විශේෂාංග

දීගොඩ කුමාරගේ පාන් කා දැඩි සත්කාරයට ගිය සිසුවාගේ කතාව

අත තබා ආශිර්වාද කොට වෘෂණ කෝෂ දෙකක් මවාදුන් දී‍ගොඩ කුමාර පිළිබඳ ලියැවුණ සටහනින් පසුව දෙව් සුව සේවා වැඩසටහනේ බලය ඔප්පු කොට පෙන්වීමට පැමිණෙනවා කියා දුරකථන ඇමැතුම් ගලා එන්නට විය. ඒවා හුදෙක් දුරකථන ඇමැතුම්වලට සීමා වූ නිසා දී‍ගොඩ කුමාරගේ වැඩ ගැන අන්තර්ජාලයට වීඩියෝපට මුදාහරින පිරිස් සොයා යෑමට අපිම තීරණය කළෙමු. එහිදී දීගොඩ කුමාරගෙන් සුවය වෙනුවට ඔහුගේ ඇස්බැන්දුම්වලට හසුවී ජීවිතය අහිමි වීමට ගිය පාසල් ශිෂ්‍යයකු පිළිබඳ පිළියන්දල, පොල්ගස්ඕවිට, පාලගම මාවතින් අනාවරණය විය. කුඩා කාලයේ පටන් පාන්පිටිවලින් සැදූ ආහාර ගැනීමේ දී අසාත්මිකතාවට ලක්වෙන සමුදිත නයනජිත් නම් 17 හැවිරිදි ශිෂ්‍යා මෙම බියකරු අත්දැකීමට මුහුණ දුන්නේය. 2018 ඔක්තෝබර් 17 වැනි දින සමුදිත ඉගෙනුම ලබන පිළියන්දල මැදි මහ විදුහලේ බණ්ඩාරවෙල අමිතානන්ද භික්ෂුව සහ දීගොඩ කුමාර එකතුව විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන වැඩසටහනක් ක්‍රියාත්මක කොට ඇත. මෙහිදී තමන්ට ඇති ඕනෑම ලෙඩක් සුව කරගැනීමට එන්නැයි දීගොඩ කුමාර පාසලේ ගුරු මණ්ඩලයට සහ සිසු සිසුවියන්ට ආරාධනා කළේය.

දීගොඩ කුමාරගේ දෙව් සුව සේවා වැඩසටහනට පෙරාතුව බණ්ඩාරවෙල අමිතානන්ද හිමි විසින් ‘සාරධර්ම’ නම් වැඩසටහන පවත්වා දීගොඩ කුමාරගේ හැකියා පිළිබඳ සහතිකයක් දුන් හෙයින් පාසලේ සමහර ගුරු භවතුන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශ්ව ශක්ති බලය උරගා බැලීමට තීරණය කළහ.

සමුදිතගේ ජීවිතයේ ලොකුම ප්‍රශ්නය කොතරම් ආස වුණත් පාන්පිටිවලින් සැදූ ආහාර රස බැලීමට ඇති නොහැකියාවයි. පාන්පිටි ශරීරගත වූ විට සමුදිතගේ මුළු ශරීරයේම පලු දමයි. දැඩි හුස්ම ගැනීමේ අපහසුතාවත් සමග මුළු ශරීරයම ඉදිමෙයි. අමිතානන්දගේ බණ සහ යහළුවන්ගේ කීම නිසා සමුදිත දේව හාස්කම්වල පිහිට ලබාගනිමි යැයි තීරණයට එළැඹියේය.

පෝලිමේ පැමිණි සියලුම දෙනා මෙන් සමුදිතටද දීගොඩ කුමාර, පපුවට සහ හිසට අත තබා ආශිර්වාද කළේය. සමුදිතට ඇති රෝගයෙන් මේ මොහොතේ පටන් ඔහු සම්පූර්ණ සුවය ලබන බව කී දීගොඩ කුමාර “ඔයාට දැන් මුකුත් ලෙඩ නෑ. ඔක්කොම සනීපයි” කියා කීවේය. එය ඇසුණු දෙව් සුව සේවා කාර්ය මණ්ඩලය සමුදිතට සංග්‍රහ කටයුතු සඳහා ගෙනැවිත් තිබූ පාන් පෙත්තක් කෑමට ලබාදුන්හ.

