විදේශීය

5 දෙනෙක්ට මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න දින නියම වෙයි

වසර 16කට පසු මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ඇමෙරිකා එක්සත් ජනපද මධ්‍යම ආණ්ඩුව තීරණය කර ඇති බවත් ඝාතකයන් පස් දෙනකුට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා දින නියම කර ඇති බවත් ඇමෙරිකා එක්සත් ජනපද නීතිපති බිල් බාර් ඊයේ (25) නිවේදනය කළේය.

දරුණු ගණයේ අපරාධ සිදුකරන්නන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙසත් ඔවුන්ට දැඩි දඬුවම් දෙන ලෙසත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා කර ඇති ඉල්ලීම සලකා බලමින් මෙම පියවර ගන්නා බව නීතිපති බිල් බාර් පැවසීය.

මේ අනුව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර කටයුතු බාර ආයතනයට උපදෙස් දුන් බව ද ඇමෙරිකා එක්සත් ජනපද නීතිපතිවරයා පැවසුවේය.

“අධිකරණ දෙපාර්තමේන්තුව නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීමට පියවර ගන්නවා. ඒ වගේම වින්ඳිතයන් සහ ඔවුන්ගේ පවුල් වෙනුවෙන් අපට වගකීමක් තිබෙනවා. අධිකරණ පද්ධතිය තුළින් මරණ දඬුවම පැනවූවා නම් අපි එය ක්‍රියාත්මක කළ යුතු” යැයි බිල් බාර් නිකුත් කළ නිවේදනයේ දැක්විණි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ මධ්‍යම ආණ්ඩුව යටතේ තිබෙන බන්ධනාගාරවල මරණ දඬුවම නියම වූ සිරකරුවන් 60කට ආසන්න පිරිසක් සිටින බව පැවසේ.

2003 වසරෙන් පසු ඇමෙරිකා එක්සත් ජනපද මධ්‍යම ආණ්ඩුව සහ ඒ යටතේ පවතින බන්ධනාගාරවල මරණ දඬුවම නියම වී සිටින කිසිදු සිරකරුවකුට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක වූයේ නැත. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම, භාවිත කරන ඖෂධ යනාදිය සම්බන්ධයෙන් පසුගිය සමයේදී ඇමෙරිකාව තුළ යම් විවාදයක් ද හට ගත්තේය. කෙසේ නමුදු හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ කාලයේදී මරණ දඬුවම සම්බන්ධයෙන් වැඩි කතාබහක් නොවීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button