “රත්තරං” විසින් පාසල් දැරියකට ලිංගික අතවර කළ සිදුවීම පිළිබඳව එම දැරියගේ පියා ඊයේ (10) මාධ්‍ය හමුවේ හෙළිදරව් කළේය.

තම ආබාධිත බාල දරුවකුගේ අසනීපයක් සඳහා සහනයක් බලාපොරොත්තුවෙන් මන්ත්‍රීවරයාට අයත් දේවාලයට ගිය අවස්ථාවේදී මෙසේ වයසේ පිළිවෙලට අනෙක් දරුවන් ද තනි තනිව දේවාලය තුළට පැමිණිය යුතු බව පවසා මන්ත්‍රීවරයා විසින් මෙම ලිංගික අතවරය කළ බවයි ඇගේ පියා සඳහන් කළේ.

වැඩිමහල් දියණිය මුලින්ම දේවාලය තුළට ගත් අවස්ථාවේදී ඇගේ මව ද ඇය සමඟ යාමට උත්සාහ කළත් මන්ත්‍රීවරයා “දොස්” එන බව පවසා ඇය වැළැක්වූ බව ද දැරියගේ පියා ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරයා පැවසූ පරිදි තමන් උදෑසන 6.20 වන විට දේවාලයට ගිය බවත් උදෑසන 6.45ට පමණ මන්ත්‍රීවරයා දේවාලයට පැමිණි බවත් තම පවුලේ අය හැර වෙනත් කිසිවකු දේවාලයට පැමිණ නොසිටි බවත් පියා පැවසීය.

වාර හතරකදී පමණ වරින් වර ඔවුන්ව දේවාලය තුළට කැඳවූ බව පැවසූ පියා තමන් දේවාලය තුළට යන මොහොතේදීත් එහි පහන දල්වා නොතිබුණු බවත් ඒ ගැන විමසීමේදී “යක්කුන්ගෙ වැඩ කරනකොට පහන පත්තු කරන්නෙ නෑ” යනුවෙන් මන්ත්‍රීවරයා පිළිතුරු දුන් බවත් ප්‍රකාශ කළේය.

දැරියට ලිංගික අතවරයක් කර ඇති බව ඇය විසින් මවට පවසා තිබුණේ නිවසට පැමිණි පසුව බව පැවසූ පියා එය දැනගත් මොහොතේ තමන් බලවත් කම්පාවට පත්වූ බවත් එදින සවස දැරිය වෛද්‍යවරයකුට පෙන්වූ අවස්ථාවේදී යම් තැල්මක් පවතින බව වෛද්‍යවරයා ද දැනුම් දුන් බවත් කීය.

මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණු රංජන් රාමනායක අමාත්‍යවරයා සඳහන් කළේ පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාරටත් මේ වයසේ දියණියන් සිටින බවත් අහිසක මල් කැකුළු වැනි දරුවන් විනාශ කිරීමට දේශපාලකයින්ට කිසිදු අයිතියක් නොමැති බවත්ය.

පෙබරවාරි 23 වනදා අක්මීමන, බටදූව ප්‍රදේශයේ දේවාලයක් තුළදී 16 හැවිරිදි දැරියකට බරපතළ ලිංගික අතවරයක් සිදු කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාට චෝදනා එල්ල වී ඇති අතර ඔහු පෙබරවාරි 28 වනදා පොලිසියට භාරවී ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ, පැය කිහිපයක් තුළ ඇප මත නිදහස් කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button