දේශපාලන

අවධානයෙන් සිටින්න…! ගේම්කාරයන් තරග බිමට පැමිණ ඇත

ජනාධිපතිවරණ උත්කර්ෂය දැන් මතුපිටට පැමිණ තිබේ. එක්සත් ජාතික පක්ෂයත්, මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කර ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් අපේක්ෂකයන් පිළිබඳ තරගයක යෙදී සිටියේ ජනාධිපතිවරණය අභිමුවට එන්නට බොහෝ කාලයකට පෙර සිටය. පොදුජන පෙරමුණ තුළ ගෝඨා, බැසිල්, දිනේෂ් වැන්නවුන් අතර තරගයක් ඇති වෙද්දී මහින්ද උත්සාහ කළේ තව දුරටත් තමන්ට හෝ තමාට මධ්‍යගත බලයක් ස්ථාපිත කර ගන්නේ කෙසේ ද කියාය. එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුදය තවමත් අවසන් නැත. තමන් වෙත අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ විවිධ සැලසුම් දියත් කරමින් සිටියි. ඒකාබද්ධ පෙරමුණු යෝජනාවේ සිට සුළු පක්ෂවල අනුමැතිය අපේක්ෂකයා වෙත ලබා ගැනීම දක්වා යෝජනා එන්නේ එම සැලැස්මේ ප්‍රතිඵලයක් වශයෙනි. අනෙක් පසින් සජිත් ප්‍රේමදාස වෙනමම අපේක්ෂක යුද්ධයක් කරමින් සිටියි. පෝස්ටර් ගැසීම්, කටවුට් දැමීම්වල සිට රැස්වීම්, කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සිදු කරන බලපෑම් දක්වා සජිත්ගේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙයි. කරු ජයසූරිය ද පන්සල් පෙරටු කර ගත් තවත් පෙරමුණකින් අපේක්ෂකත්වයට සූදානම් වෙමින් සිටියි. මේ සියල්ල දෙස බැලූ විට තේරුම් ගත හැකි වන්නේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමට මේ දෙපාර්ශ්වයම සැලකිය යුතු මට්ටමකින් ඩීල් සහ ගේම් ගසමින් සිටින බවය. ඒ අතුරින් පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වය ලබා ගැනීමට මේ වන විට ගෝඨා සමත් වී ඇත. එක්සත් ජාතික පක්ෂයේ ගේම තවම අවසන් නැත. මෙසේ පක්ෂ තුළ සිදු වන ගේම් සහ ඩීල් ප්‍රසිද්ධියේ කරළියට පැමිණ තිබිය දී හුදී ජනයා ඒ දෙස දෑස් නිලංකාරව බලා සිටිති. ඒ ඒ අපේක්ෂකයාට හුරේ දමති. ඒ හුරේ දැමිල්ල අතරතුර පසුගිය සියල්ල අමතක කර දමති. මේ කරන්නට යන්නේ එසේ අමතක වෙමින් තිබෙන, එහෙත් මේ දෙපාර්ශ්වයම එක් වී සහ ඔවුන් පක්ෂ හා පුද්ගලයන් ලෙස තනි තනිව සිදු කළ ඩීල් සහ ගේම් කිහිපයක් නැවත මතක් කර දීමය. චිරාත් කාලයක් පුරා වංචාවලට, දූෂණවලට සහ ඩීල්වලට ලංකාවේ දේශපාලකයන් චිරප්‍රසිද්ධියක් උසුලන නිසා ඒ ගැන කතා කිරීම ‘මුල සිට පටන් ගැනීම’ දුෂ්කර කාර්යයකි. එසේම මේ වංචා, දූෂණ සහ ඩීල් දේශපාලනයට වැට බඳින්නේ යැයි කියමින් බලයට පැමිණි වර්තමාන ආණ්ඩුව බලයට පත් වීමෙන් මෙපිට සිදු වූ දේ පමණක් කියන්නට ද මේ ඉඩකඩ ප්‍රමාණවත් නැත. එහෙත්, කොතැනින් හෝ පටන් ගත යුතුය.

