දේශපාලන

ඇමතිවරු බහුතරයකටම පිස්තෝලවලට ලයිසන් නැහැ

ආරක්‍ෂක අමාත්‍යාංශය නිකුත් කර ඇති පිස්තෝල භාවිත කරන ප්‍රභූන් රැසක්ම 2020 වර්ෂය සඳහා තම බලපත්‍රය අලුත් කර නොමැති බව අනාවරණය වෙනවා.

බලපත්‍රය අලුත් නොකිරීමේ චෝදනා මත පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් සොයාබැලීමේදී මෙම කරුණු හෙළි වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රභූන් වෙනුවෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය පිස්තෝල බලපත්‍රය නිකුත් කරන අතර, ඒවා වාර්ෂිකව අලුත් කරගත යුතුව තිබෙනවා.

කිසිවෙකු විසින් බලපත්‍රයක් නොමැතිව තමා භාරයෙහි කිසිම තුවක්කුවක් තබා නොගත යුතු බව ප්‍රභූවරුන්ට පිස්තෝල බලපත්‍ර ලබාදීමේදී ඒ සඳහා ලබාදෙන උපදෙස් පත්‍රිකාවේ පළමු වගන්තියේ සඳහන් වෙනවා.

එහි දෙවැනි වගන්තිය තුළ බලපත්‍ර අලුත් කිරීම සම්බන්ධයෙන් දක්වා තිබෙනවා. ඒ අනුව, බලපත්‍රය එක් එක් අවුරුද්දේ දෙසැම්ර්බර් මස 31 වැනි දිනට කලින් අලුත් කරවාගත යුතුයි.

ඊට පසු බලපත්‍රය අලුත් කරගන්නා විට නඩු පවරනු ලැබීම වෙනුවට බලපත්‍ර ගාස්තුවට සමාන වන මුදලක් දඩයක් ලෙස අය කරනු ලබනවා.

බලපත්‍රය අලුත් කරගන්නා විට උවමනා වුවහොත් පරීක්‍ෂා කිරීම පිණිස තුවක්තුවද ඉදිරිපත් කළ යුතුය යනුවෙන් සඳහන් වෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා රජය මගින් නිතුත් කර ඇති පිස්තෝල (තුවක්කු) බලපත්‍ර මේ වර්ෂය සඳහා අලුත් කිරීම සම්බන්ධයෙන් කළ විමසීමේදී අනාවරණය වූයේ, පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම මේ වර්ෂය සඳහා මෙතෙක් බලපත්‍රය අලුත් කර නොමැති බවයි.

එමෙන්ම බලපත්‍රය අලුත් නොකිරීමේ වරදකට මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමේ සිදුවීමක් මීට පෙර අසා නොමැති බවද මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් සඳහන් කළා.

තුවක්කු ආඥා පනතට අනුව වලංගු බලපත්‍රයක් නොමැතිව ගිනි අවියක් ළඟ තබාගැනීම දඬුවම් ලැබිය හැකි වරදකි.

තුවක්කු ආඥා පනතේ 22(2) උ) වගන්තියට අනුව යම් තැතැත්තෙකු සතුව ඇති ගිනි අවියට නිකුත්කර ඇති බලපත්‍රයේ වලංගුභාවට අහෝසි වී දින දහයක කාලසීමාවක් තුළ පමණක් එම ගිනි අවිය තම සන්තකයේ තබාගත හැකියි.

ඉන්පසුව එම අවිය ඔහු සන්තකයේ තබාගත නොහැකි අතර, තවදුරටත් තබාගන්නේ නම් පළමු වතාවට එම වරද කළහොත් රුපියල් දසදහසක් නොඉක්මවන දඩයකට හෝ අවුරුදු පහක් නොඉක්මවන කාලයක් බරපතළ වැඩ ඇතිව බන්ධනාගාරගත කිරීම හෝ එම දඩය හා බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකටම යටත් වන බවද දක්වා තිබෙනවා.

එම වරද දෙවැනි වරට හෝ ඉන්පසුව කළ විට අවුරුදු දහයකට නොඅඩු හා අවුරුදු විස්සක් නොඉක්මවන කාලයක් බරපතල වැඩ ඇතිව බන්ධනාගාරගත කරනු ලැබීමට යටත් වන බවද දක්වා තිබෙනවා.

එමෙන්ම ස්වයංක්‍රීය තුවක්කුවක් හෝ රිපීටර් තුවක්කුවක් භාරයේ හෝ ළඟ තබාගැනීම හෝ භාවිත කිරීමෙන් වරදකරු වුවහොත් ජීවිතාන්තය දක්වා බන්ධනාගාරගත කර දඬුවම් කළ යුතු බවද එහි සඳහන් වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button