කලා

අම්බානි වසඟකළ අපේ රටේ නැට්ටුක්කාරිය

දෙවංගි නවෝද්‍යා වික‍්‍රමසිංහ

දෙවංගි නවෝද්‍යා වික‍්‍රමසිංහ මේ යොවුන් සුරූපි ශිල්පිනියගේ නාමයයි. ඇය ප‍්‍රවීණ නර්තනාචාර්ය සහ නර්තන ශිල්පී චන්දන වික‍්‍රමසිංහ සහ දිල්හානි යුවලගේ එකම දියණියයි. මේ දිනවල චන්දන වික‍්‍රමසිංහ නර්තනවේදියා ගැන බොහෝ දෙනා කතා වන්නේ ලෝකයේ අංක එකේ ධනවතකු වන අම්බානිගේ දියණියගේ අතිඋත්කර්ෂවත් විවාහ උත්සවය ලස්සන කළ නර්තන කණ්ඩායම ලෙස චන්දන වික‍්‍රමසිංහ ඇතුළු ඔහුගේ නර්තන කණ්ඩායම සහභාගී වූ නිසයි. එම උත්කර්ෂවත් මංගල්‍ය උළෙලේදී චන්දන වික‍්‍රමසිංහයන්ගේ මේ සුරූපී දියණියද නර්තන අංගයන් ඉදිරිපත් කළ අතර එම උත්සවයට සහභාගී වූ ඉන්දීය සුප‍්‍රකට බොලිවුඞ් තරු ඇතුළු බොහෝ දෙනා මේ දෙවංගි ගැන විශේෂයෙන් කතා කළහ.

දෙවංගි පසුගිය කාලයේ කොහෙද හිටියේ ?

මගේ උසස් අධ්‍යාපන කටයුතු කරන්නේ ඕස්ටේ‍්‍රලියාවේ සරසවියක. ඉතින් පසුගිය අවුරුදු දෙකක කාලයේ සිටියේ සිඩ්නි නුවර

ලංකාවේ ඔබ අධ්‍යාපනය හැදැරුවෙ ?

ලයිසියම් ජාත්‍යන්තර පාසලේ

මොන අංශයෙන්ද සරසවි අධ්‍යාපනය ලබන්නේ ?

තොරතුරු තාක්ෂණය සහ අන්තර්ජාලයේ ආරක්ෂණ පද්ධති සම්බන්ධව (සයිබර් ආරක්ෂණ) උපාධිය වෙනුවෙන්.

ඒ කියන්නේ අන්තර්ජාලයේ මොනවාහරි අකටයුතු දෙයක් වුණොත් දෙවංගි තමයි අපිව බේර ගන්නෙ ?

මෙම අංශයේ පළපුරුදු දැනුමැති අය තවත් ඉන්නවා. මාත් ඒ අතර තවත් එක් අයෙක් විතරනෙ.

නර්තනය පටන් ගත්තෙ තාත්තගෙ නර්තනායතනයේදී නෙවෙයිද ?

මුලින්ම පාසලේදී ගයනි මිස් තමයි නර්තනයට මාව තොරා ගත්තේ. පාසලේදී විතරයි මම නර්තනය කළේ. උසස් පෙළින් පසුව තමයි තාත්තා ළඟට ආවේ.

හොඳයි අපි කෙළින්ම කතා කරමු ලෝකප‍්‍රකට ව්‍යාපාරික අම්බානිගෙ දියණියගෙ මංගල්‍යයට ඔබ සහභාගී වූ විදිය ගැන ?

මම එතකොට හිටියෙ සිඞ්නි නුවර. තාත්තා මට කතා කරලා මෙහෙම උත්සවයකට යන්න තියෙනවා කියලා කිව්වා. හැබැයි ඒ කාගෙද කියලා කිව්වේ නැහැ. මාත් දැන ගත්තේ ඉන්ස්ටග‍්‍රෑම් පේජ් එකෙන්. ඊට පස්සේ තාත්තාගෙන් ඇහුවාම කිව්වේ ඔව් ඒකට තමයි අපිට ආරාධනා ලැබී තිබෙන්නේ. ඒත් කාටවත් කියන්න එපා කියලත් කිව්වා. මුලින්ම ලෝකෙටම අණබෙර ගහලා මේ වැඬේට යන්න තාත්තට ඕනෑ වුණේ නැහැ.

තාත්තාට මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ කොහොමද ?

මට මතක විදිහට මම එතකොට හරිම පොඩියි. ඒ කාලේදීත් තාත්තා මේ වගේ උත්සවයකට ගියා. මම හිතන විදිහට ඒ සම්බන්ධතාවය ඒ දිනවල සිටම තිබුණ දෙයක්. තාත්තාගෙන් ඒ ගැන ඇහුවොත් වැඩිදුර විස්තර කියාවි.

දෙවංගි එසේ පවසා තම ආදරණීය පියා වෙත ඒ ප‍්‍රශ්නය යොමු කළාය. ප‍්‍රවීණ නර්තනවේදී චන්දන වික‍්‍රමසිංහ මීට පෙර මාධ්‍යයට නොකී කතාවකට මුලපිරුවේ මෙලෙසිනි.

