දේශීය

“රතන හිමිගේ ක්‍රියාවන් අන්තවාදයට පාර කපනවා” – ඥානසාර හිමි චෝදනා කරයි

අතුරලීයේ රතන හිමියන්ගේ උපවාසය නිසා සාම්ප්‍රාදායික මුස්ලිම් ජන සමාජය තවදුරටත් අන්තවාදය වෙත යොමු විමේ අවදානමක් මතුව තිබෙන බව බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසයි.

ඊයේ(04) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඥානසාර හිමි කියා සිටියේ ජාතික ව්‍යාපාරයට සහාය දුන් කෙනෙක් ලෙස උපවාසය වෙත තමන් ගිය බවත් තුන්දෙනකුගේ කාරණාවෙන් අන්තවාදය පිළිබද තීන්දු ගැනීමට කටයුතු නොකරන ලෙස තමන් එහිදී ඉල්ලා සිටි බවත්ය. කෙසේවෙතත් ඇමතිවරුන්ට අදාළ චෝදනා සම්බන්ධව චෝදනා සාකච්ඡාවට ගන්නට හා ධුරවලින් ඉවත්වන්නට සතියක කාලයක් හෝ ලබාදී උපවාසයක් පටන් ගන්නට තිබුණු බවද ඥානසාර හිමි පවසයි. පැන නැගුණු අන්තවාදය පරාජය කරන්න සහයෝගය පළ කළ මුස්ලිම් ජනයා පවා රතන හිමිගේ ක්‍රියාව නිසා අන්තවාදයට තල්ලු විය හැකි බව ද එහිදී පවසන ලදී. එසේම ආණ්ඩුව බලයට පත්කිරීමට වැඩ කළේ රතන හිමියන් බවද නැවත මුස්ලිම් ඡන්ද එකතු කිරීමට රතන හිමි කටයුතු කරන බවද චෝදනා කරන ලදී.

රතන හිමිගේ උපවාසය වැරදි පියවරක් නම් එය විවේචනය නොකර ඊට සහාදීමට ගියේ ඇයිද යන්න පිළිබද මාධ්‍යවේදින් විසින් විමසන ලදී. එයට පිළිතුරු දෙමින් තමන් උපවාසයට නොගියේ නම්, ඒ උපවාසය නිසා රටේ කොතැනක ඇතිවන ගැටූමක වගකීම භාරගන්නට සිදුවන්නේ තමාට බවද එහිදී ඥානසාර හිමි පැවසීය.

කෙසේවෙතත් මුස්ලිම් ජනතාව අතර නොතිබුණු අන්තවාදී ප්‍රචණ්ඩත්වයක් ජනනය කිරීමට බොදුබල සේනා වැනි ඇතැම් සංවිධාන හරහා සිදුකළ ප්‍රචණ්ඩ ක්‍රියා හේතු වූ බවට චෝදනා ඉදිරිපත් විය. ජනාධිපතිවරයාගේ දේශපාලන අරමුණු මත ඥානසාර හිමිගේ නිදහස්වීම හරහාත් ඊට සමාන්තරව රතන හිමි තරගයට මෙන් බෞද්ධයා නියෝජනය කරන බව පවසමින් දේශපාලනය කිරීම නිසාත් සිදුවන අන්තවාදී දේශපාලනය වඩාත් අන්තරාදායක දේශපාලන පෙළගැස්මක් බව දේශපාලන විශ්ලේෂකයන් අනතුරු හඟවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button