දේශීය

වඳ වූවා යයි සිතූ, ශ්‍රී ලංකාවේ කළු කොටියා නැවත හමුවෙයි

ලෝකයේ ජීවත්වන කොටි වර්ග 8 ක් අතුරින් ශ්‍රී ලංකාවේ කොටියා නැමති උපවිශේෂය සුවිශේෂී වන්නේ ඔවුන්ගේ ඉතාමත් සීමිත ගහණය හේතුවෙනි.මෙතෙක් කල් වඳවී ගොස් ඇති බවට විශ්වාස කළ කළු කොටියා සැලෙකෙන්නේ ශ්‍රී ලංකාවේ කොටියා නැමති උපවිශේෂයේ වර්ණ ප්‍රභේදයක් (ජාන විකෘති තාවක් නිසා ඇතිවුණු ප්‍රභේදයක්) ලෙසයි.

අවසන් කළු කොටියා ලෙස මීට පෙර තොරතුරු සටහන්ව තිබුනේ පිටදෙණිය, මාවුල්දෙණිය ප්‍රදේශය ආශ්‍රිතව උගුලකට හසුව මිය ගොස් තිබූ සත්ත්වයෙක් ය. ඒ අනුව එම සත්ත්වයාගේ හම යොදාගෙන ගිරිතලේ වනජීවි කෞතුකාගාරයේ නිර්මාණය කළ අනුරුව ශ්‍රී ලංකාවේ කළු කොටියාගේ අවසන් සාක්ෂිය ලෙස සැලකුණි.

නමුත් වනජීවි දෙපාර්තමේන්තුව දීපව්‍යාප්තව සිදු කරන ශ්‍රී ලංකාවේ කොටි පිළිබඳ ගවේෂණය එම ඉතිහාසය වෙනස් කිරීමට සමත්වුනේ ජීවමාන සාක්ෂියක් සපයමිනි. කළු කොටි ගැවසෙන බවට තොරතුරු ලැබුණු ස්ථාන කිහිපයක වනජීවි දෙපාර්තමේන්තුව දුරස්ථ චලන සංවේදී කැමරා සවිකළ අතර ඉන් එක් ස්ථානය පමණක් පසුගිය ඔක්තෝබර් මස 26 වෙනි දා මේ අපුරු සාක්ෂිය සටහන් වී තිබුනේය.

ඒ පසු පස හඹා ගිය වනජීවි දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ කළු කොටියා තවමත් ඉතිහාසයට පමණක් සීමා නොවන බවට තහවුරු කරගත්තේ දර්ශන කිහිපයක්ම තම කැමරාවල සටහන් කර ගනිමිනි. ඒ අනුව මෙම කළු කොටියාගේ සීමාවේ ශ්‍රී ලංකාවේ කොටි උපවිශේෂයට අයත් ගැහැණු සත්ත්වයෙකු පැටවුන් දෙදෙනෙකු හා තව ත් පිරිමි සත්ත්වෙයකු ද සිටින බවට අනාවරණය වී ඇත.

වනජීවි දෙපාර්තමේන්වේ වෛද්‍ය මාලක අබේවර්ධන, වෛද්‍ය මනෝජ් අකලංක යන මහත්වරුන්ගේ මුලිකත්වයෙන් සිදු කළ මෙම ගවේෂණය සඳහා තාක්ෂණික සහ ලබාදුන්නේ ට්‍රොපිකල් එකෝ සිස්ටම් රිස්ච් නෙට්වර්වර්ක් සංවිධානයයි.


සැලකිය යුතුයි – ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාවෙන් හමු වූ කළු කොටියා නොවේ. ශ්‍රී ලංකාවෙන් හමු වූ කළු කොටියා පහත වීඩියෝ දර්ශනයේ දැකගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button