ටික වේලාවකින් අධික බඩේ කැක්කුමක් සහ හුස්ම ගැනීමේ අපහසුතාවට පත් සිසුවා වහාම පිළියන්දල රෝහලට ඇතුළත් කිරීමට පාසලේ ගුරුවරු කිහිප දෙනෙක් කටයුතු සූදානම් කළහ. නමුත් ගුරුවරුන්ගේ උත්සාහයට බාධා කෙරූ දී‍ගොඩ කුමාර, ​”මේ ළමයට තියෙන්නේ සෙම අමාරුවක්. වෙන ලෙඩක් නෑ” කියමින් යාතිකා කීමට පටන්ගෙන ඇත. යාතිකා කරන්නට යාතිකා කීම වැඩිවන වේගයට සමානව සමුදිතගේ හුස්ම ගැනීමේ අපහසුතාව වැඩි විය. කුඩා කාලයේ පටන් තමා දන්නා තමන්ගේ යාළුවාට වැලඳී ඇත්තේ සෙම් අමාරුවක් නොවන බව වටහාගත් ඔහුගේ පන්තියේ ශිෂ්‍යයන් බලෙන් සමුදිතව එළියට ඔසවා ගෙනැවිත් “මෙයාව ඉක්මනට ඉස්පිරිතාලෙකට ගෙනියන්න ඕන” කියමින් කෑගසන්නට පටන් ගත්හ. තත්ත්වය බරපතළ බව වටහාගත් දෙව් සුව සේවා කාර්ය මණ්ඩලය ඔවුන්ගේම වාහනයකින් සිසුවාව පිළියන්දල රෝහලට ගෙන ගොස් භාරදී ඇත. රෝහලෙන් ලද දුරකථන ඇමැතුමෙන් වහා එහි ගිය දරුවාගේ මව සුජීවා චන්දිමානි ඇති වූ සිද්ධිය මෙලෙස විස්තර කළාය.

“ඉස්පිරිතාලෙන් කෝල් එක ආපු ගමන් මම ගියා ඉස්පිරිතාලෙට. එතැනදි මගේ පුතා හිටපු විදිහට මට ඒක දැක්ක ගමන් කලන්තේ දැම්මා. පුතා තනිකරම ඉදිමිලා තිබ්බේ. ඒ කොච්චරද කියනවා නම් පුතා ඇඳන් හිටපු ඉස්කෝලෙ යුනිෆෝම් එක කපල අයින් කළේ. පුතාගේ ඇඳ වටේට හිටපු දොස්තරලා කලබල වෙලා හිටපු විදිය දැක්කාම මට තේරුණා දරුවට හොඳටම අමාරුයි කියලා. මම කෑගහලා ඇඬුවා මගේ ළමයා බේරලා දෙන්න කියලා.”

සමුදිත එදින මෙවැනි සුව කිරීමේ මෙහෙයක් පාසලේ පැවැත්වෙන බවට දෙමව්පියන් දැනුවත් කොට නොතිබූ අතර ‘සාරධර්ම’ වැඩසටහන පිළිබඳ විනා විශ්ව ශක්ති සුවය බෙදීමක් ගැන පාසලේ සිසුන්වත් ඊට පෙර දැනුවත් කොට නොතිබිණි.

පිළියන්දල රෝහලේ වෛද්‍යවරුන් සමුදිතව සුවපත් කිරීමට දැඩි පරිශ්‍රමයක් දැරුවද රෝගී තත්ත්වය තව තවත් උත්සන්න වීම නිසා රෝගී සමුදිතව වෛද්‍යවරුන් හතර දෙනෙක් සහිත ගිලන් රථයක කළුබෝවිල රෝහලට මාරු කර යැවීමට පිළියන්දල රෝහල විසින් තීරණය කෙරුණි.

