විශේෂාංග

කතෝලිකයන්ගේ “වහන්සේ පිස්සුව” සහ බල අරගලය

ජේසුගේ (ක්‍රිස්තු) දර්ශනය මූලික කරගෙන නිර්මාණය වුනු කතෝලික ආගම දැන් කතෝලික ආයතනයක් බවට වෙලා තියෙනවා. කතෝලික (Catholic) වචනයේ තේරුම “විශ්වීය” කියන එකයි. කතෝලික දහමේ කතා කරන්නේ විශ්වීය ප්‍රේමයක් ගැන. ඒ දේවල් මූලික කරගෙන ක්‍රිස්තු දර්ශනය කතෝලික ආගම නමින් ව්‍යාප්ත වෙනවා.

ලෝකයේ පවතින ආගම් අතරින් ප්‍රධානම ආගම් කිහිපය කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ බුද්ධිවාදී ආගම් සහ ප්‍රේමවාදී ආගම් විදියට. කතෝලික ආගම අයත් වෙන්නේ මේ ප්‍රේමවාදී ආගම් කියන කොටසට. මොකද කතෝලික ආගමේ මූලික හරය ප්‍රේමය.

මෙන්න මේ ප්‍රේමය මූලික කරගත්තු ආගමක, ප්‍රේමය බල්ලට දාලා බලය බල තන්හාව නිසා කතෝලික දහම පුහු මවාපෑමක්, මුලාවක් බවට දැන් පත්වෙලා තියෙනවා.
ඒ අතරින් පළවෙනිම කාරණාව තමයි ජේසු නමැති චරිතයට වහන්සේ කෑල්ලක් ආරෝපණය කිරීම. ජේසු කියන නමට අමුතුවෙන් ගරු කරන්න අවශ්‍ය නැහැ. මොකද බයිබලයේම සඳහන් වෙනවා නාමයන් අතරින් උසස්ම නාමය තමයි එම්මෑනුවෙල් (ජේසු) කියලා. ඊට අමතරව ප්‍රේමය කියන කෝණයෙන් බැලුවහම ජේසු කියන චරිතයට වහන්සේ කියන්න කොහෙත්ම ඕනේ නැහැ. ජේසු…. එච්චරයි…. ඒ හොඳටම ඇති….

ජේසු කියන්නේ උසස්ම තත්වයේ ඉඳලා මනුස්සයන්ගේ පහලම ලෙවල් එකෙන් මිනිස්සු අතරට ඇවිත් ඒ කාලයේ හිටපු නායකයන්ට, පූජකයන්ට අභියෝග කරලා, අසමානතාවය, අසාධාරණය වෙනුවෙන් කතා කරලා, ඒ කාලයේ දේශපාලනික ආගමික පරිසරය තුල හිර කරලා, මර්ධනය කරලා හිටපු පීඩිත මිනිස්සුන්ගේ මිතුරෙක් වෙලා, පීඩිතයන්ගේ විමුක්තිය වෙනුවෙන් තමන්ව පවා අතහැරපු කෙනෙක්. ඒ නිසා ජේසු කියන්නේ තවත් අභිරහස් දේව සංකල්පයක් නෙමෙයි. සාමාන්‍ය මිනිස්සු අතරට ඇවිත් මිනිස්සුන්ගේ දුක බෙදා ගත්තු හොඳ යාලුවෙක්.

යාලුවෙකුට කවදාවත් අපි ඔබවහන්සේ කියන්නේ නැහැ. කියන්න ඕනෙත් නැහැ. ජේසු කියන්නේ අපි එක්ක ඉන්න කෙනෙක් මිසක්, අපිට ඉහලින් ඉන්න, ඉහල ඉඳන් අපි දිහා බලාගෙන ඉන්න හෝ ඉඳපු කෙනෙක් නෙමෙයි. අන්න ඒ නිසයි ජේසු කියන චරිතයට ඔබවහන්සේ කියන්න ඕනෙම නැත්තේ.

ජේසුට වහන්සේ නොකියනවා නම්, කතෝලික පූජක පක්ෂයටත් වහන්සේ කියන කෑල්ල, අතිගරු, ගරු වගේ කෑලි කොහොමත් අවශ්‍ය නැහැ. අතිගරු ෆ්‍රැන්සිස් පාප් වහන්සේ, අතිගරු කාඩිනල් මැල්කම් රන්ජිත් පියතුමා, ගරු. පියතුමා වගේ බලයට සම්බන්ද වචන එහෙමත් නැත්නම් අනෙකාව පහත් කරන වචන පාවිච්චි කරන්න ඕනෙම නැහැ. අනික කතෝලික සභාව තුල “පූජ්‍ය” පක්ෂයක් නැහැ. තියෙන්නේ “පූජක” පක්ෂයක් විතරයි. තවත් තේරෙන භාෂාවෙන් කිව්වොත් “පූජා” ලබන උදවිය නැහැ. ඉන්නේ “පූජා” වෙන පිරිසක් විතරයි. දැන් මේ ගැටලුව ඇතිවෙලා තියෙන්නේ ලංකාව තුල පවතින අනෙක් දහම් අනුසාරයෙන් “පූජ්‍ය” සංස්කෘතිය හරහා හිතන්නට යාම හින්දයි. ඒ සියලු කාරණාවලින් බැහැරවී සිතුවාම කතෝලික දහමේ එන පූජකයන් සහ ගිහියන්, සම තැනක මෙන්ම නිසි තැනක්ද ලබයි.

