දේශීය

“බඩේ පැටව් එක්කම අලි අමිමලව මරන්න – මේක ‍‍මොනවගේ මිනිස්සු ඉන්න රටක්ද…?”

මරා දමා ඇති ඇතින්නියන් හත්දෙනෙකුගේ මළ සිරුරු හමුවෙයි

හබරන හිරිවඩුන්න තුන්ඹිකුලම රක්ෂිතයේ තිබී ඊයේ (28) දහවල් වනවිට තවත් මියගිය ඇතින්නියන් තිදෙනෙකුගේ මළසිරුරු හමු වූ බව වනජීවී නිලධාරීහු පැවසූහ ඒ අනුව මේ වන විට මිය ගිය ඇතින්නියන් 7 දෙනෙකුගේ මළ සිරුරු සොයා ගැනීමට හැකි වූ බව වනජීවී නිලධාරීහු වැඩිදුරටත් සඳහන් කරති.

පසුගියදා (27) වනවිට වන අලින් 4 දෙනෙකුගේ මළ සිරුරු සොයාගත් අතර ඊයේ (28) අලුයම එක ඇතින්නියකගේ මළසිරුරක් සොයාගත් අතර එම ඇතින්නිය ආසන්නයේ වයස අවුරුදු 4ක පමණ කුඩා පැටවකු රැඳී සිටීම විශේෂත්වයකි. මෙම කුඩා අලි පැටවා තම මව මියගිය බව නොදැන, මව අසලට වී රැඳී සිටින ආකාරයත්, එමෙන්ම කිසිවකුටත් එම ස්ථානයට ළංවීමට ඉඩ නොදී මව බලා ගන්නා ආකාරය ද බොහෝ දෙනෙකුගේ සංවේදී දර්ශනයක් බවට පත්විය. එමෙන්ම මෙම කුඩා අලි පැටවා සිය මියගිය මවගේ මුඛයට සහ සිරුරට ස්පර්ශ කරමින් නැගිට්ටවීම සඳහා උත්සාහ කරන අයුරුද දැක ගැනීමට හැකිවිණි.මියගිය වන අලින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු වනජීවී පශු වෛද්‍ය නිලධාරීන් පැමිණ සිදුකරන ලදී. කුඩා අලි පැටවා පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට ඉඩ නොදෙන නිසා එම වන අලි පැටවා නිර්වින්දනය කොට වෙනත් ස්ථානයකට පළවාහැර පරීක්ෂණ කටයුතු කිරීමට වනජීවී නිලධාරීහු ක්‍රියා කළහ.

සීගිරිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් යුද හමුදාව හබරණ පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව තවදුරටත් මළසිරුරු ඇත්දැයි සොයා සිදුකරන මෙහෙයුම් ඊයේ පෙරවරුවේ ආරම්භ විය. මෙම මෙහෙයුමේ දී යුධ හමුදා නිලධාරීන් කණ්ඩායමට සහ ප්‍රදේශවාසීන් කණ්ඩායමකට රක්ෂිතය තුල තිබී ඒ ආකාරයෙන් තවත් ඇතින්නියන් දෙදෙනෙකුගේ මළ සිරුරු හමු වූ බව වනජීවී නිලධාරීහු පැවසූහ. දැනට හමුවූ මළසිරුරු 7ම ගැහැණු සතුන්ගේ වීම විශේෂත්වයකි. එමෙන්ම මෙම සතුන් ගැබ්බරව සහ කුඩා පැටවුන් සහිත මව්වරුන් බව වනජීවී නිලධාරිහු කියති. මියගිය වන අලින් නැරඹීම සඳහා දෙස් විදෙස් ජනතාව විශාල වශයෙන් හබරණ රක්ෂිත ප්‍රදේශයට පැමිණ සිටි අයුරුද එහි ගිය අපට දැක ගැනීමට හැකියාව ලැබිණි. කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් ජනතාව ලොකු කුඩා සියලු දෙනාම කියා සිටියේ වන අලින් ඝාතනය වීම පිළිබඳව දැඩි කම්පනයකට පත්ව සිටින බවය.

දිවයිනේ සෑම වසරකම අලි 200 කට ආසන්න සංඛ්‍යාවක් මරා දමනු ලැබේ.
නවතම සංගණනයට අනුව ශ්‍රී ලංකාවේ අලි ගහණය 7,000 කට වඩා අඩුවී ඇති අතර, එය පසුගිය සියවස ආරම්භයේදී ඇස්තමේන්තුගත 12,000ට වඩා බොහෝ අඩු ය.


කාංචන කුමාර ආරියදාස
දඹුල්ල


අම්මාවරු හතක් වසදී මැරුවාට
සාප වෙයන් හෙණ ගහපන් උඹලාට
නොමරා උඹව මව්කිරි දී හැදුවාට
වහ දීපං උඹ උඹගේ අම්මාට

– රජී වෙල්ගම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button