විදේශීය

පාර්ලිමේන්තුවට පැමිණි පුංචි අමුත්තා

පසුගියදා නවසීලන්ත පාර්ලිමේන්තුවට අලුත් අමුත්තෙකු පැමිණියේය. ඒ ටුටන්කායි ස්මිත් කොෆී නම් කුඩා බිළිදාය. ස්මිත්ගේ පියා වන තිමති කොෆී සමග ඔහු පාර්ලිමේන්තුවට පැමිණ සිටියේය. තිමති කොෆී නවසීලන්ත පාර්ලිමේන්තුවේ තරුණ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරයි. කුඩා ස්මිත්ගේ මව නීතිඥවරියක් බැවින් ඇයට නඩු කටයුත්තකට සහභාගි වීම සඳහා ක්‍රයිස්චර්ච් නුවරට යාමට සිදුවී තිබුණි. එහෙයින් කුඩා ස්මිත්ගේ වගකීම් පැවරුණේ ඔහුගේ පියා වන තිමති කොෆී හටයි. එදින පාර්ලිමේන්තුවේ පැවති විවාදයක් සඳහා අනිවාර්‍යෙන් සහභාගි විය යුතු වූ බැවින් තිමති එයට සහභාගි වූයේ තම බිළිඳු පුත් ස්මිත් ද සමගයි.

ස්මිත් උපන් දිනයේ

තිමති සහ කුඩා ස්මිත් දුටු නවසීලන්ත කතානායකවරයා වන ට්‍රෙවර් මලාඩ් විවාදයට පෙරම පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශ කළේ කුඩා ස්මිත් සමග වුවද විවාදයට සහභාගි වීම සඳහා පැමිණ තිමති මන්ත්‍රීවරයාට තමා ඇතුළු මුලු නවසීලන්ත පාර්ලිමේන්තුවේම ගෞරවය පිරිනමන බවයි. එසේම කුඩා ස්මිත්ට අපහසු සහ බාධාකාරී වන ලෙස කිසිඳු ඝෝෂාකාරී බවකින් තොරව විවාදය ඉදිරියට ගෙනයන ලෙස තමා සියල්ලන්ගෙන්ම ඉල්ලා සිටින බවත් කතානායකවරයා ප්‍රකාශ කළේය.

මේ අතරතුර මන්ත්‍රී තිමති හට විවාදයට සහභාගි වීමේ අවස්තාව උදාවිය. කුඩා පුතු සමග ඔහුට අදහස් දැක්වීමට අපහසු බව දුටු කතානායකවරයා තිමතිගෙන් පුත්‍රයාව ඉල්ලා ගත්තේය. තිමති විවාදයේ අදහස් දක්වන අතරතුර කුඩා ස්මිත් සිටියේ කතානායකවරයා සමග කතානායක පුටුවේය. ඔබ මේ දකින්නේ කතානායක ට්‍රෙවර් මලාඩ් මහතා එලෙස ස්මිත්ව බලාගන්නා ආකාරයයි.

ඉදිරියේදී කුඩා දරුවන්ට අවශ්‍ය පහසුකම් පාර්ලිමේන්තුව තුළ ස්ථාපිත කරන බවද කතානායකවරයා පසුව පවසා තිබේ. සාමාන්‍යයෙන් කතානායක පුටුව යොදාගන්නේ මන්ත්‍රීවරුන් මෙහෙයවීමට බවත් අද දින තමා සමග VIP පුදගලයෙකු එහි අසුන්ගත් බවත් ඔහුගේ අනාගතයට සුභ පතන බවත් කතානායකවරයා Twitter පණිවිඩයක සඳහන් කර තිබේ.

එරට මාධ්‍ය මෙම පුවත වාර්තා කළ අයුරු

පසුගිය දිනවල නවසීලන්ත අගමැතිනිය වන ජසින්ඩා ආඩ්න් මහත්මිද මේ හා සමාන ප්‍රවෘත්තියක් නිසා අවධානයට පාත්‍ර විය. ඇය අගමැතිධූර දරන අතරතුර මාතෲ පදවියද ලබා ගත්තාය. මේ වන විට ඇගේ ස්වාමිපුරුෂයා රැකියාවෙන් ඉවත්ව නිවසට වී දරුවන් බලාගන්නා බව ද වාර්තා වේ.


කසුන් නදීර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button