දේශීය

යුධ හමුදාපතිට එරෙහිව නඩු දාන්න පුළුවන්

වත්මන් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ රූපය හා අදහස් දැක්වීමක් යොදාගනිමින් පුවත්පත් කිහිපයක පළ කොට තිබෙන දැන්වීම පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදුකොට කරුණු සොයා බලන්නැයි ජනාධිපතිවරයාගෙන් හා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මෙහෙයුම් කළමනාකාරවරයකු වන තිස්ස අත්තනායක ප්‍රකාශ කළේය. මෙය හමුදාපතිවරයාගේ දැනුවත්භාවයකින් සිදු වී තිබේ නම් එය බරපතල විනය විරෝධී ක්‍රියාවකි. රාජ්‍ය සේවා නීතිරීති අනුව ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වා සේවයෙන් පහ කළ හැකි ය.

එය ඔහු දැනුවත්ව සිදු කර නොමැති නම්, එම දැන්වීම ම බරපතල මැතිවරණ නීති උල්ලංඝනය කිරීමකි. එය පළ කළ අයට එරෙහිව කටයුතු කළ හැකි ය.

රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරි හා වෘත්තීය චර්යාව පාලනය කරනු ලබන, දිගු කලක් තිස්සේ සංවර්ධනය වී භාවිතා වන මූලික ලේඛනයක් වන්නේ ආයතන සංග්‍රහයයි. එහි 32 පරිච්ඡේදයෙහි දේශපාලන අයිතිවාසිකම් භුක්තිවිඳීම යටතේ මෙසේ දැක්වේ.

පහත සඳහන් අයට දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳීමට හිමිකමක් නැත: අධිකරණ නිලධාරියකු, සන්නද්ධ සේවාවල නිලධාරියකු, පොලිස් හමුදා නිලධාරියෙකු සහ අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය යටතේ පොලිස් කටුතු ඉටුකරන සාම නිලධාරියකු, (උදා: ග්‍රාම නිලධාරීන්), (138 වැනි අධිකාරිය වන) වෘත්තීය සමිති ආඥා පනතේ 20 වැනි වගන්තියේ විග්‍රහ කර ඇති පරිදි බන්ධනාගාර නිලධාරියකු, රජයේ සේවයේ නියුක්ත මාණ්ඩලික හෝ අධීක්ෂණ නිලධාරියකු, මැතිවරණ කටුතු පිළිබඳ දෙපාර්තඡම්න්තුවේ (පාර්ලිමේන්තු, පළාත් පාලන ආදී) සේවයේ නියුතු නිලධාරියකු, එහි සේවය කරන තාක් කල්,

ආයතන සංග්‍රහයේ වැඩිදුරටත් මෙසේ දැක්වේ.

ජනාධිපති තේරීමක දී, පාර්ලිමේන්තු මැතිවරණයක දී, ජනමත විමසුමක දී, පළාත් සභා මැතිවරණයක දී හෝ පළාත් පාලන මැතිවරණයක දී ඡන්දය දීම හැර වෙනත් කිසිදු ආකාරයක දේශපාලන කටයුත්තක යෙදීම සහ විශේෂයෙන් ම පහත සඳහන් කවර ක්‍රියාවක් වුව ද කිරීම ඡේශපාලන අයිතිවාසිකම් අහිමි නිලධාරියෙකුට තහනම් වේ. මීට පටහැනිව ක්‍රියා කිරීම සේවයෙන් පහකිරීමේ දඬුවමට භාජනය විය යුතු වරදකි.

එහි දැක්වෙන වරද මෙසේ ය: මැතිවරණයකට සහභාගිවීම, මැතිවරණයකට ඉදිරිපත් වන ඡන්දාපේක්ෂකයකුට මොනයම් ආකාරයකින් හෝ ආධාර කිරීම, මැතිවරණයක් සඳහා තමන් නම් කරගනු ලැබීමට කවර පියවරක් හෝ ගැනීම.

එවැනි නිලධාරීන්ට දේශපාලනය කිරීමට අවශ්‍ය නම් එය කළ යුතු නියම ආකාරය ද ආයතන සංග්‍රහයේ දැක්වේ.

එම නිලධරයන් තම ඡන්ද අඡේක්ෂකත්වය තහවුරු කරගැනීම සඳහා හෝ එවැනි මැතිවරණයක දී තමාට අවාසි ද, නැද්ද යන වග පරීක්ෂා කර බැලීම සඳහා හෝ ප්‍රාරම්භක කටුතු කිරීමට අදහස් කරන්නේ නම් ඔහු එම කටයුතු කිසිවක් කිරීමට හෝ අන් අයකු ලවා කරවා ගැනීමට අනුමත කිරීමට හෝ පෙර, රාජ්‍ය සේවයේ තමා දරන තනතුරෙන් ඉල්ලා අස්විය යුතු ය. එසේ වුවද, අවුරුදු 10ක් හෝ ඊට වැඩි සේවා කාලයක් ඇති එවැනි නිලධරයකුට ජනාධිපති, පාර්ලිමේන්තු, පළාත් සභා හෝ පළාත් පාලන මැතිවරණයක දී අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් වන්නේ නම්, නාම යෝජනා භාරදෙන දිනට යටත් පිරිසෙයින් දින 10කට කලින් පත්කිරීම් බලධරයා වෙත දන්වා මැතිවරණයට නාම යෝජනා භාරදීමට දින 07කට පෙර සිට තමා දරන තනතුරෙන් විශ්‍රාම ගතහැකි ය. එසේ විශ්‍රාම ගැනීමට නම් ඔහු විසින් රජයට අයවිය යුතු සියලුම ගෙවීම් නිරවුල් කළ යුතු අතර, ගිවිසුම්ගත අනිවාර්ය සේවා කාලයක් තුළ නම් ඒ සඳහා ගිවිසුම්ගත මුදල් ගෙවා ගිවිසුමෙන් නිදහස් විය යුතු ය. එවැනි විශ්‍රාම යන අයෙකුට ඔහුට වයස අවුරුදු 55 පිරෙන දිනයේ සිට විශ්‍රාම වැටුප හා පාරිතෝෂිකය හිමි වනු ඇත.


අජිත් පැරකුම් ජයසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button