දේශීය

වඳ සැත්කම් චෝදනා බොරු – රහස් පොලිසිය උසාවියට කියයි

සිංහල මව්වරුන් වඳ භාවයට පත් කරන ලද බවට දිවයින පුවත්පත ඇතුළු ජනමාධ්‍ය වලින් හා සිංහල බෞද්ධ දේශපාලන බලවේග චෝදනාවට ලක්වු කුරුණෑගල රෝහලේ මුස්ලිම් ජාතික වෛද්‍යවරයාට එරෙහි චෝදනා සනාථ නොවු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ.

සිංහල බෞද්ධ මව්වරුන් සිසේරියන් සැත්කමට භාජනය කරද්දී ඔවුන්ගේ පැලෝපීය නාලය මිරිකා ඇතැයි දිවයින පුවත්පත කළ වාර්තා කිරීම අසත්‍ය බව ඔහු යටතේ සහ වෛද්‍ය සාෆි සමඟ සේවය කළ වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු විශාල පිරිසකගෙන් ලබා ගත් ප්‍රකාශවලින් සනාථ වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 27 බ්‍රහස්පතින්දා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

වෛද්‍යවරයා අයථා වත්කම් උපයාගෙන ඇතැයි කියමින් කුරුණෑගල පොලිසියෙන් අත්අඩංගුවට ගනිද්දී අක්‍රමිකතා සිදුවී ඇති බවට පිටු 200 කට වැඩි වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට කරුණු දැක්වු රහස් පොලිසිය ඔහු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමට හෝ රඳවා තබාගැනීමට තරම් සාධක නොමැති බව ද කියා සිටියේය.

දොස්තර සෙයිගු ෂිල්හාබ්ඩීන් මොහොමඩ් සාෆි ත්‍රස්තවාදී සංවිධානයක සාමාජිකයෙක් හෝ එවැනි සංවිධානයකට සම්බන්ධ බවට කරන චෝදනා සත්‍යයෙන් තොර බව අධිකරණය හමුවේ පෙන්වා දුන් රහස් පොලිසිය වෛද්‍යවරයා වත්කම් උපයා ගත් ආකාරය පැහැදිලි කළ හැකි බව කියමින් ඔහුගේ වත්කම් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

වෛද්‍ය මොහොමඩ් සාෆි මව්වරුන් 8000ක් සිසේරියන් සැත්කම්වලට භාජනය කර ඉන් සිංහල බෞද්ධ මව්වරුන් 4000කගේ පැලෝපීය නාල මිරිකා වඳ කර ඇති බව දිවයින පුවත්පත වාර්තා කර තිබුණද වෛද්‍යවරයා සිසේරියන් සැත්කමට භාජනය කර ඇත්තේ සිංහල මවුවරුන් 3479ක් පමණක් බව කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයා අධිකරණයට ඉතිරි පත් කළ වාර්තාවකින් අනාවරණය විය.

බොරු පැමිණිලි

වඳ භාවයට පත්වු බවට ඉදිරිපත්වු පැමිණිළි අතරින් වෛද්‍ය මණ්ඩලයට යොමු කළ හැකි මට්ටමේ සිටින්නේ තවත් මව්වරුන් 147 දෙනකු පමණක් බව කී රහස් පොලිසිය එයින් මව්වරුන් 13 දෙනකු විශේෂඥ කමිටුවට යොමු කළ බව සහ ඉන් පරීක්ෂණයට භාජනය කළ යුතු තත්වයේ සිටින්නේ මව්වරු දෙදෙනෙකු පමණක් බවත්, ඉතිරි පැමිණිලි 11 අසත්‍ය බව ද අධිකරණයට පැවසීය.

දොස්තර සෙයිගු ෂිල්හාබ්ඩීන් මොහොමඩ් සාෆි සිංහල මව්වරුව් වන්ධ්‍යාකරණයට ලක් කළ බව දිවයින පුවත්පතට වාර්තා කළ හේමන්ත රන්දුනුගේ ප්‍රකාශයේ උදෘත අධිකරණයට ඉදිරිපත් කළ රහස් පොලිසිය ඔහුට එම තොරතුරු ලබා දී ඇත්තේ කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් බව කියා සිටියේය.

සාෆි වෛද්‍යවරයා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීමට ප්‍රමාණවත් සාක්කි අනාවරණය නොවන බැවින් ඔහු තවදුරටත් රඳවා තබාගත යුතුද යන්න ගැන ආරක්ෂක ලේකම්වරයා සමග සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත දැනුම් දුන්නේ.

වෛද්‍ය සාෆිට එරෙහිව ජනමාධ්‍ය ඔස්සේ නගා ඇති සියළු චෝදනා පදනම් විරහිත මෙන්ම අසත්‍ය ඒවා බවට නම හෙළි නොකල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකු උපුටා දක්වමින් කිත්සිරි විජේසිංහ JDS වෙබ් අඩවියට ජුනි 17 වැනි දා වාර්තා කර තිබුණි.

නීතිපතිට නඩු

අයථා ලෙස දේපල උපයා ගෙන ඇතැයි චෝදනා නගමින් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වළක්වාලීමේ පනත යටතේ රැඳවුම් භාරයේ තබා ගැනීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන්නැයි ඉල්ලා ජුනි 25 වනදා දොස්තර සෙයිගු ෂිල්හාබ්ඩීන් මොහොමඩ් සාෆි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ලදී.

වෛද්‍යවරයා වෙනුවෙන් නීතිඥ රෂ්ඩි හබීබ් ගොනු කරන ලද පෙත්සමේ වග උත්තර කරුවන් ලෙස කුරුණෑගල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පුෂ්පලාල්, කුරුණෑගල පොලිස් ස්ථානාධිපති, නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලාල්, රහස් පොලිස් අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි ඔබේසේකර, නියෝජ්‍ය පොලිස්පති චන්දන වික‍්‍රමරත්න, ආරක්ෂක ලේකම් ජෙනරාල් එච්. එස්. කෝට්ටේගොඩ සහ නීතිපතිවරයා නම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button