විදේශීය

පෘථිවියේ පෙනහළු ගිනි ගනිමින් පවතියි

ඇමේසන් වනපෙත මේ වනවිට විශාල ලැව් ගිනි මාලාවකට ගොදුරුව පවතිනවා….

ඇමේසන් වනයේ මේ වනාන්තර ගිනි ආරම්භ වූයේ මීට සති තුනකට ඉහත වුවත්, තත්වය ඉතාම බරපතළ ලෙස උත්සන්න වූයේ පසුගිය අඟහරුවාදා දිනයේ සිටයි….

පසුගිය සති තුන පුරා බ්‍රසීල අභ්‍යවකාශ ආයතනය වන “නැෂනල් ඉන්ස්ටිටියුට් ඔෆ් ස්පේස් රීසර්ච්” (National Institute of Space Research) ආයතනය මඟින් ඇමේසන් වනාන්තරය පවතින ප්‍රාදේශික කළාප තුනක් වන රෝරාමියා, ඇමසෝනාස්, සහ රොන්ඩෝනියා නම් කළාප ත්‍රිත්වයෙන් පමණක් අලුතින් සොයාගෙන ඇති ලැව්ගිනි සංඛ්‍යාව 9,722 ක්…. මෙය දින දෙකක් තරම් කෙටිම කාළයක් තුළ ඇමසන් කළාප වලින් මින් පෙර වාර්ථා වූ වැඩිම ලැව් ගිනි සංඛ්‍යාව වන ලැව්ගිනි 1,289 ක සංඛ්‍යාව (2003 වසරේ) 8 ගුණයකින් පමණ ඉක්මවා යෑමක්….

පසුගිය සති තුනට ඇමසන් වනාන්තර කළාපවලින් ඉහත කී බ්‍රසීල අභ්‍යවකාශ ආයතනයේ චන්ද්‍රිකා දත්ත විශ්ලේෂකයන් සහ තාප රූ දත්ත විශ්ලේෂකයන් විසින් සොයාගත් ලැව් ගිනි සංඛ්‍යාව අද දිනය වනවිට 72,843 ක් බවට පත්ව තිබෙනවා…. මෙය එතෙක් මෙතෙක් එක් ලැව්ගිනි සමයක් තුළ ඇමේසන් වනයෙන් සොයාගත් වැඩිම ලැව්ගිනි සංඛ්‍යාවේ වාර්ථාව වන 68,484 ( 2016 වසර ) අබිබවා නව වාර්ථාවක් ලෙස ඉතිහාස ගතවන අතර, පසුගිය 2018 වසර හා සසඳන විට 83% කින් ඉහළ යෑමක්….

ඇමසොන් වනය

ඇමසොන් ද්‍රෝණියේ මුළු භූමි වපසරිය වන්නේ වර්ග සැතපුම් මිලියන 72.2 ක්…. මෙයින් වර්ග සැතපුම් මිලියන 2.1 ක් පුරා පැතිර පවතින්නේ ඇමසන් නිවර්තන වැසි වනාන්තර කළාපයයි….

ඇමසන් ද්‍රෝණිය රටවල් 9 ක් පුරා විහිදී පවතින අතර, ඇමසොන් වැසි වනය මේ රටවල් 9 න් 6 කට අයත්ව පිහිටනවා….

මුළු වැසි වනාන්තර කළාපයෙන් 60% ක්ම පවතින්නේ බ්‍රසීලයට අයත් භූමියේ වන අතර, පෙරූ රාජ්‍යයට 13%ක්, කොළොම්බියාවට 10%, වෙනෙසියුලාව, ඉක්වදෝරය, සුරිනාමය, ප්‍රංශ ගිනියාව ( ප්‍රංශයට අයත් ) සහ බොලීවියාව යන රාජ්‍යයන්ට සෙසු කොටස් කුඩා ප්‍රතිශත ලෙස වනයේ අයිතිය පවතිනවා….

මෙවර ලැව් ගිනි සමය නිසා වනාන්තරයේ අක්කර මිලියන 640 කට හෙවත් වර්ග සැතපුම් මිලියන 0.9 කට පමණ සෘජු හෝ වක්‍ර හානි සිදුවී තිබෙනවා….

