කලා

හබරකඩ ධම්මානන්ද හිමියන්ගේ කවි සුරුට්ටු

සිංහල සාහිත්‍ය කලාවට අතීතයේ භික්ෂුවකගෙන් ඉටුවුණු සේවය අනන්තයි අප්‍රමාණයි. උන්වහන්සේලා නොවන්නට අද මේ තියෙන සාහිත්‍යය සහ කලාව නැති වෙන්නත් ඉඩ තිබුණා. අන්න එවැනි පරපුරක වර්තමාන හිමිකරුවෙක් විදියට සිංහල සාහිත්‍යයේ ගමනක් යන්න පටන් ගත්තු භික්ෂුවක් ටිකක් වෙනස් විදියක කවි පොතක් එළිදක්වලා තියෙනවා. උන්වහන්සේ තමයි පූජ්‍ය හබරකඩ ධම්මානන්ද හාමුදුරුවෝ. ඉතින් මේ කතාබහ උන්වහන්සේ සමග.

 

මොකක්ද මේ පැකට් නොකළ කවි සුරුට්ටු?

කවි පොතක්.

 

ටිකක් නම අමුතුයි වගේ. මේ දවස්වල තියෙන රැල්ලට දාපු නමක්ද?

මුලින්ම නම දාන්න හිතුවේ කවි සුරුට්ටු කියලා. අවුරුදු දෙකක් විතර පොතට මහන්සි වුණා. ඒ කාලේ ඉඳලාමයි නමත් හිතාගෙන උන්නේ. ඒක බොහොම සරල අදහසක්. අදහස මේකයි, දැන් සමාජයේ හුඟක් දුම් පානය කරන අය ඉන්නවනේ. ඉතින් දවසකට එකපාරක් හරි ඒ අය නිකොටින් ඇඟ ඇතුළට දාගන්නවා ඇබ්බැහි වුණ අය. ඒත් ඒ අය සහ බහුතර සමාජය දවසකට කවියක් කියවන එක වෙන්නේ නැති තරම්…. ඉතින් කවිය කියන්නෙත් ඒ වගේ ඇබ්බැහියක් කියන්නයි මම මේ නම දැම්මේ. පැකට් නොකළ කියන එකෙන් කියන්නේ ඕනෑම කෙනෙකුට විවෘතයි කියන එක වගේම මේ කවිත් බොහොම විවෘත අදහස් කියන එක කියන්නයි ඕන වුණේ.

ඒ වගේම මේ දවස්වල ජනප්‍රිය සහ මාකටින් රැල්ලට යන නමක් කියලා කෙනෙකුට හිතුණත්, එහෙම කිසිම පටු අරමුණක් මේ නම පිටිපස්සේ නැහැ. මේක බොහොම පිරිසිදු චේතනාවක්. තේරුමක් ඇතිව පොතට දාපු නමක්.

 

එතකොට මොනවද මේ කවි?

මේ පොතේ තියෙන්නේ කෙටි කවි. ඒවෙලේ හිතට ආපු අදහස් තමයි මේ කවිවල තියෙන්නේ. කෙටි වුණාට, හයිකු කවි වගේ පෙනුණාට මේවා හයිකු කවි නෙමෙයි. පොත කියවපු අයගේ අදහසත් මේ කවි හයිකුවලට සමාන කරන්න බැහැ කියන එක. කොහොමත් මම උත්සාහ කරන්නේ වෙනත් කවි සංස්කෘතියක් හඹායන්න නෙමෙයි.

 

කොයි කාලේ ඉඳන්ද කවි ලිව්වේ?

මහණ වුණේ අවුරුදු 12න්. පිරිවෙන් යන්න පටන් ගත්තේ අවුරුදු 14න්. ඒ කාලේ ඉඳන් තමයි කවි කියවන්න පටන් ගත්තේ. කාව්‍ය කලාවේ මුලින්ම හඳුනාගත්තේ සඳුන් ප්‍රියංකර විතානගේ කියන සහෘදයා. ඔහුගේ මාර්ගයෙන් තමයි පොත් කියවන්න පොත් ගැන කතා කරන්න අවස්ථාව ලැබුණේ කැම්පස් යන්න කලින්. කැම්පස් ගියාට පස්සේ කවි සංවාදවලට ගිහින් ලැබුණු අත්දැකීම් එක්ක ආපු ගමනක් තමයි මේ කවි ලිවීම.

 

මේ කවිවල තියෙන්නේ ඔබවහන්සේගේ ජීවිතයද?