“වසර ගණනාවකට පෙරදී ඉන්දීය ප‍්‍රකෝටිපති ව්‍යාපාරික චරිතයක් වන අජේ පිරාමල්ගෙ දියණිය වන නන්දනී පිරාමල්ගෙ විවාහ උත්සවයට අපට ආරාධනා ලැබුණා. එදා සිටම ඇති වූ ඒ සම්බන්ධතාවය මත ඉන්දීය ව්‍යාපාරික ප‍්‍රජාවේ විවිධ අවස්ථා සඳහා අපට නර්තන අංග ඉදිරිපත් කිරීමේ අවස්ථා නිරන්තරයෙන්ම ලැබුණා. අපි ඒවාට කලක සිටම දායකවෙමින් සිටිනවා. මේක එහෙම නැතුව අහසින් කඩා වැටුණු දෙයක් නෙවෙයි. වසර ගණනාවකට පෙරදී පිරාමල් පවුලේ ඇරයුම මත අපි එහි ගිහින් ‘එම්පරර්ස් ඔෆ්ද මොන්සුන්’ බැලේ ප‍්‍රසංගය කළා. එය පැවැත්වුණේ මුම්බායි නුවරදී. වසර දොළහකට පෙර ඇති වූ මේ සම්බන්ධතාවයේ ඵලයක් ලෙස ආනන්ද් පිරාමල්ගේ සොයුරිය වන නන්දනී පිරාමල්ගේ මංගල උත්සවයේදී නර්තන අංග ඉදිරිපත් කිරීමට අපට අවස්ථා ලැබුණා. මෙලෙසින් ඉන් පසුවත් ඉන්දීය ප‍්‍රකෝටිපති ව්‍යාපාරික ප‍්‍රජාව හා අපි අතර සබඳතා තිබුණා. මුකේෂ් අම්බානි මහතා හඳුනාගන්න ලැබුණෙත් ඒ අනුවයි. එදා නන්දනී පිරාමල්ගේ මංගල උත්සවයටත් අම්බානි මහතා පැමිණ සිටියා. ඒත් එදා අපි හීනෙකින්වත් හිතුවෙ නැහැ අනාගතයේ දිනෙක අපට මෙවැනි අවස්ථාවක් ලැබේවි කියලා. පසු වසරකදී අන්ඩර් ද ස්ටාර් නමින් ප‍්‍රසංගයක් කළා ‘හරි ප‍්‍රසාද් චෞර්සියා’ පණ්ඩිත් ජසරාජ් සුකන්වීර සිං තමයි ඒ ප‍්‍රසංගයට එදා දායක වුණේ. මේ විදිහට ආ ගමනේ් දී නැවත වතාවක් ඉන්දීය ව්‍යාපාරික ප‍්‍රජාවේ ඇරයුම මත මට තවත් ප‍්‍රසංගයකට ආරාධනා ලැබුණා. ගංගානම් ගඟ ආශි‍්‍රතව වෙළඳාම දියුණු වූ විදිය ආශ‍්‍රිතව නර්තන නිර්මාණයක් කිරීමට. මේ සියල්ලෙහි පිටපත නිර්මාණ කළේ අජේ පිරාමල්ගේ බිරිඳ ස්වාති පිරාමල් වීම තවත් විශේෂත්වයක්. ඉතින් ලොකු කතාවක් කෙටියෙන් කිව්වොත් මේ විදිහට දීර්ඝ කාලයක් තිස්සේ ආ ගමනේ තවත් එක් සුවිශේෂි අවස්ථාවක් තමයි අම්බානි මහතාගේ දියණිය ඊෂා අම්බානිගෙ මංගල උත්සවයේ නර්තන අංග සඳහා අපට ඇරයුම් ලැබීම.”

දෙවංගි මෙහිදී ඔබ සහ කණ්ඩායම ඉදිරිපත් කළ නර්තන අංග ගැන කිව්වොත්?

‘සෙංකඩගල’ නමින් මාතෘකා වූ අංගය තමයි මුලින්ම අපි ඉදිරිපත් කළේ. ඉන්පසු බොලිවුඞ් ජනප‍්‍රිය ගීත සඳහා අංග කීපයක්ම ඉදිරිපත් කළා. අන්තිමට අපේ සුරංගනීට මාළු ගෙනාවා, රාගතාල, රම්බරී ඇතුළු කීපයක එකතුවකට ඩාන්සින් අංගයක් ඉදිරිපත් කළා. මුහුදු අශ්වයන් සහ දිය කිඳුරියෝ ලෙසත් තවත් අංගයක් තාත්තා නිර්මාණය කර තිබුණා.

දෙවංගිට මේ අවස්ථා ගැන හිතෙන්නේ කොහොමද?

ඇත්තටම සුවිශේෂී අවස්ථාවක්. ලෝකයේ අංක එකේ ධනවතකුගෙ සහ නර්තනයට උපන් හපන්කම් ඇති ඉන්දියාවේ එච්චර පිරිස් සිටියදී තාත්තාට ඒ අවස්ථාව ලැබීම අපේ රටටත් ලොකු ගෞරවයක් කියලයි මට දැනෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button