විශේෂාංග

තොටගමුවේ රාහුල කවුද? ඒ වගේද ඉසුර

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 ජනාධිපතිවරණයේදී ප්‍රකාශ කළේ, මහජන මුදල් යොදවා සිදු කරන ව්‍යාපෘති සඳහා දේශපාලනඥයන්ගේ නම් යෙදීමේ සම්ප්‍රදායට තමන් තිත තබන බවයි. සිරිසේන මහතා එදා ජනාධිපතිවරණය ජයගත්තේ මෙවැනි ආකර්ශනීය පොරොන්දු රැසක් ලබා දෙමිනි.
කෙසේ වෙතත් මහජන මුදලින් සිදු කරන ව්‍යාපෘති සඳහා දේශපාලනඥයන් සිය නම යෙදීම තවමත් මේ රටේ සිදුවෙමින් තිබේ.

රටේ ඡන්දදායකයන් සිය ඡන්දයෙන් මහජන නියෝජිතයන් පත් කරන්නේ මහජන මුදල් නිසි පරිදි වැය කර රට දියුණු කරනු ඇතැයි බලාපොරොත්තුවෙනි. එහෙත් ඔවුන් බලයට පැමිණි පසු සිදු කරන්නේ, මහජන මුදල් වැයකර සිදුකරන ව්‍යාපෘතිවලින් හොරකම් කර ඉන් නොනැවතී එකී ව්‍යාපෘතිය සඳහා සිය නම ද යෙදීමයි. ඒ තමන්ගේ මුදලින් එම ව්‍යාපෘතිය අවසන් කළාක් මෙනි.

මෙහි අලුත්ම සිදුවීම කෝට්ටේ මාදිවෙල ශ්‍රි රාහුල මහා විද්‍යාලයයි.

ශ්‍රී ලංකාවේ පළමු සුහුරු පාසල බවට එම විද්‍යාලය පත් කරමින් පසුගියදා එහි ඉදිකළ සුහුරු පන්ති කාමර සහිත සිව්මහල් ගොඩනැගිල්ල විවෘත කළ අතර ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම විවෘත කිරීමට අදාල සමරු ඵලකයේ, පාසලේ නම ලෙස සඳහන් වන්නේ ‘ඉසුර විද්‍යාලය කෝට්ටේ’ ලෙසයි. බස්නාහිර පළාත් සභාවේ මුදල්වලින් මෙම ගොඩනැගිල්ල ඉදිකළ අතර අවසානයේ පළාත් සභාව විසින් පාසලේ නම ද වෙනස් කර තිබේ.

මෙම පාසල ශ්‍රී රාහුල මහා විද්‍යාලය ලෙස නම්කර තිබුණේ, කෝට්ටේ යුගයේ විසූ සාහිත්‍යධර, ෂඩ්භාෂා පරමේෂ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හිමිපාණන් වහන්සේ සිහිපත් කිරීම සඳහායි.

කෙසේ වෙතත් දශක ගණනාවක් භාවිතා කළ එකී නම වෙනුවට, පාසල් ගොඩනැගිල්ලක් ලබාදුන් අනුහසින් තමන්ගේ නම පාසල සඳහා යොදා ගැනීමට තරම් වත්මන් බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය වාසනාවන්ත වී තිබේ.

ඉසුර දේවප්‍රිය යනු එසේ මෙසේ වාසනාවන්තයෙකු නොවේ.

පසුගිය පළාත් සභා මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප 26,000 ක් ලබා 13 වැනියා ලෙස පළාත් සභාවට තේරී පත්වූ ඉසුර දේවප්‍රිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමේ ආනුභාවයෙන් පළාත් සභාවේ මහ පුටුවට පත්වීමට තරම් පෙර වාසනා ශක්තියක් ඇත්තෙකි.

ඒ නිසා සියවස් ගණනාවකට පෙර සිටි භික්ෂූන් වහන්සේ කෙනෙකුගේ නමක් භාවිතා කරනවාට වඩා එවැනි වාසනා මහිමයකින් යුක්ත ඉසුර දේවප්‍රියගේ නමින් ‘ඉසුර විද්‍යාලය කෝට්ටේ’ යනුවෙන් පාසල නම් කිරීම එකී පාසලේ ගුරුවරුන් මෙන්ම සිසු සිසුවියන් ද ලැබූ විශාල වාසනාවකි.

2015 මහ මැතිවරණයට පෙර ඇතැම් පළාත් සභා සේවකයන් පවා නොදැන සිටි ඉසුර දේවප්‍රිය වසර හතරකටත් වඩා අඩු කාලයක් තුළදී රටම දන්නා දැවැන්ත දේශපාලන චරිතයක් බවට පත්ව තිබේ. ඒ සඳහා ඔහු විසින් මහ ඇමතිවරයා ලෙස සිදුකළ සේවය අතිමහත්ය.

