දේශපාලන

උතුම් විශ්ව දර්ශනය විකුණගෙන කන්න එපා !

ඉතිහාසයේ කෙටිම කාලයක් තුළ ගම්පෙරළිය කඩිනම් ග්‍රාම සංවර්ධන ව්‍යාපෘතිය හරහා බෞද්ධ කටයුතු ව්‍යාපෘති වෙනුවෙන් මුදලක් වෙන්කළ මුදල් අමාත්‍යවරයා තමන් බවත් එසේ කටයුතු කළ තමන් සත්‍ය පැවසීම හේතුවෙන් කුණුහරපයෙන් බැන වැදීමට පිරිසක් කටයුතු කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මේ බව සඳහන් කර සිටි අතර සර්ව ආගමික සිද්ධස්ථාන වැඩිදියුණු කිරීම වෙනුවෙන් වෙන්කළ මුදල් අතරින් වැඩිම මුදලක් වෙන්කර ඇත්තේද බෞද්ධ ආගමික සිද්ධස්ථාන ව්‍යාපෘති වෙනුවෙන් බවත් අවධාරණය කර සිටියේය.

උතුම් විශ්ව දර්ශනය විකුණගෙන කන්න එපා !

ඇතැම් චීවර ධාරීන් බෞද්ධාගම යනුවෙන් මේ රටේ නමක් හදාගෙන උතුම් බෞද්ධ දර්ශනය වවාගෙන කෑම ගැන බෞද්ධයන් වශයෙන් අප කවුරුත් ලැජ්ජවිය යුතු බවත් මංගල සමරවීර අමාත්‍යවරයා පැවසීය.

තවද බෞද්ධ දර්ශනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංස්කෘතිය පෝෂණය වූ බවත් බෞද්ධ දර්ශනය නිසා ශ්‍රී ලංකාවේ කලාව හා සාහිත්‍ය පෝෂණය වූ බවත් නමුත් ඒ වගේම අනෙක් ආගම් නිසාද අප සංස්කෘතිය පෝෂණය වූ බවත් අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය. ඇතැමුන් අද ඉස්ලාම් ආගම මහා භයානක ආගමක් ලෙස කීවත් එහිද කතා කරන්නේ කවුරුත් කතා කරන සාමය ගැන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

රටේ බහුතරය සිංහල බෞද්ධ වුවත් මේ රට සියළු ශ්‍රී ලාංකිකයන්ගේ රට !

තමන් යතාර්ථය පැවසු විට, එනම් මේ රටේ බහුතරය සිංහල බෞද්ධ වුවත් මේ රට සියළු ශ්‍රී ලාංකිකයන්ගේ රට බව තමන් පවසන බවත් ඔහු පැවසීය.
ඇතැමුන් බුද්ධාගම කීවත් වැරදි බවත් තමන් අදහන්නේ බෞද්ධ දර්ශනය බවත් පැවසු මුදල් අමාත්‍ය මංගල සමරවීර වැඩිදුරටත් සඳහන් කර සිටියේ බෞද්ධ දර්ශනය ආගමක් නොවන බවය. බුදු රාජාණන් වහන්සේ දේශනා කළේ රටකට, ජාතියකට, කුළයකට ලෝකයට සීමාවූ දර්ශනයක් නොවන බවත් එය මුළු විශ්වයටම කතා කරන විශ්ව නීතිය ගැන බවත් පැවසීය.

බුද්ධ ශාසනය වෙනුවෙන් ඉහළම මුදල් ප්‍රමාණය වෙන්කළා….

එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පසුගිය මාස 4ක පමණ කාලය තුළ බෞද්ධ ආගමික ව්‍යාපෘති 4124ක් වෙනුවෙන් රුපියල් මිලියන 2090.945ක මුදලක් තමන් වෙන්කරදී ඇති බවය. එසේම කතෝලික ව්‍යාපෘති 778ක් සඳහා රුපියල් මිලියන 393ක්, හින්දු කෝවිල් ව්‍යාපෘති 2095ක් සඳහා රුපියල් මිලියන 1076ක් සහ මුස්ලීම් පල්ලි ව්‍යාපෘති 1241ක් සඳහා ද තමන් ප්‍රතිපාදන වෙන්කර දුන්බවය.
මෙම ව්‍යාපෘති අතුරින් වැඩිම මුදලක් බෞද්ධ ව්‍යාපෘති, බෞද්ධ ශාසනය ආශ්‍රිත ව්‍යාපෘති සඳහා වෙන්කර ඇති නමුත් තමන්ට බෞද්ධ විරෝධියකු ලෙස චෝදනා කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button