දේශීය

තරුණ මාධ්‍යවේදීන් පුහුණු කිරීම සඳහා වූ MediaCorps ශිෂ්‍යත්ව වැඩසටහන

දෙවන අධියරේ පස් දින නේවාසික වැඩමුළුව

ශ්‍රී ලංකා ජනමාධ්‍ය සංසදය (SDJF) විසින් අන්තර්ජාතික පර්යේෂණ සහ හුවමාරු මණ්ඩලය (IREX) එක්ව අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතනයෙහි (USAID) සහයෝගය සහිතව දියත් කරන MediaCorps ශිෂ්‍යත්ව වැඩසටහන තරුණ මාධ්‍යවේදීන් පුහුණු කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක එකම සහ ප්‍රමුඛ නේවාසික ශිෂ්‍යත්ව වැඩසටහනයි. දිවයින පුරා සිටින තරුණ මාධ්‍යවේදීන්ගෙන් අයඳුම්පත් කැඳවීමෙන් අනතුරුව, තරගකාරී අයදුම්පත් තෝරා ගැනීමේ ක්‍රියාවලියකින් නියමිත සුදුසුකම් සපුරන ලද තෝරාගත් තරුණ මාධ්‍යවේදීන් 25 දෙනෙකුට (සිංහල 12 / දෙමළ 11 හා මුස්ලිම් 2 ) 2019.08.22 දින සිට 2019.08.27 දින දක්වා මීගමුව නගරය කේන්ද්‍රකරගත් ගෝල්ඩි සෑන්ඩ්ස් හෝටල් පරිශ්‍රයේදී පවත්වන ලද MediaCorps ශිෂ්‍යත්ව වැඩසටහනෙහි දෙවන අධියරේ පස් දින නේවාසික පුහුණු වැඩමුළුවට සහභාගිවීමට අවස්ථාව ලැබිණි.

විවිධ ජාතීන් හා ආගම් අතර පවත්නා සංස්කෘතික විවිධත්වයන් හා වාර්ගීකත්වයන් පිළිබඳව ප්‍රායෝගික අත්දැකීම් අනුසාරයෙන් අන්‍ය සංස්කෘතිකාංගවලට ගරු කිරීම මඟින් විවිධ සංස්කෘතිකපැතිකඩයන් පිළිබඳව අවබෝධය ලබාගැනීම හා විවිධත්වය පිළිබඳව අවබෝධය වැඩිදියුණු කිරීම, එය ප්‍රවර්ධනය කිරීම, මාධ්‍ය වාර්තාකරණයේදී සංස්කෘතිකමය වශයෙන් ඇතිවන බාධාවන් හා ගැටුම් නිවැරදිව හඳුනාගැනීම හා ඒවාට බුද්ධිමය වශයෙන් කල්පනාකාරීව පිළිතුරු සැපයීම, මාධ්‍ය භාවිතයේදී ගැටුම් සහ ස්ත්‍රී පුරුෂ සමාජ භාවයට සංවේදී පුවත් වාර්තා කිරීමේ හැකියාවන් වර්ධනය කිරීම හා ඉන් ඔබ්බට ගොස් මාධ්‍ය වාර්තාකරණයේදී මෙරට ජාතික, ආගමික, සංස්කෘතික, සාමය, සංහිඳියාව හා ශ්‍රී ලාංකික උන්නතිය පවත්වා ගැනීම සඳහා මාධ්‍ය භාවිතය පිළිබඳව ජාතික කතිකාවක් නිර්මාණය කිරීම මෙම ශිෂ්‍යත්ව වැඩසටහනෙහි මූලික අරමුණවිය.