“පිළියන්දල ඉස්පිරිතාලෙ දොස්තරවරු ළමයට ගොඩක් අමාරු නිසා පුතාව කළුබෝවිලට මාරු කළා. පුතාව කෙළින්ම ඇතුළත් කළේ දැඩි සත්කාර ඒකකයට” දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ සමුදිත දින දෙකක් එහි ප්‍රතිකාර ලැබීය. තමාගේ දරුවා මුහුණ දුන් අත්දැකීම පිළිබඳව සිද්ධිය සිදුවූ දිනයේදීම සුජීවා චන්දිමානි පිළියන්දල පොලිසියට පැමිණිලි කළාය. පැමිණිලි අංක CIB/03 346/360 පිළිබඳ කිසිදු ප්‍රගතියක් අද වනතෙක් වාර්තා වී නැත. 2018 ඔක්තෝබර් මස 18 වැනි දින පිළියන්දල පොලිසියට පැමිණෙන ලෙස දී‍ගොඩ කුමාරට දැනුම් දී තිබුණද එදින ඔහු පැමිණියේ නැත. ඒ වෙනුවට මෙම සිදුවීමට කිසිදු සම්බන්ධයක් නොමැති දෙව් සුව සේවා සංවිධානයේ සාමාජික පලතුරු ව්‍යාපාරික ප්‍රියන්ත නම් පුද්ගලයා සහ බොරලැස්ගමුව ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයකු සමග පිළියන්දල මැදි මහ විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිනි චන්දිමා පැමිණ, දීගොඩ කුමාරගේ හැකියාවන් සහ පාසලේ පැවති ‘සාරධර්ම’ වැඩසටහන පිළිබඳ පොලිසියට කරුණු ඉදිරිපත් කරන ලදී. පොලිසියෙන් දෙවැනි වර ලද කැඳවීමකට අනුව 2018 ඔක්තෝබර් මස 27 වැනි දින දීගොඩ කුමාර කටඋත්තරයක් ලබාදුන්නද ඔහු කී දේවල් මොනවාද යන්න කවුරුත්ම නොදනී. කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයේ අංක බී.ආර්. 1981/18 දරන නඩුවේ ප්‍රගතිය පිළිබඳ තත්ත්වය සොයා බලා කරුණු කීමට පිළියන්දල පොලිසිය ඉල්ලා සිටි සතියක කාලයද මේ වනවිට ඉක්මවා ගොස් ඇත. මෙවන් ඉන්ද්‍රජාලික බලයක් සහිත බව කියන මිනිසකු පාසලක් තුළට ගෙන්වා ගැනීමට ඇති හැකියාව පිළිබඳව අපි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නිහාල් රණසිංහගෙන් විමසා සිටියෙමු.

“කිසිම රජයේ පාසලක විදුහල්පතිවරයකුට බැහැ පාසලක් ඇතුළේ සුව කිරීමේ මෙහෙයක් සංවිධානය කරන්න. එහෙම තමාට අවසර නැති දෙයක් කරන්න ගිහිල්ලා ශිෂ්‍යයෙක් රෝහල්ගත වෙලා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළා කියන්නේ ඉතාම බරපතළ තත්ත්වයක්. මේ වගේ වගකීම් විරහිත ගුරුවරු සහ විදුහල්පතිවරු පිළිබඳ වහම ක්‍රියාමාර්ග ගන්න ඕන. මේ පිළිබඳ කිසිම පැමිණිලිලක් මට ලැබුණෙ නැහැ. පැමිණිල්ලක් ලැබිලා පැය 24 ක් ඇතුළත අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා”

හෙතෙම කියා සිටියේය.

