දේශීය

“මහ පාරේ නඩු විසඳන්න සිංහල මිනිසුන්ට අයිතියක් නෑ” – මාවරලේ භද්දිය හිමි

BBC ඇසුරින්

මුහුණ ආවරණය කරගෙන යන මුස්ලිම් කාන්තාවන්ගේ “රෙදි ගැලවීමට” හෝ “මහ පාරේ නඩු විසඳීමට,” සිංහල මිනිසුන්ට අයිතියක් නොමැති බව ආචාර්ය මාවරලේ භද්දිය හිමියෝ පවසති.

“මුස්ලිම් කාන්තාවක් හිස ආවරණය කරගෙන යාමට අපිට එරෙහි වෙන්න අයිතියක් නැහැ. නමුත් හදිසි නීතිය යටතේ සම්පූර්ණයෙන් ම මුහුණ වහගෙන යන්න බැහැ. එහෙම වුණත් ඒ රෙදි ගලවන්න අපිට අයිතියක් නැහැ. අපි ඒක භාර දෙන්න ඕන පොලිසියට, ත්‍රිවිධ හමුදාවට,” උන් වහන්සේ පැවසූහ.

විශ්වාසය තහවුරු කිරීම උදෙසා මුස්ලිම් ජාතිකයන් ද සුවිශේෂී කාර්යයක් සිදු කළ යුතුව ඇතැයි උන් වහන්සේ අවධාරණය කළේය.

“මේ ප්‍රශ්නයට (ප්‍රහාරයන්ට) කිසි ම දායකත්වයක් නොදීපු මුස්ලිම්වරුන්ට එවැනි පීඩාවන් සිදු කිරීම බෞද්ධ භික්ෂුවක් හැටියට මම හෙළා දකිනවා,” භද්දිය හිමියෝ ප්‍රකාශ කළහ.

උන් වහන්සේ තවදුරටත් එය පැහැදිලි කරමින් කියා සිටියේ “අපි හැම තැන ම බෝම්බ පත්තු කරන්න ආපු ෆාතිමාල හෝ සහරාන්ල දකින්න ගත්තොත් මේ රට ලේ විලක් වෙයි. මිනිස්සු මහ පාරේ නඩු විසඳන්න යනව නම්, මොකට ද රටකට පොලිසියක් හෝ අධිකරණයක්?,” යනුවෙනි.

“මුස්ලිම් ජනයා පන්සල් ගිය පමණින් හෝ බෞද්ධ ජනයා පල්ලි ගිය පමණින්” සංහිඳියාව ගොඩනැගිය නොහැකි බව උන් වහන්සේගේ අදහසය.

පාස්කු ඉරිදා දේවස්ථාන සහ සංචාරක හෝටල් කිහිපයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් පිළිබඳව විමසූ විට උන්වහන්සේ කියා සිටියේ එහි වගකීම භාර ගැනීම සඳහා කිසිවෙකු නොසිටීම,” මුළු රට ම මේ මොහොතේ අත්විඳින ඛේදවාචකය” බව ය.

දිගු කාලීනව අඛණ්ඩව වර්ධනය වෙමින් පැවති කාරණා කිහිපයක් මෙම තත්ත්වය ඇති වීමට පාදක වී ඇති නමුත් ආසන්නතම හේතු හැටියට උන් වහන්සේ දකින්නේ ජනාධිපති සහ අගමැතිවරයා ඇතුළු සියලු දේශපාලනඥයන් මෙන් ම ආරක්ෂක ලේකම් සහ පොලිස්පතිවරයා ඇතුළු සියලු නිලධාරීන් කළ යුතු රාජකාරිය නිසි ආකාරයෙන් ඉටු නොකිරීමය.

“ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අතර පවතින ඝට්ටනය, මුළු රට ම අනාරක්ෂිත තත්ත්වයකට සහ කිසි ම පාලනයක් නැතිව පාවෙමින් ගමන් කරන තත්ත්වයකට අපේ රට අද වැටීමට ප්‍රධාන හේතු වෙලා තියෙනවා. මහා සම්මතයෙන් ජනතාව රජයක් හෝ රජෙක් තෝරා ගන්නේ ප්‍රධාන වශයෙන් ආරක්ෂාව වෙනුවෙන්,” භද්දිය හිමියෝ පැවසූහ.

“අවාසනාවකට අපේ රජය අපි ජීවිතේ මුහුණ දුන්න රජයන් අතරින් ඛේදනීය ම රජය. අවාසනාවන්ත ම රජය. අපේ ආරක්ෂාව සම්බන්ධව, පුරවැසියාගේ රැකවරණය සම්බන්ධව අභිලාෂයට පයින් ගහල, ඔවුන් පුද්ගලික අභිලාෂවල පසුගිය තුන් අවුරුද්ද පුරා ගමන් කරල තියෙනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button