ඊළඟ කාරනාව තමයි කතෝලික ආගමේ ප්‍රධාන යාච්ඤාවක් වන “ස්වර්ගයේ වැඩසිටින” යාච්ඤාවේ එන, “ඔබ” කියන වචනය මීට අවුරුදු කිහිපයකට කලින් ශ්‍රී ලංකාවේ සෑම කතෝලික දේවස්ථානයකම එකම කාලයකදී “ඔබවහන්සේ” ලෙස වෙනස් වීමකට ලක්වුනා. නමුත් වෙන කිසිම රටක, කිසිම භාෂාවක ඒ වෙනස් කම ඔවුන්ගේ භාෂා අනුව සිදුවුනේ නැහැ. එතකොට ඇයි අපේ රටේ කතෝලිකයෝ විතරක් එහෙම වුනේ….? ප්‍රධාන යාච්ඤාව තුලින්ම මිනිසුන්ගේ ඔලුවට ඔබවහන්සේ කියන කෑල්ල දැම්මම, කතෝලික පියතුමන්ලා ඇතුළු සමස්ත පූජක පක්ෂයටම ඔබවහන්සේ කියලා කියවා ගන්න ලේසි නිසා. සරලම කාරණාව ඒක…. ජේසු කියන්නේ ඒකාධිපති චරිතයක් බව ආරෝපණය කරලා ඔබවහන්සේ ආමන්ත්‍රණය ජේසු කියන නමට එල්ලලා මේ නටපු නාඩගම ආරම්භ කරපු පූජකවරුන් සහ පුද්ගලයන්ගේ හිතෙත් කොනක තමන්ට ඔබවහන්සේ කියා ආමන්ත්‍රණය කරගැනීමේ බලවත් ආශාවක් තිබුණු බව සහ දැනටත් තියෙන බව ශ්‍රී ලංකාවේ කතෝලික සභාවේ නායකත්වයේ බහුතරයකගේ චරිතය සාක්ෂි දරනවා.

මිනිසෙකු තවත් මිනිසෙකුට ගරු කිරීම කියන සරල කාරණාවෙන් කතෝලික පුද්ගලයෙකු, කතෝලික පූජක පක්ෂයට ගරු කලාට කිසිම වරදක් නැහැ. නමුත් අනවශ්‍ය විදියට වැඳගෙන පුදාගෙන ගරු කල යුතු නැහැ.

කතෝලික බල අරගලය නිසා කලින් සඳහන් කරපු විදියේ ගැටළු බොහෝමයක් ඇතිවෙලා තියෙන බවත් ඉතිහාසය සඳහන් කරනවා. ඒ හරහා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ කාරණාව ලංකාවට පමණක් ආවේනික දෙයක් නෙමෙයි කියන එක. ඒ බල අරගලය නිසා මිනිසුන්ට බොහෝ තාඩන පීඩන පවා එල්ල වුනු අවස්ථා තියෙනවා. නමුත් ඒ කිසිවක් තුල ජේසුගේ ප්‍රේමනීය දර්ශනය නැහැ කියන එක බය නැතිව කියන්න පුළුවන්. මොකද කිතුනුවා කියන්නේ අනෙකාගේ යහපත උදෙසා, අනෙකාට ප්‍රේම කිරීම උදෙසා තමා විසින් තමාව අත්හැරීම තුලින් විමුක්තිය කරා යන පොදු ගමනේ කොටස් කරුවෙක්.

ඉතිං, බල අරගලයට විරුද්ධව සමානාත්මතාවයේ අරගලයක් කරපු, පීඩිතයන් වෙනුවෙන් හඬ නගපු කෙනෙකුගේ විශ්වීය දර්ශනයක්, අද කාලේ කතෝලික පූජක පක්ෂය මිනිසුන්ව මර්ධනය කරලා, පීඩාවට පත් කරන්න තමන්ට ඕනෑ විදියට පාවිච්චි කරන එක ගැන කනගාටුවට කරුණක්.

ක්‍රිස්තියානිකම තියෙන්නේ පුහු ආටෝපයෙන් ගරුත්වය පොරවා ගන්නා මිනිස්සු ළඟ නෙමෙයි. ක්‍රිස්තියානිකම තියෙන්නේ අහස තරම් ඉහලට ගියත් පොළොව තරම් පහත් වන්නට හැකි නිහතමානී මිනිසුන් ළඟ විතරයි. අන්න ඒ නිසා භාෂාවක්, ජාතියක් හෝ තනතුරක් මුල් කරගෙන කිසිවෙකු කිතුණුවෙක් බවට පත් වෙන්නේ නැහැ. උදාහරණයක් විදියට – රෝමානු කතෝලික, orthodox කතෝලික, සිංහල, දෙමළ හෝ වෙනත් කිසිම ජාතියක්, ජම්මයක් මේ කුලකයට අයිති වෙන්නේ නැහැ. කිතුණුවෙක් වෙන්න තියෙන එකම සුදුසුකම නිහතමානීකම විතරමයි.

කතෝලික ‘ආගමෙන්’ බැහැරව ක්‍රිස්තු දර්ශනය තමන්ගේ ජීවිතය තුල ජීවත් කරවන පුද්ගලයා, සෑම විටම නිරාගමික ස්වාධීන පුද්ගලයෙකු ලෙස දකින්නට පුළුවන්.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button