පාන් පිටි අසාත්මිකතාව සුවකර ගැනීමට දෙව් සුව පැතූ සමුදිතට සුවය දීමට හැකි වූයේ වෛද්‍යවරුන්ගේ අප්‍රමාණ මහන්සියක ප්‍රතිඵලයක් ලෙසය. මේ සිදුවීම පිළිබඳව පිළියන්දල මැදි මහ විදුහලේ විදුහල්පති දර්ශන උඩවත්ත සම්බන්ධ කරගැනීමට දින ගණනක් අප ගත් උත්සාහය ව්‍යර්ථ විය.

ඔහු කියා සිටියේ විදුහල්පතිවරයකුට කිසිදු අයුරකින් රෝග සුව කිරීමේ වැඩසටහන් පාසලක් තුළ ක්‍රියාත්මක කිරීමට නොහැකි බවත්, පැමිණිල්ලක් ලද විගසම මේ පිළිබඳ අවශ්‍ය සියලු පරීක්ෂණ තමා අරඹන බවත්ය.

මේ සා ප්‍රමාණයේ මිනිස් ජීවිත අනතුරේ දමන වැඩ කරන දීගොඩ කුමාර වෙනුවෙන් Youtube වීඩියෝපටවල පෙනී සිටින දෙව් සුව සේවා විද්වත් කමිටුව නම් සංවිධානයේ සාමාජිකයන් කිහිප දෙනකුට ඉතා අපහසුවෙන් සම්බන්ධ කරගැනීමට අපට හැකියාව ලැබුණි. දීගොඩගේ දී කිරට සාක්කි දෙන විද්වත් කමිටුවේ ප්‍රබල සාමාජිකයකු වන ඩෙරික් සමරසේකර නීතිඥවරයා සමග කළ පැය දෙකකට ආසන්න සංවාදය අවසානයේදී ඔහුගේ ප්‍රකාශය වූයේ, “ඔයා අපිත් එක්ක එකතු වෙන්න” කියන ආරාධනාව පමණි.

වෛද්‍යවරුන් විසින් රෝගීන් බවට ප්‍රකාශ කළ කිසිවකුත් දීගොඩ කුමාරගෙන් සුවය ලබා නැති බව ඔහුට කියා සිටියෙමි. එහිදී ඔහුගේ පිළිතුර වූයේ ඔවුන් වෛද්‍යරුන් බව තමා පිළි නොගන්නා බවයි. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය සහිතව රජයේ සහ ප්‍රකට පෞද්ගලික රෝහල්වල සේවය කරන නම් දැරූ වෛද්‍යවරුන්ව පිළිගැනීමට අකැමැති නීතිඥ ඩෙරික් සමරසේකර තම පුතාගේ උණ තත්ත්වය ශරීරයට අත තබා සුවපත් කළ බව කියන දීගොඩ කුමාරගේ දේව බලය පිළිබඳ ප්‍රශ්න නොකරයි.

දීගොඩ කුමාරගෙන් සුව වූ බව කියන ලක්ෂ නවයක පිරිසෙන් ලක්ෂයට එක අනුපාතයට, එනම් නව දෙනෙක් හමුවීමට අවස්ථාව සාදා දීමට ඇති හැකියාව ඔහුගෙන් මම විමසා සිටියෙමි. නම දෙනෙක් නොව නවදහක් වුණත් පුළුවන් බව මුළින් මුලින් කී නීතිඥවරයා පසුව ඒ සඳහා විවිධ කොන්දේසි පනවන්නට විය. ඒ අතරින් විස්මය දනවන කොන්දේසිය නම් දීගොඩ කුමාරගෙන් සුව වූ පිරිස මුණගැසී ඔවුන්ගේ වෛද්‍ය සහතික ලබා ගැනීමේදී ඒවා වෛද්‍යවරුන්ට පෙන්වන බව නොකියා සිටිය යුතු බවයි.

