විශේෂාංග

පුද්ගලික මාධ්‍ය ජනපති මැතිවරණ පණතෙන් නිදහස්ද?

අදහස් දැරීමේ අයිතිය, අදහස් ප්‍රකාශනයේ සහ භාෂණයේ අයිතිය, මතයක් දැරීමේ අයිතිය, සමාගමයේ නිදහස සියල්ල ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් ස්ථාපිත කොට ඇති අයිතිවාසිකම් වේ. ඒ අනුව ඕනෑම පුරවැසියෙකුට හෝ ආයතනයකට තමන් කැමැති අදහසක් දැරීමට, ප්‍රකාශ කිරීමට අයිතියක් හිමිව ඇත. එසේම සෑම පුරවැසියෙකුටම නීතියේ රැකවරණය ද සර්ව සාධාරණයෙන් ක්‍රියාත්මක විය යුතු බවට ද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇත.

ශ්‍රී ලාංකික මැතිවරණ ඉතිහාසයේ මාධ්‍ය පාලනය සඳහා අදාල මාධ්‍ය ප්‍රධානීන් ඉවත් කොට නිසි බලධරයෙකු පත්කල අවස්ථා ඕනෑ තරම් ඇත. එය එසේ සිදු කර ඇත්තේ මාධ්‍ය භාවිතය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සහ අනෙකුත් මැතිවරණ නීති ප්‍රකාරව සර්ව සාධාරණ නොවූ අවස්ථාවල මැතිවරණ පණත් වල සඳහන් ප්‍රතිපාදනයන් උල්ලංඝනය වූ අවස්ථාවලය.

අද වන විට රටෙහි බලගතුම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය බවට රූපවාහිනිය සහ ගුවන් විදුලිය පත්ව ඇත. රාජ්‍යය මෙන්ම පුද්ගලික අංශද රූපවාහිනි සහ ගුවන් විදුලි විකාශන කර්මාන්තයේ නියැලී සිටී. ජනාධිපතිවරණ මැතිවරණ පණතෙහි 117 වගන්තියෙහි අපේක්ෂකයන්ගේ මැතිවරණ ප්‍රචාරණය සඳහා රාජ්‍ය ගුවන් විදුලියෙහි සහ රූපවාහිනියෙහි අවස්ථා ලබා දිය යුතු ක්‍රම වේදය දක්වා ඇත. එම වගන්තියෙහි දක්වා ඇති ආකාරයට සියල්ලන්ටම සම අවස්ථා දිය යුතුය. එසේම එම වගන්තියෙහි පස්වන උප වගන්තියෙහි දක්වා ඇත්තේ 117 වගන්තියෙහි දක්වා ඇති ප්‍රතිපාදනයන්ට පටහැනිව කිසිදු අපේක්ෂකයෙකුට තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා රූපවාහිනි හෝ ගුවන් විදුලි මාධ්‍ය යොදා ගත නොහැකි බවයි. පස්වන උප වගන්තිය මාධ්‍ය වශයෙන් දක්වා ඇත්තේ රාජ්‍ය මාධ්‍ය පමණක් නොව ඕනෑම මාධ්‍යයක්‍ ය.

එසේම පණතෙහි 117 වගන්තියෙහි හත්වන උප වගන්තියෙහි රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට වගකීමක් පවරා ඇත. එම වගකීම වන්නේ නාම යෝජනා දින සිට මැතිවරණය අවසන් වන තෙක් කාලය තුල 117 වගන්තියෙහි දක්වා ඇති ප්‍රතිපාදනයන්ට පටහැනිව සෘජුව හෝ වක්‍රව අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීමේ සිදු නොකිරීමට ඔවුන් වග බලා ගත යුතු බවයි.

පෙර සඳහන් නෛතික ප්‍රතිපාදනයන්ගෙන් පෙනෙන්නේ මැතිවරණයකදී සියල්ලන්ට සාධාරණ සහ සම අවස්ථාවක් ලබා දීම නීති සම්පාදනය කල ව්‍යවස්ථාදායකය අදහස් කොට ඇති බවයි.

මෙම පණතෙහි 117(5) වගන්තිය මගින් පුද්ගලික මාධ්‍ය ආයතනද පණතෙහි විෂය පතයට යටත් කොට ඇති අතර ඒ අනුව පුද්ගලික මාධ්‍ය වලටද අපේක්ෂක ප්‍රවර්ධනය පණතෙහි ප්‍රතිපාදන අභිබවමින් සිදු කල නොහැකිය.

නීතියෙහි මෙසේ තිබුණද මාධ්‍ය විසින් නීතියෙහි සිදුරකින් රිංගා ගොස් අපේක්ෂක ප්‍රවර්ධනය සිදු කිරීම අතීතයේ සිට පැවත ආ කාරණයකි. ප්‍රධාන වශයෙන් මෙම නාලිකා වල ප්‍රවෘත්ති විකාශන ඔස්සේ අපේක්ෂක ප්‍රවර්ධනය බරපතල ලෙස සිදු කරන අතර, මේ ක්‍රියාවලිය සිදුවන්නේ ප්‍රවෘත්ති යන ලේබලෙයෙන් ආවරණය වෙමිනි. බොහෝ නාලිකා සිදු කරන්නේ තමන්ගේ අපේක්ෂකයා ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රවෘත්ති නිර්මාණය කිරීමයි. මේ ක්‍රියාවලියේදි විශාල අසාධාරණයක් සිදු වන අතර පුද්ගලික නාලිකා බැවින් ඒවායේ ප්‍රවෘත්ති පාලනය කිරීම දුෂ්කර යැයි කෙනෙකුට කිව හැකිය. අද දින සමහර නාලිකාවල අපේක්ෂකයන් සඳහා වෙන් කොට තිබූ ගුවන් කාලය විනාඩි පහලොවේ සිට තත්පර තිහ අතර කාල පරාසයක වන බවට මුහුණු පොතේම කෙනෙකු සටහන් කර තිබිණි. එය බැලූ බැල්මටම අභාව්‍ය සහ අසාධාරණයක් බැව් ඕනෑම සාධාරණ මනුෂ්‍යයෙකුට තේරුම් ගත හැකිය.

මතකයට නගා ගත යුතුව ඇත්තේ නාලිකා පුද්ගලික වුවද ඔවුන් යොදා ගන්නා සංඛ්‍යාතයන් හී අයිතිය ජනතාව සතු දේපලක් යන කාරණයයි. සංඛ්‍යාතයන් මහජන දේපලක් වීම මතම සංඛ්‍යාතයන් අවභාවිතයක් වන්නේ නම් ඒ සඳහා මැදිහත්වීමේ හැකියාවක් මැතිවරණ කොමිසමට ඇති බව වලංගු තර්කයකි. එසේම පණතෙහි 117(5) වගන්තියෙන් ව්‍යවස්ථාදායකය අදහස් කර ඇති කාරණයන් මතම මේ පෙර කී අවභාවිතයන්ට එරෙහිව කොමිසමට ක්‍රියාත්මක වීමේ හැකියාව ඇත.


උපුල් කුමරප්පෙරුම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button