විදේශීය

දූෂණය කිරීම නැරඹීමට දරුවන්ට බලපෑම්

BBC ඇසුරින්

දකුණු සුඩානයේ දරුවන්ට තම මව්වරුන් දූෂණය කර මරා දමන ආකාරය බලහත්කාරයෙන් නැරඹීමට සළස්වා ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරයි. යුද අපරාධ සහ මනුෂ්‍යවර්ගයාට එරෙහිව සිදු කරන ලද අපරාධවලට සුඩාන නිලධාරීන් හතළිහකට ආසන්න ප්‍රමාණයක් පෞද්ගලිකව වග කිවයුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වේ. සාමාන්‍ය වැසියන් කපා කොටා හිංසාවට පත් කර, ගම්මාන මහා පරිමාණයෙන් විනාශ කර ඇති බව එම වාර්තාවේ තවදුරටත් සඳහන්ව ඇත.

සුඩාන ආණ්ඩුව සහ කැරළිකරුවන් අතර ගැටුම් තවදුරටත් පැවතෙන්නේ 2015 දී ඇති වුණ සාම ගිවිසුම ද නොසලකා හරිමිනි. හමුදා කර්නල්වරයන් පස් දෙනෙකු, ආණ්ඩුකාරවරයන් තිදෙනෙකු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හතළිස්‌ දෙනෙකු මෙම අපරාධවලට සම්බන්ධ බවට හඳුනාගෙන ඇත. අපරාධකරුවන් යැයි සැක කරන පුද්ගලයන්ගේ නම් වාර්තාවේ ඇතුළත් වී නොමැති අතර නඩුව විභාගයට ගන්නා පළමු දිනයේදී ඔවුන්ගේ අනන්‍යතාව හෙළි කිරීමට නියමිතය.

මෙම බිහිසුණු අත්දැකීම්වලට මුහුණ දුන් පුද්ගලයන් “අතිශය කම්පනයට” පත් කරන සාක්ෂි ලබා දී ඇති අතර සමහර පුද්ගලයන්ට තම පවුලේ සාමාජිකයන් දුෂණය කිරීමට බලපෑම් කර ඇත. මෙය “බොස්නියාවේ සිදුවූ සිද්ධීන් යළි සිහිපත් කරන” බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර සිටී. දොළොස් වියැති පිරිමි දරුවෙකුට ජීවත්ව සිටීමට අවශ්‍ය නම් ඔහුගේ මිත්තනිය සමග ලිංගිකව එක්වීමට බල කළ බව කාන්තාවක පැවසුවාය. තම සැමියාගේ වෘෂණ ඉවත්කරනු බලා සිටීමටද ඇයට සිදුව ඇත.

තම මිතුරා සමූහ දුෂණයට ලක් කර කැලෑබද ප්‍රදේශයක අතහැර දැමීමෙන් ඔහු මියගිය බව තවත් පුද්ගලයෙක් පවසා තිබේ. “දකුණු සුඩානයේ පිරිමින්ට එරෙහි ලිංගික හිංසනය වාර්තා වෙනවාට වඩා ඉතා බරපතල තත්ත්වයක” ඇති බව දකුණු සුඩානය පිළිබඳ මානව හිමිකම් කොමිසමේ ප්‍රධානී යස්මින් සූක් පැවසුවේය.

ලානියා ප්‍රදේශයේ ජීවත් වන ගැබිණි කාන්තාවක් පවසා සිටියේ, SPLA සටන්කාමීන් විසින් තමන්ට විරුද්ධ යැයි සැක කරන පුද්ගලයන් සිර භාරයට ගෙන, වධහිංසා පමුණුවා හිස ගසා දමනු ඇය දුටු බවය. ඇයගේ සැමියා ද එළෙස ඝාතනය කෙරුණ පුද්ගලයන් අතර සිට ඇති අතර, නරක් වෙමින් තිබෙන මළමිනී සමග ඇයව සිර කර තබා ඇත.

ඉදිරියේදී සුඩාන නිලධාරීන්ට එරෙහිව යුද අපරාධ නඩු පැවරීමට අදාළ සාක්ෂි රැස් කරන අතර එකී වාර්තාව ජිනීවාහි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයට භාර දීමට කටයුතු කෙරෙනු ඇත. දකුණු සුඩාන පාර්ලිමේන්තුවේ අනුමැතිය තවමත් නොලැබීම හේතුවෙන් මෙම අපරාධවලට එරෙහිව යුද අපරාධ නඩු ගොනු කිරීමේ ප්‍රමාදයක් ඇත.

2015 සාම ගිවිසුමේ කොන්දේසිවලට අනුව, දකුණු සුඩාන ආණ්ඩුව සහ අප්‍රිකානු සංගමය එක් වී අධිකරණයක් පිහිටුවීමට යෝජනා කර ඇත. දකුණු සුඩාන විනිසුරුවරුන් සහ අනෙකුත් අප්‍රිකානු රටවල විනිසුරුවරුන්ගෙන් සැදුම් ලත් එම අධිකරණයෙහි දරුණු ගණයේ අපරාධ නඩු විභාග කිරීමට යෝජනාකර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button