ඔහු කියා සිටින්නේ දීගොඩ කුමාරගෙන් සුව ලබා එය ප්‍රසිද්ධියේ කීමට කැමැති අය අඩු බවයි. දීගොඩ කුමාර නොමිලේ මෙම සේවාව සිදු කරන නිසාවත්, දෙව් සුව සේවා වැඩසටහන සත්‍යයක් බව රටේ මිනිසුන් විශ්වාස කළ යුතු බව ඩෙරික් සමරසේකර කියා සිටියේය. නමුත් එක සඟරාවක් රුපියල් දෙසීය බැගින් සඟරා දොළහක් දීගොඩ කුමාර විසින් අලෙවි කරයි. ඊට අමතරව සීඩී තැටිද අලෙවි කරයි. මේ සඟරා, සීඩී තැටි නිවෙස්වල තිබීමෙන් රෝග සුවවන බව කියා තමන්ගේ සුව මෙහෙයන්වල අලෙවි කිරීමෙන් දීගොඩ කුමාර ලබන ලාභය ඕනෑම කෙනකුට ඉතා පහසුවෙන් නිගමනය කරගත හැක. තමන්ගේම මුද්‍රණාලයක් පවත්වාගෙන යන දීගොඩ කුමාරට මුද්‍රණ ගාස්තුවක්ද නොමැති බව සඳහන් කළ යුතුය.

දෙව් සුව සේවා විද්වත් කමිටුවේ තවත් සාමාජිකයෙක් වන කිත්සිරි රත්නගෙන් දීගොඩ කුමාරගේ බලය සනාථ කළ හැකි ක්‍රමය කුමක්දැයි විමසුවෙමු. එහිදී ඔහු, “මම ඉතින් යාළුවෙක් කිව්ව නිසා ඒ එක සුව කිරීමේ මෙහෙයුමක කීප දෙනෙක් සනීප වෙනවා දැක්කා. ඉතින් මේක හොඳයි කියලා හිතනවා” කියා කීවා පමණි. අපව හමුවීමට එන බව කීවද ඔහුත් නොපැමිණි ​ගොඩටම වැටුණි. මෙම කමිටුවේ සාමාජිකයන් වන වෛද්‍ය හෙයියන්තුඩුව සහ වෛද්‍ය සන්තුෂ සේනාපති පිළිබඳ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය චන්දන අතපත්තුගෙන් අපි විමසීමක් කළෙමු. එහිදී ඔහු “ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන්ට යහපත් හැසිරීම පිළිබඳ මාර්ගෝපදේශය සහ බරපතළ වෘත්තීය විෂමාචාර පිළිබඳ උපදෙස් මාලාවක් තියෙනවා. මේ සඳහන් නියමයන් කඩකොට තියෙනවා නම් ඔවුන්ට විරුද්ධව අපි විනය ක්‍රියාමාර්ග ගන්නවා” යැයි පැවසීය. එමෙන්ම වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලත් කිසිදු වෛද්‍යවරයකුට වෙනත් වෛද්‍ය ක්‍රම මගින් රෝගීන්ට ඖෂධ හෝ වෛද්‍ය උපදෙස් ලබාදිය නොහැකි බව පැවසීය.

මේ නයින් බලන කළ ඉතා පැහැදිලිව සක්සුදක් සේ පෙනෙන සත්‍ය නම් කළුනික සොයා ගත්තද දීගොඩ කුමාරගෙන් සුවය ලැබූ බවට වෛද්‍ය වාර්තා මගින් ඔප්පු වන කිසිවකු මේ මිහිපිටින් සොයාගත නොහැකි බවයි.

දීගොඩ කුමාරගෙන් සුව වූ බව කියන ලක්ෂ නවයක පිරිසෙන් ලක්ෂයට එක අනුපාතයට, එනම් නව දෙනෙක් සොයාගැනීමට නැත.

පාන් පිටි අසාත්මිකතාව සුවකර ගැනීමට දෙව් සුව පැතූ සමුදිතට සුවය දීමට හැකි වූයේ වෛද්‍යවරුන්ගේ අප්‍රමාණ මහන්සියක ප්‍රතිඵලයක් ලෙසය.


කලණ වීරසිංහ
අරුණ පුවත්පත ඇසුරින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button