විශේෂාංග

වඳ සැත්කම් නාටකයේ පොලිස් කෝලමත් එළියට

ලංකා නෙව්ස් වෙබ් අඩවිය ඇසුරින්

අයථා වත්කම් ඉපයීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට පත්ව සිටින සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි නම් කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයාට අදාළව ජනමාධ්‍ය මඟින් ඉදිරිපත් කර, මහත් ආන්දෝලනයකට ලක්කර ඇති වඳ සැත්කම් චෝදනාව පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ස්වාධීන මණ්ඩලයක් පත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ද සහාය ඇතිව මෙම ස්වාධීන පරීක්ෂණ මණ්ඩලය පත් කිරීමට නියමිතය.

නාටකයේ දේශපාලන පසුබිම සහ මාධ්‍ය ක්‍රියාකාරීත්වය

මෙම වෛද්‍යවරයා අත් අඩංගුවට ගැනුනේ අයථා ලෙස වත්කම් ඉපයීමේ චෝදනාවක් මතය. නමුත් දිවයින පුවත්පත සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි පෙළ ක්‍රියාකාරික මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් වඳ සැත්කම් 4000ක් පිළිබඳ කතාවක් ජනගත කළ අතර එය රාජපක්ෂ කඳවුර විසින් බරපතළ ලෙස සමාජගත කරන ලදී.

වඳ සැත්කම් පිළිබඳ කිසිදු පැමිණිල්ලක් පොලිසියට ලැබී නොමැති පසුබිමක් තුළ පවා කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයා වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමීප ක්‍රියාකාරික, වෛද්‍ය සරත් වීර බණ්ඩාර විසින් මාධ්‍ය හමුවක් පවත්වා වඳ සැත්කම් කතාවට පදනමක් එක් කරන ලද්දේය. ඒ සියල්ලට අදාළව රාජපක්ෂ කඳවුරට හිතවත් මාධ්‍ය ආයතන විසින් දැවැන්ත ප්‍රචාරයක් ලබාදුන් අතර තනි පුද්ගලයකු ඉලක්ක කරගනිමින් ජනමාධ්‍ය ඔස්සේ එල්ල කෙරුණු දැවැන්තම ප්‍රහාරය අදාළ වෛද්‍යවරයා වෙත ඊයේ එල්ල කෙරුණු අයුරු දැකගත හැකිවිය.

මාධ්‍ය ආයතනවල දේශපාලන න්‍යාය පත්‍රය මෙන්ම ජාතිවාදී වෙළඳපල වෙනුවෙන් වන පොරය ද මේ හරහා නිරුවත් වුණු අතර මෙය ඉතා භයානක ප්‍රවණතාවයක් වන්නේ සම්පූර්ණ වෙනත් චෝදනාවක් යටතේ අත් අඩංගුවට ගැනෙන පුද්ගලයකු මුස්ලිම් ජාතිකයකු වීමත් රිෂාඩ් බදූර්දීන් ඇමතිවරයාගේ හිතවතෙකු වීමත් පමණක් පදනම් කරගෙන කිසිදු විද්‍යාත්මක පදනමක් හෝ අවම වශයෙන් පැමිණිල්ලක්වත් නැති චෝදනා වැලකට ගොදුරු කිරීම කොතැනින් කෙළවර වේදැයි කිව නොහැකි නිසාය.

පොලිස් බළල් අතේ වැඩි විස්තර

මෙම ක්‍රියාවලිය තුළ කුරුණෑගල පොලිසිය ද බළල් අතක් වශයෙන් ක්‍රියාකළ බව ලංකා නිව්ස් වෙබ් පෙරේදා (25) අනාවරණය කරන ලදී (මෙම ලිපිය ලංකා නිව්ස් වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලද්දකි).

කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වන්නේ කිත්සිරි ජයලත් නමැති නිලධාරියාය. ඔහුගේ බිරිඳ කුරුණෑගල රෝහලේ සේවය කරන වෛද්‍යවරියකි. රෝහල් අධ්‍යක්ෂ සරත් වීර බණ්ඩාරගේ ගෝලයෙකි. වත්කම් සිද්ධි සම්බන්ධයෙන් අධිකරණය බලය අල්ලස් කොමිසමට පමණක් හිමිව තිබියදී අනීතිකව වෛද්‍යවරයා අත් අඩංගුවට ගැනීම සඳහා කුරුණෑගල පොලිසියට නියෝග එන්නේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙනි. අශුද්ධ සන්ධානය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව මෙය ද යම් පැහැදිලි කිරීමක් කරනු ඇත.

ප්‍රවණතාවයේ භයානකත්වය

වෛද්‍ය සහාබ්දීන් වරදක් කර ඇත්නම් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය. එහෙත් එය කළ යුතුවන්නේ පැමිණිල්ලක් හෝ නොමැති චෝදනාවක් සම්බන්ධයෙන් රාජපක්ෂ හිතවාදී ජනමාධ්‍ය ආයතන සහ රාජපක්ෂ කඳවුරේ දේශපාලන ක්‍රියාකාරිකයින් වන නිලධාරීන් ගෙනයන ප්‍රචාරණ ව්‍යාපෘති නිසා නොවේ. නීතියෙහි මූලික පදනම් ජාතිවාදී ප්‍රවාහය ඉදිරියේ බිඳවැටෙන්නට සැලැස්වීම රටකට කොහෙත්ම යහපතක් ඉටු කරන්නේ නැත.

සිසේරියන් සැත්කම් සහ වඳ සැත්කම් පවා පටළවමින් ඉතාම අවිද්‍යාත්මක ලෙස ජනතාව භීතියට පත් කරන අයුරින් ඇතැම් මාධ්‍ය ආයතන සහ සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරිකයින් කටයුතු කළ තිබුණේ ඉතාම නින්දිත ආකාරයෙනි.

CIDයේ මැදිහත් වීම

අල්ලස් කොමිසම විසින් කළ යුතු අත් අඩංගුවට ගැනීමක්, නෛතික බලය නොමැතිව පොලිසිය විසින් සිදුකර, පක්ෂ දේශපාලනයෙහි නියැළෙන නිලධාරීන් පිරිසක් විසින් මාධ්‍ය සංදර්ශන පවත්වා ඉතාම සංවේදී කරුණක් ජනතාව කැළඹෙන මට්ටක් දක්වා ගෙන ඒම තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මීට මැදිහත් වීමට සිදුවිය. ඒ, වෛද්‍යවරයාට එරෙහිව අලුතින් ගොඩනංවා ඇති චෝදනා පිළිබඳ විමර්ශන කිරීමට කුරුණෑගල පොලිසියට කොහෙත්ම පහසුකම් හෝ දැනුම නොමැති නිසාත් ජනතාව කලබලයට පත් නොකර මෙය විසඳා ගත යුතු නිසාත්ය.

අදාළ දැනුම සහ පහසුකම්වලින් සමන්විත පරීක්ෂණ මණ්ඩලයක් CIDය විසින් පත් කෙරෙනු ඇත්තේ ඒ අනුවය. මේ මොහොතේ කළ හැකි, සුදුසු පියවර වන්නේ ද එයයි.

කෙසේවෙතත් අප නැවතත් කියන්නේ වෛද්‍යවරයා අයථා වත්කම් ඉපයීමෙන් හෝ වෙනත් ඕනෑම ආකරයකින් වරදක් කර ඇත්නම් ඔහුට නීත්‍යානුකූලව දඬුවම් හිමිවිය යුතු නමුත් මේ සිද්ධියේදී මුල පටන් ක්‍රියාත්මක වූයේ ඊට අදාළ ක්‍රමවේදය නොවන බවය. මේ ක්‍රමවේදය පිළිබඳ පූර්වාදර්ශය ඉතාම නරක එකක් බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button