විශේෂාංග

‘මගේ පියාගේ ඝාතකයා ගෝඨාභය….’ ඔබ විසින් ආරක්ෂා කිරීම ගැන සමාව ඉල්ලනවාද අගමැතිතුමනි….?

ඊයේ දින, එනම් 2019 අගෝස්තු 13 වන දින, ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිංසා වික්‍රමතුංග මෙනවිය විසින්, අගමැති රනිල් වික්‍රමසිංහ වෙත ඉංග්‍රීසි භාෂාවෙන් ලියා යැවූ ලිපියක පරිවර්තනයක් මෙසේ උපුටා දක්වමු. මෙම ලිපියේ පරිවර්තනය vikalpa.org වෙබ් අඩවියයි. ඊට පෙර දින (12) අගමැතිවරයා විසින් කළ ප්‍රසිද්ධ ප්‍රකාශයක් මත පදනම් ව ඇය විසින් මේ ලිපිය ඔහු වෙත ලියා තිබේ. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය වී, වසර 10 ක් ඉක්මවා ගොස් තිබෙන අතර, තවමත් ඔහුට යුක්තිය ඉටු වන බවට සේයාවක් වත් නැත.

2019 අගෝස්තු 13
ගරු. රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා,
ශ‍්‍රී ලංකා ජනරජයේ අග‍්‍රාමාත්‍ය,
අරලියගහ මන්දිරය,
කොළඹ 03

අග‍්‍රාමාත්‍යතුමණි,

ඊයේ (12), ඔබ විසින් ඊයේ කරන ලද දේශපාලන කථාවකදී මගේ පියා සහ ඔබේ ළඟම මිතුරකු වන, 2009 ජනවාරි 8 වැනිදා ඝාතනයට ලක්වූ ලසන්ත වික‍්‍රමතුංග මහතා ගැන සඳහන් කළේය. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත් වුවහොත් බියෙන් තොර පරිසරයක් නිර්මාණය කරන බවට කළ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින් ඔබ මගේ පියාගේ ඝාතනය සහ තවත් බිහිසුණු අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් ඔහු සමාව ඉල්ලන්නේ දැයි විමසීය.

සන්සුන්ව හිතා බලන්න. නැත, ගෝඨාභය රාජපක්‍ෂ මහතා කිසිදිනෙක මගේ පියාගේ මරණයට සමාව නොඉල්ලනු ඇත. ගතවූ වසර 10 තුළ පැවති රූපවාහිනී සම්මුඛ සාකච්ජාවන්හිදී දී ඔහු ඒ සම්බන්ධව ආඩම්බර වුවා මිස, සමාවක් ලබා ගැනීම පිලිබඳ ඉඟියක් හෝ කොට නැත. ඔහු සමාව නොඉල්ලිමටම හිත හදාගෙන තිබේ. නමුත් ඔබ, අගමැතිතුමණි, පසුගිය අවුරුදු 4 1/2 පුරා, ඔබ දැන් සමුහ ඝාතකයෙකු යැයි කියන පුද්ගලයා ඔබ විසින්ම ආරක්ෂා කිරිම ගැන සමාව අයැද සිටිනවාද?

මගේ පියා ඝාතනය කළ දිනයේ සිට ජන්ද දිනා ගැනිම සදහා තුරුම්පුවක් ලෙස ඔබ ඔහුගේ නම භාවිතා කළේය. මගේ පියාගේ ඝාතනය, ඔබ අගමැතිවරයා බවට පත් කළ, 2015 ජනාධිපතිවරණ සහ පාර්ලිමේන්තු මැතිවරණ ව්‍යාපාරයේ මුක්කුවක් බවට පත් විය. ඔබ ජනාධිපති සිරිසේන බලයට ගෙනැවිත් එක්සත් ජාතික පක්‍ෂය වෙත පාර්ලිමේන්තුවේ බලය දිනාගත්තේ මගේ පියාගේ ඝාතනයට සාධාරණය ඉටු කිරීමට පොරොන්දු වෙමිනි.

