විශේෂාංග

වෛද්‍ය නිලධාරියෙකුට වඳ සැත්කම් හාරදහසක් සිදුකල හැකිද ?

කිසි ලෙසකින් වත් මෙම ලිපියේ අරමුණ මාතෘකාවට අදාල පුවත සත්‍ය හෝ අසත්‍ය බව ඔප්පු කර පෙන්වීම නොවේ. නමුත් යම් පුවතක සඳහන් කර ඇති සංඛ්‍යාත්මක දත්ත සහ එම පුවත ප්‍රායෝගිකව ගැලපේද නොගැලපේද යන්න තීරනය කල හැකි ආකාර විමසා බැලීමය.

සිසේරියන් සැත්කමක් අතර තුර පැලෝපීය නාල ගැටගසා දැමීම කෙනෙකුට තනිව ශල්‍යාගාරයක සිටින සියලූම දෙනාට රහසින් කලහැකි යැයි සිතීම එතරම් ප්‍රායෝගික නැත. අවම වශයෙන් නිර්වින්දන වෛද්‍යවරයෙක් සහ ප්‍රදාන වෛද්‍යවරයාට උදව් කරන හෙද නිලධාරිනියක් ඒ අවට සිටිය යුතුය. මෙකී පුවතට අනුව එය වරක් දෙවරක් සිදුවූවක් නොවේ. හාරදහස් වාරයකට වඩා සිදුවූවකි.

එසේ නම් මෙය සිදු කල හැකි ඊලඟ ක්‍රම වේදය පෞද්ගලික රෝහලක් තුල සැලසුම සහගත ලෙස කණ්ඩායමක් වශයෙන් සංවිධානය වීමෙනි. එසේ නම් පුවතට අනුව උපරිම වශයෙන් අවුරුදු දහයක කාලයක් තුල පලමු දරු ප්‍රසූතිය සඳහා පැමිණි සිංහල බෞද්ධ කාන්තාවන් (පුවතට අනුව) හාරදහසක් සඳහා මෙකි ස්තානයේ සිසේරියන් සැත්කම් සිදුකොට තිබිය යුතුය. එනම් දල වශයෙන් මෙ අගය දවසකට එක් සැත්කමකට වඩා මදක් වැඩි අගයකි. වසරකට 400 කි.

අපි උදාහරණයක් ලෙස 2016 වසර සලකමු (වසරක් පාසා මෙම දත්ත වල විශාල වෙනස් වීම් නොමැති බව දත්ත අධ්‍යයනය කලහොත් ඔබට පෙනී යනු ඇත.)

දෙදහස් දහසය වසරේ ජනගහනය 21164458 කි. උපත් අනුපාතිකය 16.9කි. මේ අනුව එම වසරේ සිදුවී ඇති උපත් ප්‍රමානය 357000 පනන වේ.

මෙකී උපත් වලින් 91% සිදුවී ඇත්තේ රජයේ රෝහල් තුල වන අතර එසේ සලකුවහොත් පෞද්ගලික අංශයේ සිදුවී ඇති උපත් ප්‍රමානය 35700 පමන අගයක් ගනී.

2016 වසරේ සිදු වූ උපත් අතරින් පලමු දරු උපත් ප්‍රමාණය 33% බව සඳහන් වේ. එනම් පෞද්ගලික අංශය තුල සිදුවූ පලමු දරු උපත් ප්‍රමානය 11800 ක් පමන ය.

ලංකාව තුල සිදුවන සිසේරියන් සැත්කම් ප්‍රමානය එම වසරේදී 40% ක අගයක් ගෙන තිබුනි. එනම් 2016 වසරේදී පෞද්ගලික රෝහල් වල සිදු කරන ලද සැත්කම් ප්‍රමානය 4700ක් පමන වේ.

මෙම මවුවරු 4700 තුල සිංහල බෞද්ධ නොවන මවුවරු සැලකියයුතු ප්‍රමානයක් සිටිති. මෙය ජන අනුපාතයට වඩා වැඩි විය හකි නමුත් අප ආසන්න වශයෙන් එය 70%ක් පමන වේ යැයි සැලකුවහොත එකී වසරේ ලංකාව පුරා පලමු දරු උපත සඳහා පෞද්ගලික රෝහල් තුල සිසේරියන් සැත්කම් සඳහා යොමුවූ සිංහල බෞද්ධ මවුවරුන් ගනන ආසන්න්න වශයෙන් 3300 කි.

එක් වෛද්‍යවරයෙක් එක විටක දිස්ත්‍රික්ක දෙකක සේවය නොකරන බැවින්ද මෙකී වෛද්‍යවරයා සේවය කල ස්තානයක් සඳහන් නොවන බැවින්ද අප මෙකී උපත් ප්‍රමානය දිස්ත්‍රික්ක 25 වෙත සමානව බෙදා බලමු.

