දේශීය

අද සිට රාජ්‍ය ආයතන වැඩ අරඹයි

කැඳවන සේවකයින් කවුරුන්දැයි තීරණය කිරීමේ බලය ආයතන ප්‍රධානීන්ට

සියලූ අමාත්‍යංශවල සහ රාජ්‍ය ආයතනවල රාජකාරී ආරම්භ කිරීම සඳහා වන මූලික කටයුතු අද (17) සිට ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා.

රාජ්‍ය යාන්ත්‍රණය ඉදිරියට පවත්වාගෙන යාමේ අරමුණින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් අනුව එහි මූලික කටයුතු ආරම්භ කෙරෙන බවයි නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් සහ කොවිඞ් 19 වැළැක්වීමේ ජනාධිපති කාර්යය සාධක බලකායේ සාමාජික ආචාර්ය ප්‍රියාද් බන්දු වික්‍රම සඳහන් කළේ.

ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවේදී එළඹුනු තීරණ සම්බන්ධයෙන් ද ඔහු මෙහිදී අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ දිනකට කැඳවන සේවකයින් කවුරුන්දැයි තීරණය කිරීමේ බලය ආයතන ප්‍රධානියාට පවරා ඇති බවයි.

රාජ්‍ය ආයතනවලින් සේවා ලබාගන්නා පුද්ගලයින් වෙනුවෙන්ද විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි එහිදී ප්‍රකාශ කෙරුණේ.

රාජ්‍ය සේවය නවීන තාක්ෂණය සමග එක් කොට ඉදිරියට රැගෙන යාමට ජනාධිපතිවරයාට අවශ්‍ය වී ඇති බවත් එහිදී ප්‍රකාශ කළා.

මේ අතර කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කර ආර්ථිකය යළි පනගැන්වීම පිණිස සැලසුම් කළ උපාය මාර්ග රජය විසින් මෙම සති අන්තයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඒ, රට තුළ පවතින වත්මන් තත්ත්වයද සැලකිල්ලට ගනිමින්.

සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කලේ රට තුල පනවා ඇති සීමා ලිහිල් කිරිම සම්බන්ධයෙන් දිස්ත්‍රික් මට්ටමෙන් පවතින අවධානම් මට්ටම සහ විවෘත කිරීමේදී ගත යුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂ කණ්ඩායමක් මේ වන විටත් කරුණු රැස් කරමින් සිටින බවයි.

ඉදිරි සතිය ආරම්භයේදීම එම නිර්දේශ රජය වෙත භාර දෙන බවත් ඔහු ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button