ඇමසොන් වනාන්තරය යනු හරිතාගාර ආචරණය අවම කරමින්, ගෝලීය උණුසුම ඉහළ යෑමේ ක්‍රියාවලිය සිදුවන වේගය අඩු කරන දැවැන්තම කාබන් ඩයොක්සයිඩ් අවශෝෂකයයි….මේ නිසා මෙම වනයට සිදුවෙමින් පවතින හානිය, ගෝලීය ඌෂ්ණත්වය ඉහළ යෑමට සහ වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය දරුණු ලෙස ඉහළ යෑමට දායක විය හැකි අතර, මේ වනවිට ඇවිලෙමින් පවතින වාර්ථාගත ලැව් ගින්නෙන් විමෝචනය වන කාබන් ඩයොක්සයිඩ් සහ මොනොක්සයිඩ් මෙන්ම ජෛව ස්කන්ධ දහනයෙන් විමෝචනය වන වායු වර්ග අධික ප්‍රතිශත ලෙස අසළ රටවල වැසියන්ට බරපතල ශ්වසනාබාධ ඇති කරනු ඇති බව විශේෂඥ මතයයි….

ලැව් ගිනි සමය හෙවත් “ක්විමාඩා” සමය

බ්‍රසීල ජනාධිපතිවරයා වන ජායීර් බොල්සොනාරෝ සඳහන් කර සිටින්නේ මෙය බ්‍රසීලයේ හේන් ආශ්‍රිත කෘෂිකර්මාන්තයේ නියුතු ගොවීන්ගේ “ක්විමාඩා” හෙවත් “පිළිස්සුම්” සමය බවත්, මෙබඳු වියළි කාළගුණික තත්වයන් පවතින සමයන්හි හේන් ගොවියන් නව වගා සඳහා බිම් පුළුස්සා සකස් කිරීම වාර්ෂිකව එළඹෙන ක්විමාඩා සමයෙහි සිදුවන බවත්ය….

නමුත් ක්විමාඩා සමය එළඹෙන්නත් පෙර සිටම බ්‍රසීල ජනාධිපතිවරයාට ඔහුගේ පාලනයේ අකාර්යක්ෂම බව නිසා ඇමසොන් වනය ඇතුළු බ්‍රසීලයේ වන සම්පතට සිදුවන විනාශය පිළිබඳව චෝදනා එල්ල වී තිබුණා….

ජනාධිපති ජායිර් බොල්සොනාරෝ

බ්‍රසීලයේ නව ජනපති ජායිර් බොල්සොනාරෝ සිය ධූරයේ වැඩ බාරගන්නේ මෙම 2019 වසරේ ජනවාරි මස 1 වැනිදා…. අන්ත දක්ෂිණාංශික අදහස් දරන්නෙකු ලෙස ප්‍රකට බ්‍රසීල ජනපතිවරයා, සිය ජනප්‍රියත්වය ආරක්ෂා කර ගැනීම සඳහා බ්‍රසීලයේ සාම්ප්‍රදායික ගොඩ ගොවිතැන් කරුවන්ට වැසි වනාන්තර පෝෂක ප්‍රදේශ වල ගොවිතැන් කටයුතු සඳහා බිම් එලිපෙහෙලි කිරීමට ඉඩහසර සලසා දීම සඳහා, එකී වනබිම් මුඩු කිරීමට එරෙහිව පවතින නීති ක්‍රියාත්මක නොකර, නොසළකා හැරීමට කටයුතු කර තිබෙනවා…. මෙය ඔහුට එරෙහිව එල්ලවන ප්‍රබලතම චෝදනාවක්….

ජායිර් බොල්සොනාරෝ සිය ධුරයේ වැඩ භාරගත් දා සිට, සිය හිත මිත්‍රයන් විසින් සිදු කරනු ලබන අනීතික දැව ජාවාරම් ඉවසා වැදෑරීම සහ සිය ඡන්ද දායකයන් අතර ජනප්‍රියත්වය පවත්වා ගැනීම සඳහා වනබිම් මුඩු කිරීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීම යන කරුණු හේතුවෙන් ඇමසොන් වනාන්තරයට ආවේණික වූ, ලැව් ගිනි වළකන තෙත් සහිත ගතිය වියැළී ගොස් මෙම ක්විමාඩා සමයේදී ගින්න දරුණු ලෙස පැතිරී ගිය බව, එරට සිටින වන විශේෂඥයන් පවසනවා….