ඔබ බලයට පත්වූ වහාම ඔබේ අවශ්‍යතාවන් වල ප්‍රමුඛතාවය වෙනස් විය. මගේ පියාගේ ඝාතකයින්ට යුක්තිය ඉටුවන බවට සහතික කර ගැනීම සඳහා ඔබේ සහයෝගය ඉල්ලා 2015 පෙබරවාරි මාසයේ දී මම ඔබව අරලියගහ මන්දිරයේදී මුණගැසුණු විට, ඔබ මට පැවසුවේ ”වෙනත් ප්‍රමුඛතාවයන් ” ඇති බවත් යුක්තිය යනු ලසන්ත පමණක් නොවන බවත් ය.

මම ඉන්පසු ඔබේ වෙනත් ප්‍රමුඛතාවයන් මොනවාදැයි දුටුවෙමි. ඔබේ ප්‍රධානියාගේ සෘජු විෂය පථය යටතට පත්වූ පොලිසිය ගෝඨාභය රාජපක්ෂව නීතිය හමුවට ගෙනාවේ නැත. අයථා මිග් යානා ගනුදෙනුවක් සිදු වුනු බව ඔප්පු කිරීම, මගේ පියා ඝාතනය කිරීමට හේතුවූ සාදක හෙලිදරවු වීමට විශාල පිටුවහලක් වනු ඇත. නමුත් ඔබේ දැනුවත්භාවය යටතේම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාර දුෂිත නිලධාරියෙකු මිග් ගනුදෙනු විමර්ශනය ව්‍යාකූල කොට,ගෝඨාභයගේ නම ඉන් ඉවත් කළේය.

දැන් මැතිවරණ සමය නිසා ඔහු ඝාතකයකු යැයි ඔබ ප‍්‍රසිද්ධියේ ඔහුට පහර ගැනීමට පටන් ගෙන තිබේ . ඔබ එසේ කරමින් සිටියදී, ඔබේ අමාත්‍යංශ ප්‍රධානියකු වන, සාගල රත්නායක සහ අනෙකුත් ඇමතිවරු ඔහු බැලීමට ගොස් ඔහුගේ නිවසේ පැය ගණන් ගත කරමින් සිටින අතර, ඔබේ රජය ඔහුට නීති විරෝධී හැඳුනුම්පත් සහ විදේශ ගමන් බලපත‍්‍ර නිකුත් කරයි. එසේම, ඔබේ ජ්‍යෙෂ්ඨ පුද්ගලික සහායක සහ නෑනා, ප්‍රසිද්ධියේම සමාජ මාධ්‍යවල ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු ප‍්‍රවර්ධනය කරයි.

ඔබම මිනීමරුවන් ලෙස හඳුන්වන පුද්ගලයින්ට, ඔබේම කාර්ය මණ්ඩලය දක්වන පුද සත්කාරයන් මේවා යි. කෙසේ වෙතත්, රහස් පොලිසියට මගේ පියාගේ නඩුවට උදව් අවශ්‍ය වූ විට, ඔබ සොයාගැනීමට වත් නොහැකි විය.

හමුදාව සහ බුද්ධි අංශයන් මෙම විමර්ශනයට සහයෝගය දැක්වීම ප‍්‍රතික්ෂේප කළ විට ඔබ සිටියේ කොහිද? ගෝඨාභය රාජපක්ෂට එරෙහිව විවේචනාත්මක තොරතුරු සපයන්නෙකුට ආරක්ෂාව අවශ්‍ය යැයි පැවසූ විට ඔබ කළේ කුමක්ද? මගේ පියාගේ ඝාතනයේ, ප‍්‍රධාන මිනීමැරුම් විමර්ශක පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ජනාධිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් (CID) පන්නා දැමු විට, විරෝධතාවයේ ඇඟිල්ලකුද නොපෙන්වා ඔබ නිහඬව සිටියේ ඇයි?

