දේශපාලන

අස්ගිරි විහාරයේ සහාය ගෝඨාට

මෙය එළිපිට සහයක් නොවන අතර වක්‍රාකාර සහායකි

ජන සංහාරයක් සිදු කළ හිට්ලර්ගේ මග ගොස් හෝ රට ආරක්ෂ කරන ලෙස ඉල්ලා සිටි අස්ගිරි මහා විහාරය ජාතික ආරක්ෂාව සිය සටන් පාඨය කරගත් ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් වක්‍ර අනුග්‍රයක් දක්වා තිබේ.

අස්ගිරි අනුනාහිමියන් ඡන්දදායකයන්ගෙන් ඉල්ලා ඇත්තේ ජාතියට ආරක්ෂාව දිය හැකි “රජෙක්” වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන ලෙසයි.

“ජාතිය රැකෙන්න රටට හොඳ ආරක්ෂාවක් තිබිය යුතුයි. ඒ නිසා තමයි රටවැසියා රජවෙන දවසේ රටට ආරක්ෂාවක් දිය හැකි කෙනෙක් පත්කරගන්න ඔළුව පාවිච්චි කරන්න කිව්වේ…”

අස්ගිරි පාර්ශවයේ අනුනායක, පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති වෙඩරුවේ උපාලි හිමියෝ අස්ගිරිය ගෙඩිගේ රජමහ විහාරයේදී පැවැති ආගමික වතාවත්වලට සහභාගීවෙමින් මෙසේ පවසා සිටියේය.

පාස්කු ප්‍රහාරයෙන් පසුත් ආරක්ෂාව නුදුන් බවට වර්තමාන ආණ්ඩුව එහිමිගේ දෝෂ දර්ශනයට ලක්විය.

“පාස්කු ප්‍රහාරයෙන් පසුව සහරාන්ලා වැනි කණ්ඩායම් පැමිණෙතැයි කියා පන්සල්වල ගේට්ටු වැසුවා. මුර දැම්මා. මේක හැමදාම කරගෙන ඉන්න බැරි නිසා අපිම පන්සලේ ගේට්ටු ඇරියා. නමුත්, සහරාන්ලා ආපහු එන්නේ නැහැ, ඒ නිසා පන්සල්වල ගේට්ටු අරින්න කියලා අපිට කවුරුවත් සහතිකයක් දුන්නේ නැහැ.”

ඉදිරි ජනාධිපතිවරයා වීමේ අපේක්ෂාවෙන් තරග වැදී සිටින සිංහල අපේක්ෂයන්ට සහාය දීම සඳහා දෙමළ දේශපාලන පක්ෂ හා උතුරේ සිවිල් සංවිධාන විසින් ඉදිරිපත් ලද ඉල්ලීම් මාලාව එහිමි හඳුන්වනු ලැබුවේ රට බෙදන යෝජනාවලියක් ලෙසයි.

වාර්තාගත දැවැන්තම මනුෂ්‍ය ඝාතනය කළ ඇඩොල්ෆ් හිට්ලර්ගේ මඟ ගොස් මිලිටරි පාලනයක් ඔස්සේ හෝ රටේ පාලනය ලබා ගන්න ලෙස ගෝඨාභය රාජපක්ෂ හට අරාධනා කර ලද්දේ ද වෙඩරුවේ උපාලි හිමියන් විසිනි.

“ඔබතුමා ගැන සඳහන් කරනකොට ඔබතුමා හිට්ලර් හැටියටත් හඳුන්වලා තිබුණා. ඉතින් අපි මතක් කරනවා හිට්ලර් කෙනෙක් වෙලා හරි මේ රට හදන්න කියන එක තමයි මහා සංඝ රත්නය අවසාන වශයෙන් මතක් කරන්නෙ. ඔබතුමා මිලිටරි පාලනයක් හරි ඇවිල්ලා මේක හදන්න කියලා නැවත මතක් කරනවා.”

යැයි අස්ගිරි පාර්ශවයේ අනු නායක හිමි අනුශාසනා කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button