දේශීය

අවිධිමත් සංචාරකයන් නිසා බළන්ගොඩ හුණුගල් පොකුණු සහ පරිසරයට හානි

බළන්ගොඩ රජවක රක්‍ෂිතයේ තංජන්ගැන්න ගල්ලැල්තොට ප‍්‍රදේශයෙන් හමුවී ඇති හුණුදිය පොකුණු මහජනතාවට නැරඹීම සදහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන තුරු ඒවා නැරඹීමේ අරමුණින් ප‍්‍රදේශයට ඇතුළු නොවන ලෙස වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගේ ඉල්ලීමක් කරයි.

යම් ආකාරයකින් උපදෙස් නොතකා රක්‍ෂිතයට ඇතුළු වන සියලූ දෙනාම අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිමගින් කටයුතු කරන බවද එම දෙපාර්තමේන්තුව දන්වයි.

මේ දිනවල සමාජ ජාල වෙබ් අඩවිය පුරා සැරිසරණ තොරතුරක් හේතුවෙන් මෙම හුණගල් පොකුණු නැරඹීම සදහා අවිධිමත් ආකාරයෙන් රක්‍ෂිතයට ඇතුළුවන්නන් හේතුවෙන් විශාල පරිසර හානියක් සිදුවෙමින් පවතින බව වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුව කියයි.

මෙම ප‍්‍රදේශය පුරා හුණුගල් නිධියක් ඇති අතර එම හුණුගල් නිධිය ආශ‍්‍රිතව ගල්ලැල්තොට ප‍්‍රදේශයේ හුණුගල් පොකුණු කිහිලයක් මතුව තිබේ. අනවසරයෙන් එහි ඇතුළු වූ පිරිසක් ඒ සම්බන්ධව ඡායාරූප සහ තොරතුරු සමාජ ජාල වෙබ් අඩවිවල ප‍්‍රසිද්ධ කිරීමෙන් පසු විශාල පිරිසක් දිනපතා අනවසරයෙන් එහි ඇතුළුවෙමින් සිටිති.

මේ හේතුව නිසා වසර මිලියන ගණනක් පැරණි යැයි විශ්වාස කරන මෙම හුණුගල් පොකුණු මෙන්ම ඒ අවට පරිසරයත්, ඊට ඇතුලුවන මාර්ගයත් පාරිසරික හානියකට ලක් වෙමින් පවතින බව බළන්ගොඩ අඩවිවන නිලධාරී විජයන්ත උපුල් මහතා පවසයි.

හුණුගල් පොකුණු වලට ඇතුලූවන මාර්ගයේ රක්‍ෂිත මායිමේ සිවිල් ආරක්‍ෂක බළකායේ නිලධාරීන් දෙදෙනකු සේවයේ යොදවා මහජනතාවට ඇතුළු නොවන ලෙස දනවන බවත් විවිධ දැනුවත් කිරීමේ පුවරු මගින් ජනතාව දැනුවත් කර ඇති බව ද අඩවිවන නිලධාරීවරයා කියයි.

යම් හෙයින් මෙම අවවාද නොතකා රක්‍ෂිතයට ඇතුළු වුවහොත් නීතිමගින් කටයුතු කිරිමට සිදුවන බවද ඔහු පැවසුවේය. මේ වනවිට හුණුගල් පොකුණු සහ ඊට පිවිසෙන මාර්ගයේත් බියර් ටින්, බෝතල්, පොලිතීන් ප්ලාස්ටික වැනි පරිසරයට හානිවන නොදිරණ අපද්‍රව්‍ය බැහැර කර ඇති බවද අඩවිවන නිලධාරීවරයා පවසයි.

සිවිල් ආරක්‍ෂක නිලධාරීන්ට අමතරව වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ද එහි යොදවා ඇති නිසා නිසි අවසර ලබාදෙන තුරු අවසර නොමැතිව කිසිම පුද්ගලයෙකුට ඇතුලුවීම තහනම් බවද හෙතෙම පැවසීය.

“අපි මේක දැක බලාගන්න මහජනතාවට අවස්ථාව ලබා දෙනවා. ඊට පෙර මේ හුණුගල් පොකුණු ආරක්‍ෂාව සඳහා විධිමත් වැඩපිළිවෙළක් සැකසිය යුතුයි. වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුව ඒ සඳහා වැඩපිළිවෙලක් සැකසීමෙන් අනතුරුව මහජනතාවට අපි අවස්ථාව සලසා දෙනවා. එතෙක් එහි ඇතුළු නොවන ලෙසයි අපි ඉල්ලා සිටින්නේ” යයි එම මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියි.


අජිත්ලාල් ශාන්තඋදය සහ වයි.ඒ.එස්. වීරවංශ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button