විද්‍යාව

පියයුරු පිළිකා හඳුනාගන්නා තනපටක් නිෂ්පාදනය කරයි

කේරලයේ ආචාර්ය ඒ. සීමා මහත්මිය විසින් කාන්තාවන්ගේ පියයුරු පිළිකා තත්ත්ව හඳුනාගත හැකි තනපටක් නිෂ්පාදනය කර තිබෙනවා. ඒ වෙනුවෙන් ඇය ඉන්දියාවේ කාන්තාවන් විශේෂීකොට පිදුම් ලබන ඉහළම සම්මානය වන නාරි ශක්ති පුරාස්කර් සම්මානයෙන්ද පිදුම් ලබා ඇත.

ඉන්දියාවේ කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍යාංශය විසින් මෙම සම්මානය ඇය වෙත පුද දෙන ලදී. ඊට අමතරව ඇයට ඉන්දීය රුපියල් ලක්ෂයක මුදලක් සහ සහතික පත්‍රයක්ද ප්‍රධානය කරන ලදී. නව දිල්ලියේ පැවති සුවිශේෂ කාන්තා දින සමුළුවකදී ජනාධිපති රාම් නාත් කෝවින්ද් විසින් ඇයට මෙම සම්මානය ලබා දෙන ලදී.

මෙම තනපටයේ ඇති සුවිශේෂ සංවේදක පද්ධතිය මගින් පිළිකා සෛල බිඳීමේදී ඇතිවන උෂ්ණත්වයේ වෙනස හරහා මෙම තත්ත්වය වටහා ගනු ලබයි. මෙම දත්ත බ්ලූටූත් හරහා ස්මාට්ෆෝනයකට ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.

මෙම තනපටක් නිපදවීමට වැයවූ පිරිවැය ඉන්දීය රුපියල් පන්සීයක් පමණ වන අතර එය කර්මාන්ත හරහා නිපදවීමේදී ඉන්දීය රුපියල් දෙසීයකට පමණ නිපදවිය හැකි බව ආචාර්ය සීමා පවසයි. එයට කාන්තාවකගේ පියයුරු පිළිකා තත්ත්වය මිනිත්තු 15 – 30 දක්වා කාලයකදී වටහා ගැනීමේ හැකියාව ඇත.

මලබාර් පිළිකා වෛද්‍ය මධ්‍යස්ථානයේ රෝගීන් 117 දෙනෙකු යොදාගෙන මෙය පර්යේෂනයට බඳුන් කොට ඇති අතර එහි දත්ත මැමොග්‍රම් පරීක්ෂණයේ දත්තවලට සමාන බව පැවසෙයි. කිරණ ඇතුළු නොවීම, පෞද්ගලිකත්වය සහ තමන්ටම විස්තර දැනගත හැකි වීමේ වාසිය මේ හරහා කාන්තාවන්ට උදාවේ. ආචාර්ය සීමා මින් පෙරද ඉන්දීය කාන්තාව වෙනුවෙන් විද්‍යාවෙන් සිදු කළ මෙහෙය උදෙසා සම්මානයට සහ ගෞරවයට පාත්‍ර වූ චරිතයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button