දේශීය

වතුකරයේ, තිරිඟු පිටි ආශ්‍රිත කෑමවල මිල අඩු කරලා නෑ

ප්‍රීමා සමාගම විසින් වැඩි කළ තිරිඟු පිටි මිල අඩුකල ද වතුකරයේ ප්‍රධාන නගර කිහිපයකම ඇතැම් බේකරි හිමියන් සහ ආපනශාලා හිමියන් වැඩිකල පාන් සහ තිරිඟු පිටි ආශ්‍රිත ආහාර ද්‍රව්‍යවල මිල මෙතෙක් අඩුකර නොමැති බව පාරිභෝගිකයන් චෝදනා කර සිටියි.

ඉකුත් සතියේ ප්‍රීමා සමාගම විසින් තිරිඟු පිටි මිල රු 4.50 සිට රු 5.50 දක්වා වැඩි කිරිම හේතුවෙන් බේකරි හිමියන් ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක මිල රු 3 කින් සහ බේකරි නිෂ්පාදනවල මිල විවිධ මිල ගණන් යටතේ වැඩි කරනු ලැබීය.

ආපන ශාලා හිමියන්ද වැඩි වු පිටි මිල හමුවේ තිරිඟු පිටි ආශ්‍රිත නිෂ්පාදනවල මිල විවිධ මිල ගණන් යටතේ ඉහළ දමනු ලැබීය.

ප්‍රීමා සමාගම විසින් දිවයිනේ සියලුම ප්‍රීමා තිරිඟු පිටි අලෙවි කරන නියෝජිතයන් සතු වැඩිකල මිලට තිරිඟු පිටි තොග ලබාගත් ඒජන්තවරුන්ගේ තිරිඟු පිටි තොගවල මිල අඩුකර ඇති අතර, ඒ අනුව ප්‍රීමා තිරිඟු පිටි ඒජන්තවරුන් විසින් යලිත් පැරණි මිලට පිටි තොග වෙළඳපොළට නිකුත් කරනු ලබයි.

තිරිඟු පිටි මිල අඩු කිරිමත් සමඟ ඇතැම් බේකරි හිමියන් සහ ආපන ශාලා හිමියන් වැඩි කල මිල අඩු නොකර සිටිම සම්බන්ධයෙන් අප හැටන් බේකරි හිමියන්ගේ සහ ආපන ශාලා හිමියන්ගේ සංගමයේ උප සභාපති එ.ජෙ.එම්.ෆසිර් මහතාගෙන් කළ විමසුමකට ඔහු කියා සිටියේ තිරිඟු පිටි මිල යලිත් අඩු කර වෙළඳපොලට නිකුත් කර ඇති නිසා වැඩි කළ පාන් මිල සහ තිරිගු ආශ්‍රිත නිෂ්පාදිත ආහාර ද්‍රව්‍යවල මිල අඩුකර අලෙවි කරන ලෙස සියලුම බේකරි හිමියන්ට සහ ආපන ශාලා හිමියන් වෙත දැනුම් දි ඇත බවයි.

එයට පටහැනිව ක්‍රියාකරන බේකරි සහ ආපන ශාලා හිමියන් සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරියට හෝ මිල පාලන අධිකාරිය වෙත දැනුම් දෙන ලෙස ෆසිර් මහතා පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button