බැඳුම්කර කොල්ලය

මේ ආණ්ඩුව බලයට පත් වී නොබෝ දිනකින්ම සිදු කළ මහ බැංකු බැඳුම්කර වංචාව රට පුරාම මහත් ආන්දෝලයක් ඇති කළේය. මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ ඔහුගේ බෑනා වන අර්ජුන් ඇලෝෂියස්, හිටපු මුදල් ඇමති රවී කරුණානායක මීට සම්බන්ධ බව පැහැදිලිව අනාවරණය විය. සියල්ල සිදු වී ඇත්තේ, අගමැති රනිල් වික්‍රමසිංහගේ අනුදැනුම පිටය. එහෙත් මේ වන විට අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවේ ද නැත. අර්ජුන් ඇලෝෂියස් කලක් රක්ෂිත බන්ධනාගාරගතව සිට දැන් එළියට පැමිණ සිටියි. රටට රුපියල් බිලියන 08කට වැඩි පාඩුවක් සිදු කර දැන් වසර හතරකටත් වැඩි කාලයක් ගත වී තිබේ. රවී කරුණානායකට සහ අගමැතිවරයාට කිසිවක් සිදු වූයේ නැත. මුදල් ඇමති ධුරයෙන් ඉල්ලා අස් වූ රවී කරුණානායක දැන් වෙනත් ඇමති ධුරයකය.

‘මහපොළ’ටත් විද්ද බැඳුම්කර කොල්ලකරුවෝ

පර්පචුවල් බැඳුම්කර කොල්ලකරුවන් ‘මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදල’ට ද සුද්දයක් දී, එම මුදල් භාවිත කර විශාල ලාභයක් ලබා ගත් අතර, එමඟින් මහපොළ අරමුදලට හිමි විය යුතුව තිබූ විශාල පොලී මුදලක් අහිමි වී ගියේය. මහපොළ අරමුදලට දුෂිත පර්පචුවල් බැඳුම්කර වංචාව නිසා සිදුව ඇති පාඩුව කොපමණ ද යන්න ගෙවී යන මේ මොහොත වන තෙක් නිශ්චිතව ගණන් බලා නැත. එහෙත්, ආසන්න වශයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේම පවතින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා අරමුදල් හා විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදල් රුපියල් මිලියන 1,000කට වැඩි මුදලක් යොදා ගනිමින් පර්පචුවල් බැඳුම්කර මිල දී ගැනීම නිසා සිදු වූ පාඩුව රුපියල් මිලියන 146කි. මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදල් දූෂිත බැඳුම්කර වංචාව සදහා යොදාගෙන ඇත්තේ ‘ලංකා බැංකුව’ හරහා ද්විතීය මිල දී ගැනීම් සිදු කිරීම මඟිනි. පර්පචුවල් සමාගමටලැබුණු අභ්‍යන්තර තොරතුරු මත සාමාන්‍ය වෙළෙඳපොළ වටිනාකමට අඩුවෙන් මිල දී ගනු ලැබූ බැඳුම්කර, එම සමාගම රජයේ නිලධාරීන්ට විවිධ වරප්‍රසාද, අල්ලස් ලබා දෙමින් ‘රජයේ අරමුදල්වල’ ආයෝජනය කිරීමට පොළඹවා ගෙන ඇත.