එවිට එක් දිස්ත්‍රික්කකයකට උපත් 132ක් ලැබේ. මෙකී දිස්ත්‍රික්කය තුල ප්‍රසව හා නාරි වේද වෛද්‍යවරු 4 දෙනෙකු සේවය කරයි නම් එක් අයෙකු හට සිදුකිරීමට ලැබෙන සැත්කම් ප්‍රමානය ආසන්න වශයෙන් 40ක් පමන වේ.

ඉහත කී වෛද්‍යවරයා ඔහු වෙත ලැබුනු සියලුම අවස්තා සාර්ථකව ඉටුකරගත්තේ නම් වසර දහයක් තුල 400 දෙනෙකු සඳහා ඔහුට සහ ඔහුගේ කණ්ඩායමට වඳ සැත්කම් සිදුකල හැකිය.

ප්‍රායෝගික තත්ව යටතේ මේ අගයන් තවත් පහලට යන්නේ සාමාන්‍යෙන් මුස්ලිම් වෛද්‍යවරුන් වෙත යන බහුතර ගර්භනී මාතාවන් මුස්ලිම් ජාතික කාන්තාවන් වීමත් යම් දිස්ත්‍රික්කයක සිටින ප්‍රසව හා නාරි වේද වෛද්‍ය නිලධාරීන් ගනන 4 කට වඩා මදක් හෝ වැඩිවීමත් නිසාය.

එමනිසා වෛද්‍යවරයෙකුට සැත්කම කිරීමට ගතවන කාලය හෝ වසරකට කල හැකි සැත්කම් ප්‍රමානය මෙකී කාරනාව ඔප්පු කිරීම සඳහා භාවිතා කල හැකි කාරණා නොවේ. වසර දහයකට නොව වසරකට සැත්කම් හාර දහසක් සිදුකිරීමට තරම් දක්ශ වෛද්‍යවරයෙකුට වුවද මෙකී ඉලක්කය සපුරා ගැනීමට නම් ප්‍රමාණවත් මවුවරු සැපයුමක් තිබිය යුතුය.

ඉන්පසුව වැදගත් කාරනය වන්නේ ඔය පුවතෙහි සඳහන් ක්‍රියාවලිය සිදුවී ඇත්නම් එකී වෛද්‍යවරයා විසින් සැත්කම් කරන ලදුව පලමු දරු ප්‍රසූතියෙන් පසුව වඳ භාවයට පත් කාන්තාවන් විශාල පිරිසක් හමුවිය යුතු බවයි. එසේ සිටී නම් ඉතා සරල පරීක්ශනයක් මගින් ඔවුන්ගේ පැලෝපීය නාල වල තත්වය අපට පරීක්ශා කර ගත හැකිය. එනම් මෙකී ක්‍රියාවලිය ඔප්පු කිරීමට සාක්ශි සොයාගැනීමද කිසිසේත් ම අපහසු නැත.

නමුත් වැදගත් ම කරුණ මෙහි අංක විද්‍යාව නොවේ. එකී කාරනය සිදුවී ඇද්ද නැද්ද යන්නයි. එසේ සිදුවී ඇත්නම් එය එකක්ද දෙකක්ද දසදහසක් ද යන්නෙන් පරිබාහිරව ඒ සඳහා නීතිමය කටයුතු ක්‍රියාත්මක විය යුතුය. යමෙක් එක් මවකගේ හෝ දරුවන් ලැබීමේ අයිතිය කුමන හෝ පදනමකින් පැහැරගෙන ඇත්නම් ඒ සඳහා දඬුවම් ලබාදීම රජයේ මෙන්ම එයට උපකාර කිරීම සමස්ත වෛද්‍ය වෘත්තිකයන්ගේ ද වගකීමකි.

නමුත් මෙකී පුවත්පත් වාර්තාව පිළිබඳව එසේ සුලුකොට තැකිය යුතු නොවේ. යම් හෙයකින් මෙකී වාර්තාව සාවද්‍ය නම් හෝ අදාල සංඛ්‍යා නිවැරදි නොවේ නම් ඒ සඳහා පැහැදිලි නීතිමය ක්‍රියාමාර්ග ගතයුතුමය. එය කිසිසේත් පුවත් පතේ නොපෙනෙන මුල්ලක සිදුකෙරෙන නිවැරදි කිරීමකට සීමා නොවිය යුතුය.

ඉතා කල්පනාකාරීව ඉවසිල්ලෙන් කටයුතු කරන විශාල පිරිසක් වූ සියලු ජාතීන්ට අයත් ජනතාව නිසා වැලකී ගියද රටක මෙවන් ප්‍රශ්න පවතින සමයක කවුරු හෝ එකී පුවත පළකල පුද්ගලයා විසින් සඳහන් කරන ලද 4000 අංකය මගින් සිදුවීමට ඉඩ තිබූ විනාශය අති විශාලය.

ඔබට වුවමනා ලේ නම් එයට විකල්ප ක්‍රම භාවිතා නොකොට කරුණාකර ලේ බැංකුව වෙත පැමිනෙන ලෙස අපි ඔවුන් ගෙන් ඉල්ලා සිටිමු.


වෛද්‍ය නුවන් තොටවත්ත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button