ඉන් කිහිපයක් දුහුනන්ගේ දැනගැනීම පිණිස මෙසේ දක්වමු.

ඉසුර දේවප්‍රිය මහ ඇමතිවරයා පාසලකට ගිය අවස්ථාවක, පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන් විසින් බුලත් හුරුල්ලක් දී ඔහු පිළිගත් අතර තමන් පිළිගැනීම සඳහා පාසලේ විදුහල්පතිවරයා නොපැමිණීම සම්බන්ධයෙන් උරණ වූ මහ ඇමතිවරයා පාසල දෙවනත් කළේ රටටම පේන පරිදිය.

බස්නාහිර පළාත් සභා නව ගොඩනැගිල්ලේ මන්ත්‍රීවරුන් සඳහා රුපියල් ලක්ෂ 06 කට අධික වටිනාකමින් යුක්ත පුටු ගෙන්වීමට තීරණය කර තිබූ අතර කෙසේ වෙතත් ඊට එල්ල වූ දැඩි විරෝධය හමුවේ එය හකුළා ගැනීමට පළාත් සභාවට සිදුවිය. මෙම පුටු ගෙන්වීම මහ ඇමතිවරයා ඇතුළු පළාත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කොට තිබූ අතර විස්මයට කරුණ වන්නේ එම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළේ කවුරුන්ද යන්න පළාත් ආණ්ඩුකාරවරයාටද සොයා ගැනීමට නොහැකි වීමයි.

මහරගම ජනාධිපති විද්‍යාලයේ ඉදිකළ ශ්‍රවණාගාරය විවෘත කිරීමේ උත්සවය සඳහා ඉසුර දේවප්‍රිය මහ ඇමතිවරයා මහජන මුදල් වැයකර විශාල සන්දර්ශනයක් සිදුකළ අතර මහරගම අවට විශාල කටවුට් තොගයක් එල්ලා තිබිණි. කෙසේ වෙතත් ඒ සඳහා මුදල් වැයකර තිබුනේ මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍යංශය මගිනි. එහෙත් මහ ඇමතිවරයා එල්ලූ කටවුට්වල මහ ඇමතිවරයාගේ නම තිබුණද එවකට අධ්‍යාපන අමාත්‍යවරයාගේ නම හෝ සඳහන් කර නොතිබිණි.

මේ ඉසුර දේවප්‍රිය මහ ඇමතිවරයාගේ සේවාවෙන් බිඳක් පමණි. මහරගම නගරය හා ඒ අවට සිටින ජනතාවට නම් ඉසුරගේ සේවාව පිළිබඳව අමුතුවෙන් කිවයුතු නොවේ. හන්දියක් හන්දියක් ගානේ ඉසුරගේ රුව සහිත බැනර් කටවුට් ඕනෑ තරම් දක්නට ලැබෙන අතර ඔහු ගහක් සිටවුවද ඒ සඳහා වැයවූ මුදලටත් වඩා වැඩි මුදලක් වැය කරමින් කටවුට් එල්ලයි.

මහ ඇමති තනතුරට පත්වීමෙන් පසු ජනාධිපතිවරයා වර්ණනා කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු රාජපක්ෂලාගේ අඩුපාඩු ප්‍රකාශ කළ ඉසුර දේවප්‍රිය පසුගිය ඔක්තෝබර් ව්‍යවස්ථා කුමන්ත්‍රණයෙන් පසුව මහරගම හන්දි ගානේ දැවැන්ත කටවුට් ප්‍රදර්ශනය කරමින් මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට සුබ පැතුවේ, පෙර කී සියල්ල අමතක වී ඇති නිසා විය යුතුය.

ඉසුර දේවප්‍රියගේ මේ විකාර දේශපාලනය ඇතැම් පුද්ගලයන්ගේ හාස්‍යයට ලක්ව ඇති අතර මාදිවෙල රාහුල විද්‍යාලය ඉසුර විද්‍යාලය කෝට්ටේ ලෙස පරිවර්තනය කිරීමෙන් පසු එම තත්වය තවත් වර්ධනය වී ඇති අතර ඉසුර දේවප්‍රිය යනු දේශපාලනඥයෙකු නොව කවටයෙකු බවට පත්ව තිබේ.

මේ, සමාජ ජාලා මාධ්‍ය භාවිතා කරන්නන් විසින් ඉසුරගෙන් ආතල් ගන්නා හැටිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button