අනිවාර්යයෙන්ම. මහණකමේ හිටපු කාලයේ ලැබුණු අත්දැකීම් තමයි මේ කවි පොතේ වැඩිපුරම තියෙන්නේ.

 

පොතක් කරන්න හිතුවේ?

ආසාවක් තිබුණා කවි පොතක් කරන්න. ඒ වගේම අපේ විශ්වවිද්‍යාලයේ අපේ බැච් එකේ විෂය පරිබාහිර වැඩ සියයට අසූවක් විතර අඩුයි. විෂය පරිබාහිර වැඩක් විදියට මේක ගත්තොත් අපේ බැච් එකේ ගිහි පැවිදි කිසිම කෙනෙක් මම දන්නා තරමින් මේ වගේ දෙයක් කරලා නැහැ. ඉතින් ඒකත් මේ පොත එළියට එන්න බලපාපු හේතුවක්.

 

කවිය තුළ වීරයෙක් ඉන්නවද?

ඔව්… මහගමසේකර මහත්තයා, රත්න ශ්‍රී විජේසිංහ මහත්තයා ඇතුළු අපේ මුල් පරපුරේ කවීන්ගේ නම් ලැයිස්තුවක් කියන්න පුළුවන්. එතකොට එක වීරයෙක් නෙමෙයි. ඒ හැමෝම මට වීරයෝ.

 

සමකාලීන කවියන්ගෙන් ඔබවහන්සේ කැමති කවියෙක් ඉන්නවද?

වර්තමානයේ කවියන් ගැන නම් ලොකු පැහැදීමක් නැහැ. හැබැයි මම මට හමුවන හැම කවියක්ම කියවනවා. වර්තමානයේ පවතින කවි පළකරන මාධ්‍ය එක්ක ගළපා ගැනීමේ අපහසුවක් මම වර්තමාන කවියන් තුළ දකිනවා.

 

සාහිත්‍යය සමග සිටින භික්ෂුවක් විදියට, මේ කවි පොතට සහ ඔබවහන්සේගේ ජීවිතයට ශ්‍රී ලාංකේය බෞද්ධ සාහිත්‍යයේ මහා පඬි රුවනක්වන වල්පොළ ශ්‍රී රාහුල හිමියන්ගේ සාහිත්‍යය සහ උන්වහන්සේගේ ජීවිතය බලපාලා තියෙනවා කියලා මට දැනෙනවා… මම හරිද?

ඔව් ඔබ හරි… උන්වහන්සේගේ සාහිත්‍යය වගේම උන්වහන්සේගේ ජීවිතය අධ්‍යයනය කිරීම මට තදින් බලපාලා තියෙනවා. මොකද මම සියයට 70ක් විතර උන්වහන්සේව අධ්‍යයනය කරලා තියෙනවා. දැන් කාලේ ජනප්‍රිය බුද්ධාගමේ (බුද්ධ දර්ශනය නොවෙයි) සාහිත්‍යධරයෝ, සාහිත්‍ය කලාකාමීන් කියන පිරිසක් කියලා ඉන්නවා. නමුත් වල්පොළ ශ්‍රී රාහුල හිමියන්ගේ දැක්ම සහ දැනුම ඒ එක්කෙනෙකුටවත් නැහැ කියලා වගකීමෙන් කියන්න පුළුවන්.

කරුමෙකට වගේ අපේ සමාජයේ අපැහැදිලි මතවාදයක් ගොඩ නැගිලා තියෙනවා උන්වහන්සේ ගැන. ඒත් උන්වහන්සේගේ මතවාද හරියටම හරි කියලා ඕනෑම කෙනෙකුට තේරුණත් අපේ මිනිස්සු ඒවා පිළිගන්න අකැමැතිකමකුත් තියෙනවා. සමහරවිට අර අපැහැදිලි මතවාදය ගොඩනැගුණේ ඒ අකැමැත්ත නිසා වෙන්නත් පුළුවන්. ඒක අපේ කරුමයක්ද උන්වහන්සේගේ වාසනාවද කියන්න මට තේරෙන්නේ නැහැ.

ඉතින් කොහොම හරි මගේ නිර්මාණවලට, මේ කවි පොතට වගේම මගේ ජීවිතයටත් සියයට දෙසීයක් තුන්සීයක් විතර වක්‍රාකාරව බලපාලා තියෙන්නේ උන්වහන්සේගේ සාහිත්‍ය කෘති ඇසුර වගේම උන්වහන්සේගේ ජීවිතය ගැන අධ්‍යයනය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button