විශේෂාංග

“අපිට කියලා නිවන් ඇරගන්නද හදන්නේ….?”

පසුගිය දින කිහිපයේම ප්‍රවෘත්ති විකාශයන් නැරඹීමේදී අපට තේරුම්ගත හැකි එක් කරුණක් වන්නේ අපේ රටේ ආගමික පූජකවරුන් රට දැය වෙනුවෙන් කෙතරම් නම් සේවයක් කරනවාද යන්නයි.

දරුවන්ගේ විනය, හික්මීම ගොඩනංවනා දහම් පාසල් අධ්‍යාපනය කඩාකප්පල් වන ලෙස කරගෙන යන ඉරිදා දින උපකාරක පංති වලට කඩාවැදුනු අභීත භික්ෂූන් පිරිසක් අදාළ ගුරු බවතුන්ට හා සිසුන්ට තරයේ අවවාද කර යහමගට ගන්නා ආකාරය දැකගතහැකි විය. එමෙන්ම ඊයේ වෛද්‍ය ෂාෆිට ඇප ලබාදීමට එරෙහිව පෙළගැසුනු භික්ෂූන් කීපනමක් නිර්භයව සිය හඩ අවදිකරනු දුටුවෙමු.

අපේ රටේ ඇතැම් භික්ෂූන් ප්‍රමුඛ ආගමික පූජකවරුන් සමහරක් දෙස බැලීමේදී අප රටක් වශයෙන් ආඩම්බර විය යුතුය.

විටෙක ඔවුන් ප්‍රසව හා නාරි විසේසක්ඥ වෛද්‍යවරුන්‍ ය. විටෙක ඔවුන් රහස් පරීක්ෂකයන්‍ ය. විටෙක රට දැය සමය රැකුමට දිවි පරදු තබන ජාතික වීරවරුන්‍ ය. ව්‍යවස්ථා සම්පාදකයන් ලෙස, නීති විශාරදයන් ලෙස, ජෝතීර්වේදීන් ලෙස මෙන්ම ගුප්ත විද්‍යා කට්ටඩි වරුන් ලෙසත් සමාජයට අමිල සේවයක් ඉටු කරනු දැකිය හැක.

කලාතුරකින් අනිත්‍යතා ධර්ම මූලික කරගනිමින් අවිහිංසාවාදී මතවාද දේශනා කරන භික්ෂූන්ද නැතුවාම නොවේය.

කෙසේ නමුත් රට දැය සමය ඉදිරියේ දහසකුත් එකක් සතුරන් අවි අමෝරාගෙන පිං කෙත හෙළ ලක් දෙරණ වටලා ඇති මෙවන් සමයක අනිත්‍යතා ධර්ම වැනි කාටත් ප්‍රයෝජනයක් නැති දේවල් දේශනා කරමින් නොසිට ජාතියේ යුතුකම ඉටුකිරීමට අති බහුතරයක් භික්ෂූන් ඉදිරිපත්වී සිටීම ගැන අප ඉමහත් සේ ආඩම්බර විය යුතුය.

අද වැඩසිටියානම් භික්ෂු ශාසනය ලබා ඇති මේ ප්‍රගතිය දැක බුදුන්වහන්සේද මහත් සේ ආඩම්බර වනු නොඅනුමානය.


ශෂින්ත රන්දුල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button