යට ගැසූ මිග් යානා ගනුදෙනුව

ගෝඨාභය රාජපක්ෂගේ අනුදැනුම ඇතිව ඔහුගේ මස්සිනා වන උදයංග වීරතුංග විසින් සිදු කරන ලද කුප්‍රකට මිග් යානා ගනුදෙනුව 2007 වසරේ දී මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග විසින් හෙළිදරව් කරන ලදී. එහි ප්‍රතිඵලය වූයේ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගව මහමඟ දී වෙඩි තබා ඝාතනය කිරීමයි. පසුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මේ ගනුදෙනුව 2015දී විමර්ශනය කිරීමට පටන් ගත් පසු, ගනුදෙනුවට සම්බන්ධ ‘බෙලිමිස්ස හෝල්ඩින්ග්ස්’ සමාගම බි්‍රටිෂ් වර්ජින් අයිලන්ඞ් නමැති දූපත් සමූහයේ පිහිටා ඇති හොර සමාගමක් බව සොයා ගනු ලැබීය. මේ අතර, යුක්රේන බලධාරීන් විසින් ද මේ මිග් යානා ගනුදෙනුව ගැන වෙනම පරීක්ෂණයක් දියත් කොට ඇත. එකී පරීක්ෂණවලින් සොයාගෙන ඇති පරිදි ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාව සමඟ යුක්රේන ආණ්ඩුව කිසි ගිවිසුමකට එළඹ නැත. මේ පරීක්ෂණ සිදු වෙමින් තිබිය දී උදයංග වීරතුංග ලංකාවෙන් පැන ගියේය. එහෙත් මිග් යානා ගෙන්වීමේදී සිදුවී ඇති අක්‍රමිකතාවන්ට අදාළව විමර්ශනය කිරීමට අවශ්‍ය ප්‍රධාන ලිපි ලේඛන අතුරුදහන්ව ඇති බව අදාළ නඩුව 2016 අගෝස්තු 09 දින කැඳවූ අවස්ථාවේදී කොටුව මහේස්ත්‍රාත් හමුවේ කරුණු දක්වමින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දෙනු ලැබීය. එසේ අතුරුදහන් වී ඇත්තේ ගනුදෙනු වලට අදාළ ප්‍රමුඛ ලිපි ලේඛන කිහිපයකි. මේ අතර උදයංග වීරතුංග අත් අඩංගුවට ගත් බවද වාර්තා විය. එහෙත් ඉන් පසුව කීවේ උදයංගව ලංකාවට ගෙන ඒමට නීති ප්‍රමාණවත් නැති බවය. කෙසේ වෙතත් මිග් ප්‍රහාරක යානා 4ක් මිලදී ගැනීම සහ තවත් යානා 4ක් සම්බන්ධව අමෙරිකානු ඩොලර් මිලියන 7ක වංචාවක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ පරීක්ෂණවලට අදාළව සැකකරුවකු ලෙස නම් කර මේ වන විට ශ්‍රී ලංකා අධිකරණයෙන් රතු වරෙන්තු නිකුත් කර ඇති උදයංග වීරතුංග පසුගිය අගෝස්තු 02 වන දා ඩුබායිහි පැවැති ‘එළිය’ සම්මන්ත්‍රණයේ දී නැවත කරළියට පැමිණියේය. ඔහු ඩුබායිහි ඉතා නිදහසේ සැරිසරමින් ගෝඨාභය රාජපක්ෂගේ ‘එළිය’ වැඩසටහන සංවිධානය කරමින් සිටින ආකාරය දකින්නට ලැබිණි. මැදගොඩ අභයතිස්ස හිමි සහ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් ද ඊට සහභාගි වී සිටියහ.

නඩුවලින් නිදහස් වීම

මේ ආණ්ඩුව බලයට පත් වූ මුල් කාලයේ වැඩිම අවධානයක් යොමු වූ සිදුවීම් වූයේ අත් අඩංගුවට ගැනීම් සහ නඩු පැවරීම්ය. අත් අඩංගුවට ගැනීම වලක්වමින් අධිකරණ නියෝග ගැනීම ද ඊට සමගාමීව සිදු විය. පිරිසක් රක්ෂිත බන්ධනාගාර ගත වීම ද සිදු විය. පැවරූ නඩුවලින් වරදකරුවන් බවට පත් වූයේ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට පමණි. අධිකරණය මගින් ඔවුන් තෙවසරක සිරදඬුවමකට යටත් කරනු ලැබීය. එහෙත් සති දෙකක් ඇතුළත ඔවුන් දෙදෙනා ද අධිකරණයෙන් ඇප ලබාගෙන නැවතත් එළියට ආහ. අනෙක් නඩු සියල්ලම කල් ඇදෙන ඒවා විය. තාජුඩීන් ඝාතනය පිළිබඳ නඩු විභාගය තවමත් ඉබි ගමනේය. රාඩා මුදල් වංචාව, සිරිලිය මුදල් වංචාව ගැන කතාවක් හෝ නොමැත. ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව තිබූ නඩුවලින් ඔහු නිදහස් වූයේ පැමිණිල්ල හරියාකාරව ගොනු කර නැති නිසාය. රජයට අයත් ලිට්‍රෝ ගෑස් සමාගමේ රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය පරිහරණය කළ බවට හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ පවරා තිබූ නඩුවෙන් ඔවුන් නිදොස් කොට නිදහස් කර තිබේ. ගෝඨාට සහ බැසිල්ට තිබෙන නඩු ද කල් දමමින් තිබේ.

වීරවංශ – ගම්මන්පිල සහ අගමැති

ගෝඨාභය පිලේ පෙරමුණේ සිටින්නන් දෙදෙනකු වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල දේශපාලනයේ ඩීල් ගැන පුන පුනා කතා කරන, තමන් අතිශය සුද්දවන්තයන් සේ පෙන්වීමට උත්සාහ කරන්නන්ය. එහෙත් වීරවංශගේ පාස්පෝට් වංචාව හසු වූ විට අගමැතිවරයා මැදිහත් කරගෙන එය තාවකාලිකව විසඳා ගත් බවත් එසේ කළේ තමන් බවත් ගම්මන්පිල ප්‍රසිද්ධියේම පවසයි. මේ කියන ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් විමල් වීරවංශව අත්අඩංගුවට ගැනුණේ 2015 ඔක්තෝබර් 23 වනදාය. මේ වන විට වසර හතරකට ආසන්න කාලයක් ගත වී ඇතත් නීතිමය ක්‍රියාවලිය ඵලදායී ලෙස අඟලක්වත් ඉදිරියට ගොස් නැත. මෙම නඩුව කැඳවෙන්නේ වසරකට දෙවතාවක් පමණය. එහිදී ද නොයෙක් හේතූන් මත නඩුව කල් යයි. එසේම මෙම නඩුව ගොනු කිරීම ද හැකි උපරිමයෙන් ප්‍රමාද කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කර තිබිණි.