දැන් මාස ගණනාවක් තිස්සේ ඔබේ නීතිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ සහ ටි‍්‍රපෝලි ඝාතක කල්ලිය සම්බන්ධ පරීක්ෂණ බලහත්කාරයෙන් නවත්වා, ඔවුන්ගේ මැදිහත්වීම් යට ගසා, පහල මට්ටමේ සෙබළුන්ට එරෙහිව ක‍්‍රිියාමාර්ග ගනිමින් ඇත. එක්නැළිගොඩ මහතාව පැහැර ගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ පෞද්ගලිකව නියෝග කළ බව නිලධාරීන් දෙදෙනෙකු පාපොච්චාරණය කර තිබියදීත්, ගෝඨාභය රාජපක්ෂ මහතා එක්නැළිගොඩ නඩුවෙන් නිදහස් කෙරිණි. අවම වශයෙන් මෙම දිවුරුම්, පාපොච්චාරණයන් ගැන රාජපක්ෂගෙන් ප‍්‍රශ්න කර නැත. යතුරුපැදි හතරක් භාවිතා කරමින් උපාලි තෙන්නකෝන්ට පහර දුන්න ද, චෝදනා ලැබුවේ කනිෂ්ඨ සොල්දාදුවන් දෙදෙනෙකු පමණි. රාජපක්ෂ සහ ටි‍්‍රපොලි කණ්ඩායම නිදොස් කොට නිදහස් කෙරිණි. වගවීම සෙවීම සඳහා, කිසියම්ම වූ අර්ථවත් යමක් ඔබ කරන්නේ ද?

නැත. ඒ වෙනුවට, ඔබේ පවුලේ අය සහ ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලය ගෝඨාභය රාජපක්ෂ සමඟ දිගටම බැඳීම් පවත්වමින් සිටින අතරේ ඔබ, ඔහුව ප‍්‍රසිද්ධියේ මිනීමරුවෙකැයි කියයි. යම්ඔ හෙයකින් ඔබ ජනාධිපති ධුරයට පත්වුවහොත් හෝ අගමැති ධුරයේම රැඳී සිටින්නේ නම්, ගෝඨාභය රාජපක්ෂ ඔබේ අනුදැනුම යටතේම තවදුරටත් නිදහස භුක්ති විඳිනු ඇතැයි මට විශ්වාස ය.

දැන් මගේ පියාගේ අභාවය ගැන පුරසාරම් දෙඩූ පුද්ගලයා විධිමත් ලෙස ජනාධිපති අපේක්ෂකයෙකු බවට පත්ව සිටින අතර, ඔහුගේ ප‍්‍රතිවාදියා බවට පත්වන්නා යුක්තිය, නීතිය යටතේ සමාන රැකවරණයක් සහ පරිණත, වගකිවයුතු පාලනයක් ඇති අවංක හා ධෛර්ය සම්පන්න දේශපාලනඥයෙකු වනු ඇතැයි මම ප‍්‍රාර්ථනා කරමි. රාජපක්ෂගේ විරුද්ධ අපේක්ෂකයා තම පක්ෂයට සහ රටට අහිතකර ලෙස තම දේශපාලන පැවැත්ම සහතික කිරීම සඳහා රහසිගත ගනුදෙනු නොමැති, මූලධර්මවලට පටහැනි නොවන අයෙකු වනු ඇතැයි මම ප‍්‍රාර්ථනා කරමි.

සුදු වෑන් යුගයේ ම්ලේච්ඡත්වයට ගොදුරු වූ මා සහ අනෙක් අය සඳහා ඇති අවසාන එක් බලාපොරොත්තුවක් තිබේ. එනම් ගෝඨාභය රාජපක්ෂට අභියෝග කොට පරාජය කළ යුත්තේ ආණ්ඩුවේ සිටින විට යුක්තිය ඉටු කිරීමට කැපවී සිටින තරගකරුවෙකු මිස මැතිවරණ ජයග‍්‍රහණය කිරීම සඳහා වින්දිතයින්ගෙන් අයුතු ප‍්‍රයෝජන ගෙන, තම නිල නිවසේදී පමණක් ජනතාවගේ සිත් සැනසවීම සඳහා ඔවුන් මිනීමරුවෙකැයි චෝදනා කරන්නකු නොවේ.

සරලව කිවහොත්, මේ රට ඔබ යටතේ හෝ ඔබේ නව මිතුරා වන ගෝඨාභය රාජපක්ෂ යටතේ පවතින්නේ නම්, ඔබේ පැරණි මිතුරා වන මගේ පියා ලසන්ත වික‍්‍රමතුංගට යුක්තිය ඉටුවනු ඇතැයි කිසිදු බලාපොරොත්තුවක් තැබිය නොහැක.

අතිශයින්ම අවංකව,
අහිංසා වික‍්‍රමතුංග

පිටපත් : එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමාජිකයන්
පිටපත් : එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාදිකාරී කමිටු සාමාජිකයන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button