දේශපාලන

අල්ලස්ගත් සභාපතිට ජනාධිපති සමාව දෙයි

සිරදඬුවම් නියම වී සිටි වරකාපොළ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මාකේවිටගේ ලක්ෂ්මන් පතිරාජ සමරසිංහ නමැත්තාට ජනාධිපතිවරයා විසින් සමාවක් ප්‍රදානය කර ඇති බව කොළඹ මහාධිකරණය හමුවේ අනාවරණය වී තිබේ.

වරකාපොල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පිහිටි උඩගම, තඹදිය සහ ඒවිටිගල යන මාර්ග තුන නවීකරණයට අදාළ ටෙන්ඩරය පිරිනැමීම සඳහා, 1995 වසරේ ජනවාරි මස 01වනදා සහ එම මස 31 දක්වා කාලසීමාව තුළ පුද්ගලයෙකුගෙන් රුපියල් 25,000 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එය ලබාගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් මෙම විත්තිකාර හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරන ලදී.

සිදුව ඇති දීර්ඝ නඩු විභාගයකින් පසුව 2009 වසරේ ඔක්තෝම්බර් මස 29 වනදා තීන්දුව ප්‍රකාශයට පත් කළ එවක කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා විත්තිකරු අල්ලස් ලබාගැනීමේ චෝදනාවට වරදකරු කොට වසර 6න් ගෙවී යන පරිදි ඔහුට වසර 18 ක සිර දඬුවම් නියම කළේය. ඊට අමතරව රුපියල් 15,000 ක දඩයක් මෙන්ම රුපියල් විසිපන්දහසක දණ්ඩන මුදලක් ද ගෙවන ලෙස විත්තිකරුට විනිසුරුවරයා විසින් නියම කරනු ලැබ තිබේ.

ඊට එරෙහිව විත්තිකරු 2010 වසරේ මාර්තු මස 20 වනදා අභියාචනාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර තිබූ නමුත් අභියාචනාධිකරණය විසින් ද කොළඹ මහාධිකරණය මගින් ප්‍රකාශයට පත් කරන ලද සිර දඬුවම හා දඩ මුදල අනුමත කර තිබුණි. එම අභියාචනාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කිරිම සඳහා මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේ කැඳවනු ලැබුවේය.

එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (ඇ) වගන්තිය යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් මෙම විත්තිකරුට එරෙහිව පනවා තිබු දඩුවම නිෂ්ප්‍රභ කරමින් පොදු සමාවක් ප්‍රදානය කර ඇති බව දක්වමින් ජනාධිපති කාර්යාලය විසින් ඉකුත් අප්‍රේල් මස 29 වනදා යොමු කළ ලිපියක් අධිකරණය හමුවට ඉදිරිපත් කර කෙරිණි. එහෙයින් අදාළ විත්තිකරු නිදහස් කිරීමට අධිකරණය නියම කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button