මහින්දගේ ඇමෙරිකන් තානාපති හමුව

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ නම් කිරීමට ආසන්නම මොහොතේ දී මහින්ද රාජපක්ෂ හමුවීමට ඇමෙරිකානු නියෝජිතයන් පැමිණියේ අහම්බයකින් යැයි සිතන අය ලෝකයේ භූ දේශපාලනය නොදන්නෝය. ඇමෙරිකාව තකහනියේ සිය නියෝජිතයන් එවා මහින්දව හමු වන්නේ සිය කලාපීය දේශපාලන අවශ්‍යතාවය නිසාමය. එනිසාම ඇමෙරිකානු තානාපතිනි ඇලයිනා බී ටෙප්ලිස් සමග මහින්ද හමු වූයේ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම හා දකුණු ආසියාව භාර සහකාර ලේකම් ඇලිස් වේල්ස් මෙනෙවියයි. ඉතාමත් කෙටි, එහෙත් බරසාර සාකච්ඡාව නිම වූයේ මහින්දගේ පුළුල් එකඟතාව මත බව මේ වන විටත් හෙළි වී තිබේ. තවමත් ගෝඨාභය ඇමෙරිකානු පුරවැසියෙකි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තැනූ ගෝඨාගේ සොහොයුරු බැසිල් ද තවමත් ඇමෙරිකානු පුරවැසියෙකි. ටික කලකට ඉහත හිටපු ඇමෙරිකානු රාජ්‍ය ලේකම් රොබට් ඕ බ්ලේක් ගෝඨාභයට සුබ පැතීමට සහ අගය කිරීමට ලංකාවට පැමිණීම ද මේ ඇමෙරිකානු දේශපාලනයේම එක් අවස්ථාවකි. ගෝඨා පොදුජන පෙරමුණේ සමුළුවට පැමිණියේ මහින්දගේ ආරාධනයෙනි. සමුළුවේ තිබුණේ කතා දෙකකි. ඒ මහින්දගේ කතාව සහ ගෝඨාගේ කතාව පමණි. මහින්ද දිගු කතාවක් අවසානයේ ටෙලි ප්‍රොම්ප්ටරය දෙස බලමින් ගෝඨාට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිරිනැමීය. ගෝඨා ද අයියා අනුවම යමින් ටෙලි ප්‍රොම්ප්ටරයේ තිබූ කතාව අවසන් කර වේදිකාවෙන් බැස පැමිණ ඩලස් අලහප්පෙරුම වැළඳ ගත්තේය. ඩලස් ද කලකට ඉහත කදමලු බැඳගෙන මෙරට දේශපාලනයෙන් සමුගෙන ඇමෙරිකාවට ම ගිය අයෙකි. කෙසේ වෙතත් මේ උත්සවය අවසානයේ සමස්තය වෙනුවෙන් ස්තූතිය පළ වූයේ එක් අයකුටය. ඒ රත්තරං හෙවත් රෝහිත අබේගුණවර්ධනටය.

අපේක්ෂක ගෝඨා

මේ වන විට එක් අපේක්ෂකයෙකු ලෙස නම් කර සිටින ගෝඨාභය රාජපක්ෂ මේ වන විටත් ඝාතන චෝදනා එල්ල වී සිටින්නෙකි. ඇමෙරිකා එක්සත් ජනපදයේ ද නඩු දහයක් පැවරී තිබේ. සුදු වෑන් භීෂණය රට තුළ නිර්මාණය කරන ලද්දේ ඔහු විසිනි. රට තුළත් ඔහුට නඩු පිට නඩුය. රටේ විනය හදන්නට හදන ගෝඨාභය සිය විනය බිඳ ගනිමින් රාජ්‍ය දේපළ අවභාවිතය සම්බන්ධයෙන් ද නඩුය. සමහරු ඒවාට කියන්නේ දේශපාලන පළිගැනීම් සඳහා දැමූ නඩු බවය. ඒ අයම අධිකරණයත් විශ්වාස නැති බව කියති. පුදුමය වන්නේ අවිශ්වාස අධිකරණයෙන් ගෝඨා නිදහස් වීමය.

