දේශීය

ඥානසාර හිමි අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා උතුරේ නීතිඥවරු සේවයෙන් ඉවත් වෙති

අධිකරණ නියෝගයට පිටින් ගොස් මුලතිව්, නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ නායක කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන්ගේ දේහය විහාර භූමියේම අදාහනය කිරීමට කටයුතු කළ බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර නාහිමි ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලීම් කරමින් උතුරු පළාතේ නීතිඥවරුන් අද(24) සේවයෙන් බැහැරව කටයුතු කරන බව උතුරු පළාත් නීතිඥ සංගමයේ නියෝජිත ජ්‍යේෂ්ඨ නීතිඥ ඇන්ටන් පුලිදනායගම් පවසනවා.

නීතිඥ ඇන්ටන් පුලිදනායගම් පැවසුවේ මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය නොසළකා කටයුතු කිරීම හා මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරයෙකුට බලපෑම් එල්ල කිරීමට විරුද්ධව උතුරු පළාතේ සියළුම නීතිඥවරුන් අද උදැසන 11.00 ට මුලතිව් ම‍හේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපස විරෝධතාවයක් පවත්වන බවයි.

අපවත්වී වදාළ මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමයන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය විහාර භූමිය හා නිරාවිය පිල්ලයාර් ගණදෙවි කෝවිල ඉදිරිපස මාර්ගයන් එපිට නයාරු වෙරළ සීමා මායිමේ පිහිටි පැරණි යුද හමුදා කඳවුරක් තිබූ ස්ථානයේ සිදුකරන ලෙස මුලතිව් ප්‍රධාන මහෙස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතා ඊයේ(23) නියෝග කළේ.

නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති නාහිමයන්ගේ දේහය ආදාහනය කිරීම සම්බන්ධයෙන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගොනු කොට පැවති නඩු විභාගය සම්බන්ධයෙන් තීරණයක් ලබාදෙමින් මහේස්ත්‍රාත්වරයා අදාළ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මහේස්ත්‍රාත්වරයා අදාළ නියෝගය ලබාදුණි.

ආදාහන පූජෝත්සවයෙන් අනතුරුව අදාළ ස්ථානයේ කිසිදු ඉදිකිරීමක් සිදුනොකරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා විහාරයේ දායක පාර්ශවය වෙත උපදෙස්දෙනු ලැබීය.

ගුරුකන්ද රජමහ විහාරයේ විහාරාධිපති කොළඹ මේධාලංකාර නාහිමිගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය එම විහාරයේ සිදුනොකිරීම සඳහා කටයුතු කරන ලෙසත් එහි කෝවිලක් තිබෙන බැවින් එයට අගෞරවයක් වන බවට පවසමින් විහාරස්ථානයේ පිහිටි නිරාවිය පිල්ලයාර් කෝවිලේ පාලක සභාව විසින් මුලතිව් පොලිසිය වෙත කළ පැමිණිල්ලකට අනුව මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය නඩු විභාගය කැඳවු අවස්ථාවේ අදාළ තීන්දුව මහෙස්ත්‍රාත්වරයා විසින් ප්‍රකාශයට පත් කළේය.

මහේස්ත්‍රාත්වරයාගේ තීන්දුව ලැබෙන විට සංඝ සභාව විසින් ‍දේහයේ අදාහන කටයුතු සංවිධානය කොට තිබු ආකාරයක්ද දැක ගැනීමට හැකිවිණ.

සංඝ සභාවේ තීරණය අනුව මුලතිව් ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන්ගේ දේහය විහාර භූමියේම අදාහනය කළ බව අදාහන පූජෝත්වයට වැඩම කළ භික්ෂූන් වහන්සේලා ඊයේ(23) සවස පැවසූහ.

ආදාහන කටයුතු වෙනුවෙන් වැඩම කළ භික්ෂූන් වහන්සේලා වැඩිදුරටත් පැවසූවේ අධිකරණ තීන්දු තීරණ අනුව භික්ෂූන් වහන්සේගේ දේහයන් අදාහනය කිරීම සම්බන්ධයෙන් අපි එකඟ නොවන අතර සිංහල බෞද්ධ රටේ සංඝ සභාවේ තීරණය අනුව නයාරු නාහිමියන්ගේ දේහය එලෙස විහාර භූමියේම අදාහනය කළ බවයි.


citizen.lk ඇසුරින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button