විශේෂාංග

පිළිකා මාරයා පැරදූ සුන්දරිය

බැලූ බැල්මට අතිශය සුරූපී රූ සපුවකින් හෙබි දකුණු කොරියානු ජාතික ඩෝන් ලී ජනප්‍රිය නිළියක හෝ නිරූපිකාවක නොවේ. ඩෝන් දකුණු කොරියාවේ ජනප්‍රිය YouTube vlogger කෙනෙකි. නිරූපණ හා රූපලාවණ්‍ය කටයුතු පිළිබඳව ඇය විසින් ඉදිරිපත් කරනා වීඩියෝවන් දකුණු කොරියාවේ පමණක් නොව ලොව පුරාම අතිශයින්ම ජනප්‍රිය විය. වසර 20014 දී පටන්ගත් ඇයගේ YouTube චැනලයට ලොව පුරා subscribersලා මිලියන 6කට අධික ප්‍රමාණයක් සිටිති.

එහෙත් පසුගිය පෙබරවාරියේ ඩෝන්ගේ සාර්ථක ජීවිතයට කනකොකා හඬන්නට පටන් ගත්තේය. නොනවත්වා හටගත් කැස්සක් හේතුවෙන් රෝහල් ගතවූ ඩෝන් lymphoma වර්ගයේ ලේ පිළිකාවකට ගොදුරු වී ඇති බව වෛද්‍යවරුන්ගේ නිගමනය විය.

මේ අවාසනාවන්ත සිදුවීමට කෙසේ හෝ මුහුණ දීමට ඉටා ගත් ඩෝන් පිළිකාව සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගත් අතර එය තම කටයුතු වලට බාධාවක් කර නොගත්තාය. තමා පිළිකාවකින් පීඩා විඳින බව ඈ වීඩියෝවක් හරහා ලොවට දැනුම් දුන් අතර රූපලාවණ්‍ය කටයුතු වලට අමතරව පිළිකාව නිසා තමා ලද අත්දැකීම් සිය YouTube චැනලය හරහා ඉදිරිපත් කරන්නට විය. මේ වන විටත් කිමෝතෙරපි ප්‍රතිකාර ගන්නා ආකාරය සහ ඉන් තම රූ සපුව වෙනස් වන ආකාරය පිළිබඳව වීඩියෝ කිහිපයක්ම ඩෝන් විසින් ඇගේ චැනලයට මුදා හැර තිබේ. කිමෝතෙරපි ප්‍රතිකාරය නිසා සිය සුන්දර කෙස් කළඹ අහිමි වීම හේතුවන් ඇය සම්පූර්ණයෙන්ම හිස බූ ගෑ අතර එම වීඩියෝවට ලොව පුරා ඇගේ රසිකයන්ගෙන් මිලියන 4ක views ලැබී තිබුණි. එසේම ලොව නන්දෙසින් ගලා ආ දිරිමත් කිරීම් නිසා තමා වඩාත් ශක්තිමත් වූ බව ඩෝන් පැවසුවාය.

29 හැවිරිදි ඩෝන් ලී උසස් අධ්‍යාපනය ලබා සිය සහෝදරිය සමග සෝල් අගනුවර වාසය කරන අතර ඇගේ මවුපියන් බූසාන් හි වාසය කළහ. නමුත් ඩෝන් පිළිකාවට ගොදුරු වූ වහාම ඔවුහු සෝල් නුවරට පැමිණියහ. ඩෝන් ගේ පෙම්වතා මේ අසීරු කාළයේදී ඈ ළඟින්ම හිඳ තව තවත් ඇයව දිරිමත් කළාය. කිමෝතෙරපි ලබන කාලය තුළදී ඔහු ඇගේ ඇඳ ඇතිරිළි කළු පැහැයට වෙනස් කළ බවත් ඔහු එසේ කළේ කිමෝ ප්‍රතිකාර හේතුවෙන් ඉවත්වන හිස කෙස් තමාට නොපෙනෙන නිසා බවත් ඈ පැවසුවාය.

රූපලාවණ්‍ය කටයුතුවලට අමතරව මේ වන විට ඇය කිමෝතෙරපි ප්‍රතිකාරය පිළිබඳව අත්දැකීම් කිහිප වරක්ම වීඩියෝ මගින් ඉදිරිපත් කර තිබේ. ඒ හරහා පිළිකා නිසා ලොව පුරා පීඩා විඳින කාන්තාවන්ටත්, තම රූ සපුව මනා ලෙස පවත්වා ගැනීමටට උත්සාහ කරනා අනෙකුත් කාන්තාවන්ටත් ශක්තියක් වීමට ඩෝන් බලාපොරොත්තු වෙයි.


කසුන් නදීර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button