මෙම වැඩසටහන විවිධ විශ්වාස, වාර්ගික, භාෂා පසුබිම් නියෝජනය වටපිටාවන්ගෙන් පැමිණෙන තරුණ මාධ්‍යවේදීන්ට, යුගල වශයෙන් කටයුතු කිරීමට අවස්ථාව ලබාදුන් අතර එම අරමුණු සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් එකිනෙකා ජීවත්වන සමාජ වටපිටාව තුළ තාවකාලිකව දින 7ක් රැඳී සිටිමින්, තවත් සංස්කෘතියකට අයත් පුද්ගලයෙකු සමග කටයුතු කිරීමේදී යහපත් සබඳතාවක් ගොඩනැගීමට අහිතකර ලෙස බලපාන ගැටලු පිළිබඳව ප්‍රායෝගික දැනුමක් ලබාගැනීමට අවස්ථාවක් සලසා දීම මගින් සංහිඳියාව ශක්තිමත් කරන්නා වූ සහයෝගාත්මක බහුමාධ්‍ය කතාන්දර නිෂ්පාදනයට ඉඩප්‍රස්ථාව සලසා දෙන නව්‍ය ශිෂ්‍යත්ව වැඩසටහනක් ලෙස සැලකීම යුක්ති යුක්තය. දින පහක නේවාසික ශිෂ්‍යත්ව වැඩසටහනට සහභාගීවූ මාධ්‍යවේදීන්ට, සාමය පවත්වා ගැනීම සඳහා මාධ්‍ය වාර්තාකරණය, ගැටුම් අවස්ථාවේදී මාධ්‍ය වාර්තාකරණය, මාධ්‍ය වාර්තාකරණයේදී ස්ත්‍රී පුරුෂ සමාජභාවය නිරූපණය කරන ආකාරය, මාධ්‍ය වාර්තාකරණයේදී මාධ්‍ය නීතිය හා ආචාරධර්ම භාවිත කළ යුත්තේ කෙසේද? මාධ්‍ය වාර්තාකරණයේදී ස්මාර්ට් දුරකථනය භාවිත කරමින් කතා පුවතක් නිර්මාණය කරන්නේ කෙසේ ද? ඒ සඳහා ස්මාර්ට් දුරකථනය තාක්ෂණික මෙවලමක් ලෙස භාවිත කරන්නේ කෙසේද? එහිදී කතාවක් නිර්මාණය කිරීමේදී දුරකථනය මගින් ලබා ගන්නා ඡායාරූප හා වීඩියෝ පට නිවැරදිව ලබා ගන්නේ කෙසේද? තමා නිර්මාණය කිරීමට අදහස් කරන කතාව සඳහා සුදුසු ලෙස කැමරා කෝණයන් භාවිත කරන ආකාරය, මයික්‍රෝෆෝනය උචිත ලෙස භාවිත කළ යුත්තේ කෙසේද? කතා පුවත නිර්මාණාත්මකව නිෂ්පාදනය කිරීමට රූප රාමු ගළපාගත යුත්තේ කෙසේද යන්න පිළිබඳවත් කතා සැලැස්ම, (මුල/මැද/අග හා පසුබිම් කතාවට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම)කතාවෙහි රූපමය සැලැස්ම, සම්මුඛ සාකච්ඡා, රැස්වීම් වාර්තා කරණයේදී රූප භාවිත කළ යුතු ආකාරය, සංස්කරණ සැලැස්ම හා එහිඳී අනුගමනය කළ යුතු සිද්ධාන්තයන් පිළිබඳවත් ප්‍රායෝගිකව හා න්‍යායාත්මක වශයෙන් ඉගෙනීමට ඉඩ ප්‍රස්ථාව ලැබුණි. ශිෂ්‍යත්වලාභීන්ට මෙම වැඩසටහන තුළින් තමන් පන්ති කාමරය තුළදී උගත් දෑ ප්‍රායෝගිකව අත්හදා බැලීම සඳහා MediaCorps ආයතනය විසින් ක්ෂේත්‍ර චාරිකාවක් සූදානම් කරන ලදී, එහිදී සෑම මාධ්‍යවේදීයෙකුටම මීගමුව නඟරයට ආසන්න පිටිපන ධීවර ගම්මානය ආශ්‍රිත වෙරළාසන්න ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන දුක්ඛිත ජීවන අත්දැකීම් පිළිබඳව වාර්තා කිරීම සඳහා තම දුරකථනය භාවිත කරමින් කතාවක් නිෂ්පාදනය ( MOJO ) කිරීමට අවස්ථාව ලැබිණි.මෙහිදී මීගමුව පිටිපන ධීවර ගම්මානය ආශ්‍රිතව ජීවත්වන ජනතාව මුහුණ දෙන කලපු ඛාදනය, වෙරළාසන්නයේ ඇති පස් නීති විරෝධී ලෙස ප්‍රවාහණය කිරීම, එම ජනතාව ජීවත්වන ස්ථානවල ඇති පස් හා ඉඩම් නීති විරෝධී ලෙස අත්පත් කර ගැනීම, කරවල වේලීම සඳහා භාවිත කරන ලුණු එම ප්‍රදේශයේ වාසය කරන ජනතාව පානය කරන ජලය සමග මිශ්‍රවීම, කාන්තාවන්, කුඩා දරුවන් හා වැඩිහිටියන් බහුලව වාසය කරන මෙම ප්‍රදේශයේ යටිතල පහසුකම් ප්‍රමාණවත්ව නොමැතිවීම, වෙරළ නැරඹීමට පැමිණෙන පුද්ගලයින් විසින් කසළ හා අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර නොකිරීම නිසා වෙරළ ප්‍රදේශය අපවිත්‍රවීම හා එම අපද්‍රව්‍ය මුහුදු ජීවීන් ආහාරයට ගැනීම නිසා අනාගත ජීවන මාර්ගය අහිමිවීම (මත්ස්‍ය වෙළදාම) පිළිබඳව එම ජනතාව තුළ පවත්නා අවිනිශ්චිත තත්ත්වයන් පිළිබඳවත් මෙහිදී අපගේ අවධානයට යොමු විය.

MediaCorps පස් දින නේවාසික වැඩසටහනෙහි ආරම්භක සැසිය SDJF ආයතන ප්‍රධානී මහචාර්ය පද්මසිරි වනිගසුන්දර, ව්‍යාපෘති අධ්‍යක්ෂ නීතිඥ එම්.ඒ මොහොමඩ් අසාඩ්, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවෙහි, ඊ.එම්. ජී චන්ද්‍රසේකර මහතා හා IREX ආයතනයෙහි, ආර්.කණිෂ්ක යන මහත්වරුන් ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහිදී මහචාර්ය පද්මසිරි වනිගසුන්දර මහතා අදහස් දක්වමින් පවසා සිටියේ, තරුණ මාධ්‍යවේදීන්ට මාධ්‍ය වාර්තාකරණයේදී තමන්ගේ හා අන්‍ය ප්‍රජාවගේ සංස්කෘතික විවිධත්වය තේරුම් ඇති බාධාවන් විමර්ශනාත්මකව අධ්‍යනය කිරීම මගින්, අන්‍යයන්ගේ හැඟීම්, දැනීම්, තේරුම් ගැනීමත්, රටේ පවත්නා වාර්ගිකත්වය හා විවිධත්වය පිළිගනිමින්, මෙරට ජාතීන් හා සංස්කෘතීන් අතර සාමයත්, සංහිඳියාවත් පවත්වා ගැනීමට උපකාරීවන ආකාරයෙන් සදාචාරසම්පන්න ගුණාත්මක තරුණ මාධ්‍යවේදීන් පුහුණු කිරීම MediaCorps ශිෂ්‍යත්ව වැඩසටහන මගින් සාර්ථකව සිදු වන බවයි.

– කෞෂල්‍යා ප්‍රභා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button