සමාජ

“ජානක සහ සිසිතව ඝාතනය කර” වසර 7යි

ජානක සහ සිසිත ප්‍රියංකර ඝාතනය වී වසර 7ක් ගතවී තිබේ. ජානක සහ සිසිත යන සිසුන් දෙදෙනා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතා පාගමනකට සහාය දක්වමින් යතුරු පැදියකින් යමින් සිටියදී කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ ගම්පහ ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී අනතුරකට ලක්ව මිය ගොස් ඇති බව පොලිසිය අධිකරණයට කරුණු දක්වා තිබුණි.

ඔවුන් දෙදෙනාගේ සිරුරු හා ගමන්ගත් යතුරු පැදිය ගම්පහ ඉඹුල්ගොඩ හංදියේ තිබියදී 2012 සැප්තැම්බර 27 වැනි දා අලුයම ලැබුනු තොරතුරක් මත සොයාගන්නා ලදී. මෙම ඝාතනය සිදුකර ඇත්තේ ජනාධිපති ආරක්ෂක අංශයට අයත් රථයකින් බවට තොරතුරු හෙළි වී තිබේ. WP PA – 9507 අංක දරන මේ යතුරු පැදිය අනතුරට ලක්වුවද, ශිෂ්‍ය ක්‍රියාකාරීන් දෙදෙනාගේ මුහුණු වලට සහ ඔළුවට සිදු වී තිබූ හානියට සාපේක්ෂව යතුරු පැදියට සහ එය හැපුණු බව කී විදුලි ලාම්පු කණුවට හානි වී තිබුණේ නැත.

ඉඹුල්ගොඩ හංදියේ රිය අනතුරක් බව අලුයම 4.30ට පමණ වාර්තා වී එහි ගිය බව සහ ඒ වන විටත් සිසුන් අත පය සොලවනවා දුටු බවට පොලිසිය විසින් ප්‍රකාශ ලබා දී ඇත. කෙසේවෙතත්, සිසුන් දෙදෙනා මිනී කාරයකින් රෝහලට ගෙනගොස් ඇත්තේ උදේ 7.30ට පමණය. ඒ වන විට දෙදෙනා මිය ගොස් සිටි බවට මල්ශාලා සේවකයන් ප්‍රකාශ ලබා දී ඇත. උදෑසන 4.30 වන විට පණ පිටින් සිටි සිසුන් දෙදෙනා උදේ 7.30 වන තුරු රෝහලට ගෙන නොගොස් මිනී කාරයක් ගෙන්වාගෙන ඔවුන් රෝහලට රැගෙන යෑම ගැන බරපතල සැකයක් ඇතැයි ද සිසුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් අධිකරණයට කරුණු දක්වා තිබුණි.

ගම්පහ මහේස්ත්‍රාත්වරයා පවසා ඇත්තේ අදාළ වාහනය අනතුරට ලක් වූ ආකාරය යළිත් නිරීක්ෂණය කරන ලෙසයි. එහෙත් රජයේ විශ්ලේෂකයන් පවසා ඇත්තේ එය අනවශ්‍ය බවයි. කෙසේ වෙතත් මීට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අධිකරණ වෛද්‍ය විශේෂඥවරයාද සදහන් කර ඇත්තේ මෙය සාමාන්‍ය රිය අනතුරක් බවයි.

එම පරීක්ෂණ වලදී හෙල්මට් වලට සිදු වී ඇති හානි වලට සාපේක්ෂව ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ මුහුණු වලට සහ හිසට සිදු වූ හානිය සම්බන්ධයෙන් පවා අවධානය යොමු කර නැති බව ජ්‍යේෂ්ඨ නීතිවේදීහු අවධාරණය කරති.

ඒ අනුව මෙම සිසුන් දෙදෙනාගේ මරණය රිය අනතුරක් හේතුවෙන් සිදුවූක්ද නැතිනම් මනුෂ්‍ය ඝාතනයක්ද යන්න පරීක්ෂණ සිදුකිරීම සඳහා අධිකරණයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර කෙරිණි. නමුත් වසර ගණනාවක් පුරා නඩුව දිග්ගැස්සෙමින් තිබෙනවා විනා නඩුවේ අවසානයක් දකන්ට නොමැත. එසේම ඉහත සඳහන් වී ඇති පරිදි මෙම නඩුවේදී මෙන්ම වෙනත් බොහොමයක් නඩුවලදී නීතිපති උපදෙස් ප්‍රමාද වීම යුක්තිය ඉටුවීම දිනෙන් දින පමා කරමින් තිබේ.

මීට මාස තුනකට පෙර පැවති නඩු වාරයේදීද නීතිපති දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් පවසා ඇත්තේ මෙම නඩුව අධ්‍යයනය සදහා තවත් කාලය අවශ්‍ය බවයි. මේ නඩුවට නීතිපති දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් ජ්‍යේෂ්ඨ නීතිවේදියෙක් මීට පෙර පැමිණියද, පසුගිය නඩු වාර දෙකේදී එය පවා අත් හැර දමා තිබේ.


විදුලි කණුව

මේ තරම් තිරිසන්ද මිනිසුන්
අදහගන්නත් බැරි උනා
අයිතියට මොර දෙන උන්ට මේ
ලැබෙන දඬුවම් දුටු නිසා….

හරස් කර ආ යතුරු පැදියක්
පාර අයිනේ පෙරලලා
තරුණයන් දෙදෙනෙකුට තැළුවේ
හිතක් පපුවක් නැති සතා….

තරුණ දෑසේ මරණ භය නැත
අරගලය මුව අග තබා
බිම වැටී අවසාන සුසුමත්
වා තලේටම මුසු කලා….

නඩු විභාගය කදිම විදියට
මිනී මරුවොම සිදු කලා
අහක වී මෙය බලන් සිටි මා
නිවැරැද්දෙ චූදිත උනා….

හැපී කනුවේ තරුණ ජීවිත
නැති වුනා සේ මව මවා
යුක්තියක් වෙනුවෙන් එසවු හිස්
දෙකක් උන් පොඩි කර ගියා….

ගැටුනු මා හට හානියක් නැත
තිබුනු ලෙසටම එහි තබා
ටයර් සළකුණු වසා දා පර
හැත්ත හනිකට පිට උනා….

මොලේ ඇති ඕනෑම අයෙකුට
පෙනෙයි මෙය බැලුවොත් සොයා
හදිසි අනතුර නොවෙයි මේ කල
ඝාතනය තිරිසන් යකා….

නැති කලේ සරසවියෙ උන් නොව
පංතියක සම්පත් නියා
කඩතුරාවෙන් දෑස අහකට
අරන් බලපන් තොප සැමා….

– බෝඩරේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button