නමුත් මීට ප්‍රතිචාර ලෙස බොල්සොනාරෝ පවසන්නේ, තමා සහ තම පාලනය අපහසුතාවයට පත් කරන අරමුණින්, බ්‍රසීලයේ ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන කුමන්ත්‍රණය කර, මෙවර කන්නයේ හටගත් ලැව්ගින්න අසාමාන්‍ය ලෙස වර්ධනය කර ඇති බවයි…. ෆේස්බුක් අඩවිය හරහා විකාශය වූ සජීවී විඩියෝවක හෙතෙම මෙම චෝදනාව කරනවා…. නමුත් මෙම කුමන්ත්‍රණ චෝදනාව ඔහුට එරෙහිව හඬක් නඟන බොහෝ සංවිධාන තරයේ ප්‍රතික්ෂේප කරනවා….

අභ්‍යවකාශයේ සිට දකින ඇමසොන් ගින්න

පසුගිය දෙදින තුළ බියකරු අයුරින් ඉහළ ගිය ඇමසන් ලැව් ගිනි සම්බන්ධ නිරීක්ෂණයන් අභ්‍යවකාශයේ සිට සිදු කර, එම සේයාරූ විශ්ලේෂණය සඳහා පෘතුවියට සම්ප්‍රේෂණය කරන්නට මේ වනවිට ප්‍රධාන භූ නිරීක්ෂණ චන්ද්‍රිකා දෙකක් යොදාගෙන තිබෙනවා….

– යුරෝපා සංවිධානයේ කොපනිකස් වැඩසටහනට අයත් “සෙන්ටිනල් – 2” චන්ද්‍රිකාව
– ඇමරිකා එක්සත් ජනපදයේ “නැෂනල් ඕෂනික් ඇන්ඩ් ඇට්මොස්ෆෙරික් ඒජනි” ආයතනයට අයත් – ” NOAA-20″ චන්ද්‍රිකාව

මෙම චන්ද්‍රිකා සේයාරූ මඟින් ඇමසන් වනාන්තරාශ්‍රිත ප්‍රදේශ සහ බ්‍රසීලයේ සාවො පෝලෝ, ආදී නගර දුමාරයෙන් වැසී තිබෙන ආකරය දැක බලාගන්නට සඳුදා දිනයේදී ලොවට හැකිවුනා…. බ්‍රසීල රජය මඟින් ලොවට යම් පමණකට වාරණය කර තිබූ මේ පුවත කෙරෙහි ලෝකවාසී අවධානය යොමුවන්නේ ඉන් පසුවයි….

මේ අතර බ්‍රසීල පරිසර අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින්, මෙම ගින්නේ දුමාරයෙන් වැඩි කොටසක් පැමිනෙන්නේ පේරු රාජ්‍යය දෙසින් බව කියන්නට උත්සාහ කළත්, පසුව ඇමරිකාව විසින් විශ්ලේෂණය කරන ලද තාප සේයා මාර්ගයෙන් ගින්න නිසා වනාන්තරයේ උණුසුම උපරිම තලයට ලංවී ඇත්තේ බ්‍රසීල ජනරජයේ භූමිය දෙසින් බව තහවුරු කරනු ලැබුවා….

වැසි වනාන්තර යනු සෘතුමය ලැව් ගිනි ඇවිළී ගිය පසුව, එම ගින්නේ දහන ශේෂ වලින් පෝෂණය ලබා යළිත් දලු ලා වැඩෙන සැවානා වනාන්තර මෙන් නොවේ…. එසේ හෙයින් එම වනයට සිදුවෙමින් පවතින විනාශය යළි ස්වභාවිකව පිළිසකර වීමේ අවස්ථා අඩුය….


දමිත් කේතක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button