දේශපාලන

කට්ටඩියන්ගේ සහායත් ගෝඪාට…. ජය නියතයි…!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ නම නිළ වශයෙන් ප්‍රසිද්ධ කළේ පසුගිය අගෝස්තු 11 වැනිදා පැවත පොදුජන පෙරමුණේ පළමු සම්මේලනයේදීය. එතැන් පටන් ගෝඨාභය රාජපක්ෂ සිය ජනාධිපතිවරණ ප්‍රචාරක මෙහෙයුම ආරම්භ කරමින් ජනහමු පවත්වමින් රටවටා යනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු විය.

කෙසේ වෙතත් ඔහු පළමු සති කිහිපය තුළ සිදුකළේ බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්ලාම් ආගමික ස්ථානවල සංචාරය කිරීම සඳහා පමණි. ඉන් අනතුරුව ඔහුට සහයෝගය ලබාදෙන දේශපාලන පක්ෂ හා සංවිධානවල සම්මේලන ඇමතීම සිදුකළේය. මේ වනවිට එයද අවසන් වී තිබේ.

අපේක්ෂකයා නම්කර මාස එකහමාරක් පමණ ගතවී ඇති අතර දැන් ඔහු සහභාගි වන්නේ අරුම පුදුම සම්මේලන සඳහායි.

ඊයේ එවැනි එක් සම්මේලනයක් කොළඹ SLCCE හිදී පැවැත්විණි. ඒ ශාන්තිකර්මවේදීන්ගේ ජාතික සම්මේලනයයි. සරළ වචනයෙන් කියන්නේ නම් රටම අන්දා ඔවුන්ගේ මුදල් ගරා ගන්නා කට්ටඩියන්ගේ ජාතික සම්මේලනයයි. මෙවැනි සම්මේලනයක් පිළිබඳව ඇසුවේද පළමු වරටයි. ඒ සම්බන්ධයෙන් නම් කිසිදු කහටක් නොමැතිව පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයාට ස්තුතිවන්ත විය යුතුය.

ජනාධිපතිවරණයට තවත් මාස එකහමාරකට අධික කාලයක් තිබෙන බැවින් මෙවැනි ලොවෙත් නැති සංවිධාන කලඑළි බසිනු මෙරට ඡන්ද දායකයාට බලාගත හැකි වනු ඇත.

එහිදී අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ, මෙම සංගමයේ දැක්ම ශ්‍රද්ධා සම්පන්න හැඟීම් සහිත ශ්‍රී ලාංකික සමාජයක් බිහි කිරීම බව ප්‍රකාශ කර තිබේ. ඒ සම්බන්ධයෙන් සතුටට පත්වන බවත් ශාන්තකර්මවේදීන් සමග එවැනි සමාජයක් ගොඩනැගීමට එක්වන ලෙස ජනතාවට ආරාධනා කරන බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.

කට්ටඩියන් විසින් මෙහිදී ගෝඨාභය රාජපක්ෂ වෙත ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කළ අතර ගෝඪාභය එම ඉල්ලීම් පිළිගන්නා බව ප්‍රකාශ කළේය.

ඒ අනුව ගෝඨා රජයක් යටතේදී කට්ටඩියන් සංස්කෘතික අමාත්‍යංශයේ ලියාපදිංචි කිරීමටත් ඔවුන් වෙනුවෙන් වෙනම පරිපාලන ඒකකයක් ස්ථාපිත කිරීමටත් පොරොන්දු වී තිබේ. එසේම කට්ටඩියන් වෙනම වෘත්තිකයන් පිරිසක් ලෙස සලකා ඔවුන්ට විශේෂ හැඳුණුම්පතක් නිකුත් කිරීමට ද පොරොන්දු වී තිබේ.

මෙවර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස ඇතුළු සෙසු අපේක්ෂකයන්ට දැන්නම් ඉතින් ලේසි නැත. ගෝඨා එන්නේ කට්ටඩියන් ද සමගිනි. එපමණක් නොවේ සමස්ත දේව සභාව ද දැන් ගෝඨා සමගය. (කට්ටඩියන් කොතැනද ඔවුන් සමග ජාවාරම් කරන දෙවි දේවතාවුන් ද එතැනය) එපමණක් නොවේ, පෙරේතයන්, කුම්භාණ්ඩයන්, භූතයන් සියල්ල දැන් එක රොත්තට ගෝඨා සමගය.

ඒ අනුව යම් හෙයකින් ගෝඨා ජනාධිපති වුවහොත් අනාගතයේදී හොර කට්ටඩියන් අසරණ මිනිසුන්ගේ මුදල් ගසාකෑම නීත්‍යනුකූල ලෙසම සිදු කරනු ඇත. ඒ රජයේ ලියාපදිංචි කට්ටඩියන් ලෙසයි.

එක අතකින් අපරාධකරුවන්ද වෙනම රජයේ ලියාපදිංචි කරන බැවින් හොර කට්ටඩියන්ද ලියාපදිංචි කර තිබීම යම් දිනෙක පොලීසියට හා අධිකරණයට පහසුවක් වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button