සජිත්ගේ පෙරමුණ

සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කිරීම වෙනුවෙන් සැලකිය යුතු කාර්යයක් කරන එජාපයේම පිරිසක් සිටිති. ඒ අතර මංගල සමරවීර, ලක්ෂ්මන් කිරිඇල්ල සහ මලික් සමරවික්‍රම, ප්‍රධානය. මංගල ජනතාවගේ ආර්ථික ගැටලු ඉන්ධන මිල සූත්‍රය මත තබා සිනහ වෙන්නෙකි. එපමණක් ද නොව අපූරුවට සිය දේශපාලන මතය ප්‍රතිවිරෝධතා සමඟ අභිමුඛ වන මොහොතේ දී කොන්දේසි විරහිතව වාසි පැත්තට හුරේ දමන්නෙකි. මංගල සම්බන්ධයෙන් හොඳම උදාහරණය ලැබෙන්නේ මහින්ද රාජපක්ෂ බලයට ගෙන ආ සමයේ දී ය. මංගල එතෙක් පෙනී සිටියේ ජාතිකත්වයන් අතර ප්‍රශ්නයක් ඇති බවත්, ඒවාට විසඳුම බලය බෙදීම බවත් කියමින්ය. එහෙත් චන්ද්‍රිකාගෙන් වෙන්ව මහින්ද සමඟ එක්ව සිට ගත් මොහොතේ දී මංගල ඒ සියල්ල කුණු බක්කියට විසි කළේය. බලය බෙදීම පසෙක තබා මහින්ද අතට බලය කේන්ද්‍රගත කිරීමට පළමු පියවර තැබුවේ මංගලය. රනිල් මිස්ටර් බීන් කෙනෙකු කරමින් සජිත්ගේ තාත්තා වූ රණසිංහ ප්‍රේමදාස සරුවට විවේචනය කරන්නටත් මහින්ද ඔසවා තබන්නටත් මංගල දිවා රෑ වෙහෙසුණ අයෙකි. මහ බැංකුව මහ දවල් මංකොල්ල කද්දී මංගල සිටියේ නිහඬවය. මහින්ද සමග සිටින විට භික්ෂුන්ට වරදාන වරප්‍රසාද දෙන්නට මංගල නොපැකිළිණි. දැන් යළිත් මංගල පන්සල් හදන්නට සජිත්ට සල්ලි පුදමින් සිටියි. ඒ මහා භාණ්ඩාගාරයේසල්ලිය. දූෂණයෙන් තොර රටක් හදන්නට මංගල වලිකන්නේ එසේය. ලක්ෂ්මන් කිරිඇල්ල ද සජිත්ට චාන්ස් එකක් දිය යුතු බව කියමින් සිටියි. මොහු තම දියණිය සිය පෞද්ගලික ලේකම්වරිය කරගනිමින් අධිවේගී මාර්ග වලින් කළ කී දෑ රටම දනිති. මලික් සමරවික්‍රම යනු ජාත්‍යන්තර දේශපාලන ගනුදෙනු සඳහා කප්පිත්තෙකි. හොඳම උදාහරණය සිංගප්පූරු වෙළඳ ගිවිසුමයි. සෝෆා ගිවිසුම, හම්බන්තොට වරාය විකිණීම ආදිය පිටුපස සිටින්නේ ද ඔහුය.

එක්ව දෙන ගේම් සහ වෙන්ව දෙන ගේම්

හොරකම් සහ වංචා කිරීම බලයේ සිටින්නන්ට එක්තරා ආකාරයක ගේම් එකකි. ජන ජීවිතය බලයේ සිටින්නන්ට අනුව කලමණාකරණය කිරීම ද ගේම් එකකි. ඒ සඳහා කරන්නේ කලින් කලට ඔවුන්ට අවශ්‍ය මාතෘකා උත්කර්ෂයට නැගීම පමණි. තමන් බලයට පත් කළ පක්ෂයේ නායකයන් තමන් වෙනුවෙන් පෙනී සිටින්නේ යයි සිතා සිටින්නේ ජනතාව පමණකි. සියල්ල තුළ ඇත්තේ ගේම්ය. ඩීල්ය. ඔවුන් බෙදී වෙන් වන්නේ බලය ලබා ගැනීම සඳහා පමණි. රනිල් – සජිත් පෙරමුණත් පොහොට්ටු පෙරමුණත් දැන් බෙදී සිටින්නේ බලය වෙනුවෙනි.


චතුර දිසානායක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button